12/02/2010

උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!!

උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය කාර්යය බහුල වෙලා ඉන්නවැයි කීවෙ. ඒ විතරක්යෑ, අර ප්‍රොජෙක්ටර් ව්‍යාපෘතිය... ඒක ඉවරකොරන්නත් තියෙනව. ඒ වුනාට ඒ දිහා බලන්නවත් වෙලාවක් හම්බවුණේ නෑ මේටිකේ. කොහොම හරි ඒ වැඩෙන් අළුත් කියවන්නන් පිරිසක් "පිලේ පැදුර"ට එකතු වුණා. ඒ අතරෙ පරණ යාලුවො ටික මේ පැත්තෙ එන එක අත ඇරලද මන්දා.

ඉතිං මං කියන්න හිටියෙ ... අර අලුත් ප්‍රොජෙක්ට් එකේ මූලික වටයේ සාකච්ඡා එහෙම මේදවස් වල බරටම පැවැත්වෙනවා. සේවා දායකයින් එක්ක, තව... සැපයුම් කරුවො එක්ක ඒ වගේම සැලසුම් ශිල්පීන් එක්ක එහෙම. මේ ගොඩක් දෙනෙක් විදේශිකයින්. ඒ අය ආවම අඩුම තරමේ දවස් දෙකක් නම් මෙහෙ ඉන්නවමයි. එතකොට ඒ දවස් දෙකේම, උදේ ඉඳන් රෑ වෙනකං මීටින් මීටින්.

 ඔන්න ඔය විදිහට ජපානෙන් ආපු සැපයුම් කරුවො පිරිසක් එක්ක ඊයෙ පෙරේද තිබුණා මීටිමක්. ඒක තිබුණෙ ආයතනයෙම වෙන දෙපාර්තමේන්තුවක. ඉතින් උන්නැහේත් මේ ව්‍යාපෘතියෙ කොටස් කාරයෙක් හින්දා මීටිමට සහභාගී වෙන්න කියලා කැඳවීමක් ලැබුණා. ජපන් මහත්තුරු දෙන්නයි අර දෙපාර්තමේන්තුවෙ ලොකු මහත්තයයි එක්ක අපි ඔක්කොම හතරයි. උදෙන්ම පටන්ගත්තු මීටිම බොහොම සාර්තකව සාමකාමීව දහයාමාර විතර වෙනකං පැවැත්තුනා. මෙන්න මෙහෙම.



අපි ප්‍රශ්න අහනව ඒගොල්ල උත්තර දෙනවා...ඒ ගොල්ල අහනවා ඒතකොට අපි උත්තර දෙනවා...ඒ කියන ඒවා කොලවල ලියා ගන්නවා. සමහර උපකරණ වගේ ඒව ඒ ගොල්ල දෙන්න බෑ කියනවා... එතකොට අපි ඒවා ඕනෙමයි කියනවා. ඒ ගොල්ල ඊටපස්සෙ කල්පනා කොරනවා... ජපං බාසාවෙන් මොනවදෝ කතා වෙලා ... හා එහෙනං දෙන්නං කියනවා. ඔන්න ඔහොම වැඩේ නැගලම ගියා.

දහයාමාර විතර උනා... කම්මැලිත් වගේ... එතකොට තමයි දෙය්යනේ ඔන්න ඔය විපැත්තිය සිද්ධ වුනේ.


හොඳට මීටිමට අවධානය යොමු කරගෙන හිටපු උන්නැහේ හදිස්සියෙම අමුත්තක් තේරිලා වටපිට බලන කොට තමයි දැක්කෙ වාඩිවෙලා හිටපු පු‍ටුව කෑලි දෙකයි...පු‍ටුවෙ හිටපු එකා බිම.






කවුද දෙය්යනේ පු‍ටුවක වාඩිවෙනකොට ඒක කඩං වටෙයි කියලා හිතාගෙන වාඩිවෙලා ඉන්නෙ. හොඳට බරදාලා පහසුවෙන් වාඩිවෙනව මිසක්. ඉතින් එහෙම වාඩිවෙලා ඉන්න වෙලාවක ඒ ඉරියවුවෙන්ම බිම පතබෑවුනාම ... හිතාගත්තෑකි නේද?
දැන් ඉතින් මොනා කොරන්නද, වැ‍ටුනනං නැගිටිනවා මිසක්. මගෙ කරුමෙට ඒ පු‍ටුව කලින් කැඩිලා රෙපයාර් කල එකක් වෙච්චි! සෝක් රෙපයාර් කෙරිල්ල හැබෑට. ඉතින් උන්නැහේත් මොකුත් නොවිච්ච ගානට නැගිටලා හිටං අලුත් පු‍ටුවක වාඩිවෙලා මීටිම දිගටම කොරගෙන ගියා.


හැමෝටම හරි සතු‍ටුයි ...මොකෝ ...බැරිවෙලාවත් අර ජපන් මහත්තයෙක් වැ‍ටුනානං හේම ගිනි විජ්ජුම්බරයයි නෙව. එහෙම උනානං ඉතින් කට්ටිය ලංකාව ආපහු අර අනතුරු දායක කලාපයක් කියල නම් කොරල හිටං මේ පැත්තෙ පස් පාගන්නෙ නැතුව ඉඳීවි. උන්නැහේට මොනව උනත් මොකෝ ඌ ගෙදර එකානෙ.

උන්නැහේටත් සතු‍ටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ...

ඒ වෙලාවෙ එච්චර අමාරුවක් නොවුණාට මොකෝ දැන් නම් කොන්ද හොල්ලන්නවත් බෑ රිදෙනවා....

උන්නැහේ කාටවත් වැ‍රැද්දක් කියන්නෙ නෑ. පු‍ටුව රෙපයාර් කල එකත් හරි ... නැතිබැරි කමටනෙ දෙය්යනේ එහෙම කලේ. වාඩිවෙන එකාගේ වගකීම තමයි තමුන් කොහෙද වාඩිවෙන්නෙ කියල හොයල බලල වාඩිවෙන එක. නැද්ද මං අහන්නේ...?? දැන් ඉතින් විඳවපං.. සාදු හොඳ වැඩේ.!! හූ හූ...!!!

පවු අප්පා !

11/24/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lens

දැන් අමාරුම ටික අවසන්.
LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්‍රභවය ‍තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ.

ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික.

මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැති නිසා මිළ අධික Fresnel lens මිළදී ගන්න හිත හදාගන්න අමාරු වුණා. නමුත් මේ ළඟදී  e bey එකේ අහම්බෙන් දැක්ක මිළ අඩු ප්ලාස්ටික් වර්ගයකින් හදපු කාච වගයක් තියෙන බව. ඒව කුඩා අකුරු ලොකු කරල බලන්න පාවිච්චි කරන magnifying lens වර්ගයක්. හදල තියෙන්නෙ Fresnel lens ආකාරයටම තමයි. මේවා ප්‍රමාණ කීපයකින් තියෙනවා. කුඩාම ප්‍රමාණය හඳුන්වන්නෙ  Credit Card Magnifier Fresnel Lens කියලා. මේව සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයේ. ඊට වඩා තරමක් විශාල, ඒ කියන්නෙ අඟල් 7 x 10 ප්‍රමාණයේ ඒව තියෙනවා Full Page Magnifying Sheet කියලා හඳුන්වන. වැඩේට හරියයිද කියලා වැඩි විශ්වාසයක් නොතිබුණා උනත් අත් හදා බැලීමක් හැටියට කුඩා ප්‍රමාණයේ කාච 2ක් e bay එකෙන් ඇණවුම් කළා. මිල වුණේ (තැපැල් ගාස්තු සමග) US $4.28 යි.

මේ තියෙන්නෙ ඒවැයින් එකක් තමයි.



මූළික අත්හදා බැලීමේදී මේ කාච වැඩේට සුදුසුයි කියල වැටහුනත් ඒව ප්‍රමාණයෙන් කුඩා නිසා සම්පුර්ණ LCD එක ආවරණය නොවීමේ ගැටළුව තිබුණා. ඒ නිසා නැවතත් ඊට වඩා ලොකු ප්‍රමාණයේ Full Page Magnifying Sheet 4 ක් ගෙනාව US $14.95 කට. මේව 4ක් ම එකපාර ගෙනාවෙ මතු ප්‍රොයෝජනේ තකා. දෙකක් තිබුණාම වැඩේට ඇති.






මේ විදියට ලොකු සහ කුඩා Fresnel lens ජාති දෙක ගැනම කිව්වෙ, කවුරු හරි ඉතා කුඩා ප්‍රමාණයේ LCD එකක් පාවිච්චි කරන්න හිතං ඉන්නවනම් එයාට සුදුසු  කුඩා ප්‍රමාණයේ credit card size කාච වුණත් තියෙන බව සටහන් කරන්න ඕන නිසයි.

දැන් මේ magnifying sheet එක LCD එකට වඩා තරමක් විශාල ප්‍රමාණයකට කපා ගන්න ඕනෙ . මිලි මීටර 10 බැගින් වටේට තිබ්බහම ඇති. කාච කපන කොට ඒකේ හරි මැද ඉඳන් සමමිතිකව කපා ගන්න අමතක කරන්න එපා. එහෙම කිව්වම තේරුනා මයෙ හිතේ.



ඊට පස්සෙ මෙන්න මේ වගේ කාඩ් බෝඩ් එකක මැදින් LCDඑකට වඩා ලොකු ප්‍රමාණයේ විවරයක් කපලා ඒකට කාච කැබලි දෙකම අලව ගන්න ඕනෙ.



අලවන කොටත් කාච කොටස් දෙකේම මධ්‍ය ලක්ෂ්‍ය එකට සමපාත වෙන විදිහට අලවගන්න.
මෙහෙම අලවගත්තම මූලික සීරුමාරු කිරීම වලට පහසුයි.

දැන් තියෙන්නෙ ප්‍රොජෙක්ටරය අත්හදා බලන එක තමයි. තව එක දෙයක්. මේ වැඩේට ප්‍රක්ශේපණ කාචයකුත් ඕන වෙනවනෙ. උන්නැහේ ඒ වැඩේට යොදා ගත්තෙ සාමාන්‍ය අත් කාචයක්. අතින් අල්ලන කොටස කපා දාලා රවුම් කොටස බටයකට හයි කර ගත්තාම හරි. ඒකෙන් ඉතාම හොඳ නොවුණත් සතු‍ටුදායක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. ඔය පල්ලැහින් තියෙන්නෙ අත් කාචයෙන් ලැබුණු ප්‍රක්ශේපනයන්. විකර්ණය අඟල් 52යි.

කාච විවරය ලොකු වැඩි නිසා ප්‍රශ්න කීපයක් තියෙනවා. වෙළඳපොලේ සාමන්‍ය ප්‍රක්ශේපණ කාචයක් සැහෙන මිළයි. කොහොම උණත් උන්නැහේ අඩු මිළ එකක් හොයළ ඇණවුම් කරළයි ඉන්නෙ. බළමු ඒක ආවම.

මේ වැඩේ ගැන දිගටම ලියාගෙන යන්න වෙලාව හොයා ගන්න එක දැන් නම් ඉතාම අපහසු කාරියක් වෙලා.
ලැබුණ සුළු ඉසිඹුවකදී ලියපු මේ සටහනේ අපැහැදිළි තැනක් තියෙනවනං අනේ හිත හිතා ඉන්න එපා අහන්න ඕනෙ හොඳේ.

දැනට ඒ ඇති.!




11/18/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panel

අද LCD එක ගැන

කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්‍රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්‍රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි.

ප්‍රොජෙක්ටරයට ‍තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන.
  • අඩුම තරමේ 640 x 480 resolution
  • Video, VGA දෙකම හෝ අඩුමතරමේ ඉන් එකක් සම්බන්ධ කළ හැකිවීම
  • හැකි තරම් කුඩා වීම
  • touch screen පහසුකම නොතිබීම.
මේ කියන ආකාරයේ ඕනෑම LCD පැනලයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
resolution එකක් 640 x 480 ට වඩා අඩු එකක් වුණොත් විශාල තිරයකදී pixel වෙන් වී පෙනෙනවා.

ඒ වගේම High definition ප්‍රොජෙක්ටරයක් හදන කෙනෙක් 800 x 600 හෝ ඊට වඩා වැඩි  resolution එකක් ‍තෝරා ගැනීම හොඳයි.

යම් කෙනෙකුට LCD computer monitor එකක් වුනත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් එහිදී විශාල ප්‍රමාණයේ Fesnel කාච යොදා ගත් යුතු වෙනවා. මේ වගේ ප්‍රමාණයෙන් විශාල Fresnel කාච පරන OHP එකකින් ගලව ගන්න පුළුවන් වෙයි. ඒව e bay  එකේ විකුණන්නත් තියෙනව මම දැකල තියෙනව.

දැන් බලමු LCD පැනලය prejector එකට සුදුසු විදිහට සකස් කරගන්න ආකාරය.

මේ තියෙන්නෙඋන්නැහේ පාවිච්චි කරපු LCD monitor එක




ඒක 640 x 480 resolution  තියෙන video input ලබා දෙන්න පුළුවන් ආකාරයේ එකක්. විකර්ණය අඟල් 3.5යි. මේව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ මෝටර් රථ වල reversing camera monitor විදිහට. ගත්තෙ e bay  එකෙන්. US$ 24.48 ක් උනා (free shipping).


මුළින්ම මේක ගලව ගන්න ඕනෙ. ගැලවීමේදී, ඉතාම ඉවසීමෙන් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන සියුම් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානියක් නොවෙන ආකාරයට.



මේ තියෙන්නෙ වෙන් කරගත් LCD එක

දැන් තමයි අමාරුම හරිය. ඒ කියන්නෙ LCD එකේ පි‍ටුපස ආවරණය සහ back light එකට අදාල කොටස් ඉවත් කර ගැනීම. ඒ කොටස් ටික ඉවත් වුනාට පස්සෙ තමයි LCD එක තුළින් ආලෝකය ගමන් කරන්නෙ.

හොඳින් බැලුවොත් පෙනේවි, මෙහි පි‍ටුපස තුනී ලෝහ තහඩුවකින් ආවරණය කර ඇති බව. ඉතාම පරිස්සමින් හෙමින් සීරුවේ ඒ තහඩුව ඉවත් කරගත යුතු වෙනවා.
කිසිම විටක  LCD  එකට ලොකු බලයක් යොදන්න එපා. එහෙම කළොත් LCD කෑලි දෙකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.

ඒ වගේම එහි මතුපිට සූර ගන්නත් එපා.

LCD එකට පි‍ටුපසින් ඇති සියළුම කොටස් ඉවත් කර ගත්තට පස්සෙ දැක ගන්න පුළුවන් වෙයි LCD එක විනිවිද පෙනෙන ආකාරය. මේ අවස්ථාවෙදි back light එකට විදුලිය සපයන කුඩා කේබල් දෙක විසන්ධි කර දැමිය යුතුයි. නැති නම් බැක් ලයිට් එක LCD එකෙන් ඉවත් වෙන්නෙ නැතුව පැතලි කේබලයටම  (flat flex cable) සවි වෙලා තියේවි. පහත පින්තූරයේ රවුමකින් සළකුණු කරළ තියෙන්නෙ ඒ සම්බන්ධක වයරයන් දෙක තමයි.කතුරකින් පරිස්සමින් ඒ කොටස වෙන් වෙන්න කැපුවම ඒ ප්‍රශ්නෙත් හරි.



විවිධ LCD වල මේ සම්බන්ධක වයර් දෙක එක එක විදිහට තියෙන්න පුළුවන්. හොඳින් පරීක්ෂාවෙන් බැලුවම ඒව අඳුන ගන්න එක එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි බැක් ලයිට් කේබල් කියල වෙන මොකක් හරි කපා දැම්මොත් විනාසයි. ඒ නිසා පරිස්සමින්.

දැන් LCD එක සූදානම්. 12V (1A විතර සැපයුමක් නම් වඩා හොඳයි) විදුලි සැපයුමක් ලබාදීල, වීඩියෝ ප්ලේයරයකට සම්බන්ධ කරල බලන්න පුළුවන් මේක (තාමත්) වැඩද කියල. හැබැයි බැක් ලයිට් එක නැති නිසා පිටි පස්සෙන් ආලෝකයක් අල්ලල තමයි පින්තූරය බලන්න වෙන්නෙ.

ප්‍රොජෙක්ටරයේ මූළික අත්හදා බැලීමට පහසු වෙන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් ආධාරකයක මේක තාවකාලිකව අටවගන්න පුළුවන්. හැබැයි පරිස්සමින් ඔය පුංචි පුංචි කෑලි විශේෂයෙන්ම ෆෙරයිට් වල ඔතපු පුංචි කොයිල් කඩා ගන්නව එහෙම නෙවෙයි.



Fresnel Lens  එක්ක ඊළඟට හමුවෙමු.

11/16/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - පැහැදිලි කිරීම්

පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ විදිහට ලියන්නෙ කොමෙන්‍ටුවකින් පැහැදිලි කරන්න අමාරු නිසයි..

එකක් තමයි මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රොජෙක්ටරයේ රූප සටහනත් එතන ලියලා තියෙන දෙයත් අතර ඇති පරස්පරය. මේක ගැන මගේ අවධානයට යොමු කරපු කාංචන දිනූක ට ස්තූතියි.

එතැන ලියවිලා තියෙන විදිහට fresnel lens දෙකක් යොදා ගන්නෙ, එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්භය ලබාගන්නත්, අනෙක ඒ සමාන්තර ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයට යොමු කරන්නත් කියන කාරණා වලට.

ඊට අදාලව කියන්න හිටපු දේවල් ටිකක් මගහැරිල තියෙන හින්ද පුංචි අවුල් සහගත බවක් ඇති වෙලා තියෙනව.

මේ රූප සටහන බලන්න




මේකේ පේන විදිහට අංක 1 දරන තැන හෝ අංක දෙක දරන තැන අපිට LCD  එක තියන්න පුළුවන්.
මේ තැන් දෙකෙන් කොතැනක LCD එක තිබුනත් ඒක සම්පූර්ණයෙන් ආවරනය වන විදිහට ආලෝක කදම්බය ගමන් කරනවා නම් ඒක  එකාකාරව ආලෝකමත් වෙනවා.

අර සමාන්තර ආලෝක කදම්භයක් ගැන කියළ තියෙන්නෙ ඔය අංක එක කියන තැන LCD තියනවා කියලා හිතාගෙනයි.

නමුත් ප්‍රායෝගිකව LCD එකේ වඩා හොඳ ආලෝකමත් ප්‍රතිබිම්බයක් තිරය මතට ගන්න නම් අංක 2 ස්ථානය තමා වඩා හොඳ. ඒ කියන්නෙ LCD එකත් ප්‍රක්ෂේපණ කාචයත් අතර තවත් යමක් තැබීමෙන් ප්‍රතිබිම්බයේ contrast  අඩුවෙනවා. ඒක මම අත්දැකපු දෙයක්. ඒ නිසා මම අනුමත කරන්නේ අංක 2 ස්ථානය.

නමුත් අංක 2 ස්ථානයේ තැබීමට සුදුසු fresnel lens LCD එකට වඩා තරමක් විශාල විය යුතුයි.  අංක 1 ස්ථානයේ, ඒ කියන්නෙ ෆ්‍රේනල් දෙකට මැදිවෙන්න LCD  එක තියනව නම් ඒව LCD එක ප්‍රමාණයේම වුණාම ඇති.

දෙවෙනි fresnel එක, ඒ කියන්නෙ ආලෝක ප්‍රභවයට ඈතින් තියෙන එකේ රාජකාරිය තමයි LCD එක හරහා ගිය ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයේ විවරය (aperture) තුළට යොමු කරන එක.

තවදුරටත් යමක් කියනවා නම්, ඔබ OHP එකක් බැලුවොත් එහිදීත් fresnel  දෙකක් එකට අලවලා තමයි යොදාගන්නෙ. එතකොට වස්තුව (transparent slide) තබන්නෙ ඉහත රූප සටහනේ අංක දෙක ස්ථානයට අනුරූප තැනක.

තනි fresnel එකක් වුණත් යොදා ගන්න පුළුවන් අලෝක ප්‍රභවය ප්‍රමාණවත් තරම් විශාල නම්.

අනෙක් ප්‍රශ්නය තමයි කණියා LED එකේ ලින්ක් එක ඉල්ලා තිබීම.

ඒ කොමෙන්‍ටුවට උත්තර හැටියට ඒ LED එකේ ebay item number එක දැම්මා.  නමුත් මම එහිදීත් කියලා තියෙන ආකාරයට ඒ item එකම මිළදී ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙ colour temperature එක 3500K පේන පින්තූර ටිකක් රතුපාටට හුරුයි. ඊට සමාන එහෙත් සුදුසු color temp එකක් තියෙන ඒවා e bay  එකෙ ඕනතරම් තියෙනව. අනෙක LED එක මිළදී ගන්න කොට පුළුවන් උපරිම ජවයකින් යුතු එකක් මිළදී ගන්න. 30W වලට අඩු එකක් නම් අනුමත කරන්න බැහැ.

හදිසියේ ලියූ මේ කෙටි සටහනෙන් කාරණාව තරමක් හෝ පැහැදිලි වෙන්න ඇති.

11/15/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ආලෝක ප්‍රභවය / Let's Build a Projector - Light Source

මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන තවත් පුළුවන් තරම් අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරන හැටියටත් ඉල්ලා හිටින්න කැමතියි.

හරි එහෙනං ආලෝක ප්‍රභවයෙන් පටන් ගමු.

ප්‍රොජෙක්ටරයෙන් ලැබෙන පින්තූරය නිවැරදි වර්ණ සමඟ ප්‍රමාණවත් දීප්තියකින් ලබාගැනීමට එයට භාවිත වන ආලෝක ප්‍රභවය හරියාකාරව තෝරා ගැනීම හේතු වෙනව. ඒ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයේ උපාංග අතරින් සාපේක්ෂව වැඩිම ජවයකින් යුතු උපාංගය මෙය වන නිසා  කෙළින්ම විදුලි බිල් පතට මෙයින් විශාල බලපෑමක් ඇති කරනවා.

ලාම්පුවකින් එහෙමත් නැත්නම් බල්බයකින් නිකුත්වන සම්පූර්ණ දෘෂ්‍ය ආලෝක ප්‍රමාණය (luminous flux) මනින්නේ lumens වලින්. එය එම ආලෝක ප්‍රභවය විසින් යමක් අලෝකමත් කිරීමේ බලය පිළිබඳ අදහසක් දෙනවා.

ඒ වගේම ප්‍රොජෙක්ටරයකින් නිකුත් වන ආලෝක ප්‍රමාණය මනින්නෙත් lumens වලින්. අහවල් lumens ප්‍රමානයක ප්‍රොජෙක්ටරයක් කියල තමයි සාමන්‍යයෙන් මේව වර්ග කරන්නෙ. එතනදි අදහස් වෙන්නෙ ඒ උපකරණය මගින් මිනිස් ඇසින් ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමේ ආලෝකය ඒ කියන්නෙ දෘෂ්‍ය ආලෝකය කොපමණ නිකුත් කරනවාද කියන එකයි   ඒ සඳහා දැනට ANSI ආයතනය මගින් සම්මත මිනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීල තියෙනවා ප්‍රොජෙක්ටර සඳහාම විශේෂයෙන්. ඒ ක්‍රමයට යම්කිසි ප්‍රොජෙක්ටරයක ආලෝක ප්‍රමාණය එහි ANSI lumens ප්‍රමාණය විදිහට හඳුන්වනවා.
වැඩි lumens ප්‍රමාණයක් පිටකරන ප්‍රොජෙක්ටරයක පින්තූරවල දීප්තිය වැඩියි.

ඒ නිසා අපේ ප්‍රොජෙක්ටරයටත් හැකිතරම් ඉහල lumens  අගයක් ඇති බල්බයක් තෝරා ගත යුතුයි.

ඒ වගේම තමයි ඒ බල්බයේ color temperature එක. එමගින් නිකුත් වන ආලෝකයේ වර්ණය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටරයකට යොදාගන්න බල්බයේ ආලෝකය දහවල සූර්යාලෝකයට කිට්‍ටු වර්ණයක් තිබිය යතුයි. නැතිනම් පිතූරවල නියම පාට තිරයේ දිස් වෙන්නේ නැහැ.

ඒ සඳහා 5000K - 6000K අතර color temperature එකක් සුදුසුයි. මේ අගය අඩුවෙන කොට ආලෝකය කහ වර්ණයට හුරු වෙනවා. ඒ වගේම වැඩි වෙනකොට, නිල් පාටට හුරු ආලෝකයක් තමයි ලැබෙන්නෙ.


ඉහත කාරණා දෙක තමයි ආලෝක ප්‍රභවය තෝරා ගැනීමේදී මූළිකවම වැදගත් වෙන්නෙ.

දැන් බලමු අපිට සොයාගන්න පුළුවන් ආලෝක ප්‍රභවයන් වර්ග මොනවද කියා.

1.    Incandescent lamps - සාමාන්‍ය සූත්‍රිකා පහන්
2.    Fluorescent lamps - ප්‍රතිදීප්ත පහන්
3.    Halogen lamps - හැලජන් ලාම්පු
4.    Metal halide lamps
5.    LED

ඇත්තටම ඉහත ඕනෑම පහනක් ප්‍රොජෙක්ටරයේ ආලෝක ප්‍රභවය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. නමුත් ඒ සමහර ඒවාගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒව සැලකිල්ල ට ගත්තට පස්සෙ හොන්නදයි කියල ඉතුරු වෙන්නෙ අංක 4 සහ 5 විතරයි. (ඒ කාරණා මොනවද කියන එක කියන්න ගියොත් අද මේක පෝස්ට් කරන්න වෙන්නෙ නෑ)
එයිනුත් වඩාත්ම හොඳ එක තමයි metal halide පහන්. ඒව තමයි උසස් තත්ත්වයේ මිල අධික වාණිජ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ව ල පාවිච්චි වෙන්නෙ. ඉතාමත් ඉහල කාර්ය්‍යක්ෂමතාවකින් යුක්ත අති දැවැන්ත තිරයක් මතට ප්‍රක්ෂේපණය කළහැකි ප්‍රොජෙක්ටරයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් metal halide පහනක් තෝරා ගන්න එක සුදුසුයි.
නමුත් මේ පහන් වල ආයු කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම කාලයත් සමග lumens ප්‍රමාණය වගේම color temp එකත් අඩුවෙනව. ඒ කියන්නෙ කාලයක් ගියාම ආලෝකය අඩුවෙලා කහ පාට ගැහෙනව. ඒ වගේම පිටවන තාපය ඉවත් කරන එකත් ලේසි නෑ. ලොකුම ප්‍රශ්න තමයි ඒව ප්‍රමාණයෙන් විශාල වීම සහ පහසුවෙන් කැඩෙන්න බි‍ඳෙන්න පුළුවන් වීම.

මේව සැලකිල්ලට ගත් උන්නැහේ තොරා ගත්තෙ LED පහන්.

ඔය පහල පින්තූරෙ තියෙන්නෙ ඒ LED එක තමයි. මේක 30W , 2000 lumens ප්‍රමාණයේ එකක්. මිළදී ගත්තේ e bay  එකෙන්. සමහරවිට මේ LED දේශීය වෙළඳපොලෙත් තියෙන්න පුළුවන්. වැඩ වැඩි කම හින්දා පිටකො‍ටුවෙ රස්තියාදු ගහන්න අමාරු නිසා හොයා බලන්න පුළුවන් වුනේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න.





මේකෙ ලොකුම වාසිය තමයි පහසුවෙන් හීට්  සින්ක් එකකට සවිකර ගත හැකිවීම. ඒ වගේම එක පැත්තකට එල්ල වුණු අලෝක කදම්භයක් ලැබෙන නිසා අපතේ යන ආලෝක ප්‍රමාණය අඩුයි. කාලයත් සමග ගතිගුණ වෙනසවීමකුත් මේවයේ නැහැ.
මේ පින්තූරෙ තියෙන්නෙ CPU cooler එකක heat sink එකකට සවිකල පසු පෙනෙන විදිහ. heat sink compound ටිකකුත් යොදාගන්න අමතක කලේ නෑ.







ඔය LED එකත් එක්කම තියෙන අනෙක් පරිපථ කොටස තමයි ඒකේ driver එක. ඒක මිළදී ගන්න අවශ්‍යමයි කියන්න බැහැ. driver  එකක් තමන්ටම හදාගන්න වුනත්  පුළුවන්. ඒත් පහසුව තකා LED ත් එක්කම ඒකත් මිළදී ගත්තා. දෙකටම ගියෙ US$ 32.88. හැබැයි Chinese.

11/09/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - Let's Build a Projector


කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ඒක පහසුයි. හැබැයි පිච්චර් හෝල් එක ඉවරවෙනකම්ම ලියාවිද කියල කියන්න කාටවත්, උන්නැහේටවත් බැහැ. ඒ කොහොම වුනත් ඉස්සෙල්ල කලබල නොවී ප්‍රොජෙක්ටරයක් හදාගෙන ඉම්මු.

මේං සරල ප්‍රොජෙක්ටරය.



ඔය ඉහල පින්තූරෙ පෙනෙන විදිහට උත්තල කාචයක් භාවිත කරළා ආලෝක ප්‍රභවයක් ඉස්සරහින් තියපු පාරදෘෂ්‍ය පටලයක තාත්වික ප්‍රතිබිම්බයක් ඒ ඉදිරියෙන් තියෙන තිරයක ලබා ගන්න පුළුවන් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉස්සර ඉස්කෝලෙ ඉස්සරහ ඉස්ටිකර් කාරය ගාව විකුණන්න තිබුණු චිත්‍රපට කෑලි අරන් ගිහින් ඒකට ටෝච් එක ගහලා ඊට ඉස්සරහින් ලොකුකරල බලන කන්නාඩියක් අල්ලලා සරල ප්‍රොජෙක්ටරයක් හදපු හැටි උන්නැහේට තාමත් මතකයි.

ඒ කාලේ ඕක ලොකු වැඩක් උනාට මොකෝ, ඒ විදිහට හදන ප්‍රොජෙක්ටරයක අඩුපාඩු ගොඩක් තිබුනා. මේ ඒ අතරින් ප්‍රධාන එක තමයි සම්පූර්ණ රූපරාමුවම ඒකාකාරව ආලෝකමත් නොවීම. ඒ ඇරුනාම චලනය වන රූප ලබාගැනීමට නොහැකිවීමත් එකක් (එසේ කිරීමට නම් සංකීර්ණ යාන්ත්‍රික පටල ධාවන යන්ත්‍රයක් අවශ්‍යයි). ඒ වගේම ඒවායින් වීඩියෝ ප්ලේයරයකින් එහෙමත් නැත්තන් පරිගනකයකින් වාදනය කරන රූප රාමු කෙසේවත් බලන්න බැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.

ඊට විසඳුම තමයි ඔය පහල රූපයේ තියෙන්නෙ.


 
කාචය හා ආලෝක ප්‍රහවය අතර පාරදෘෂ්‍ය පටලය ඇති තැනට LCD පැනලයක් තැබීම. මේ LCD එකට වීඩියෝ හා VGA පහසුකම් පවතින එකක් නම්, අපිට පරිගනකයකින් හෝ වීඩියෝ ප්ලේයරයකින් වාදනය වන රූප රාමු බලන්න පුළුවන්.

මේක තමයි සරල LCD ප්‍රොජෙක්ටරයක මූලධර්මය.

නමුත් මෙවැනි සරල ප්‍රොජෙක්ටරයකත් අර මුලින් කියපු, රූපරාමුව ඒකාකාරව ආලෝකමත් නොවීමේ ගැටලුව තියෙනවා. ඊට විසඳුමක් විදිහට අපිට සිද්ධවෙනවා fresnel කාච භාවිත කරන්න. ෆ්‍රෙස්නල් කාච කියන්නෙ පැතලි කාච විශේෂයක්.  ඒකෙ එක පැත්තක මධ්‍යයක සිට ඒක කේන්ද්‍රීයව පිටතට විහිදෙන ආකාරයට වෘත්තාකාර ඇලි (grooves) කපල තියෙනව තල උත්තල කාචයක (plano-convex lens) හැසිරීම ලැබෙන විදිහට. වැඩිපුර යමක් විකිපීඩියාවෙන් දැන ගන්න පුළුවන්.

මෙන්න මෙහෙමයි ෆ්‍රෙස්නල් කාච යොදා වැඩිදියුණු කරගත්තු ප්‍රොජෙක්ටරය. මේක තමයි අපි හදාගන්න ඕන එක.

 

මේ රූපසටහනේ ෆ්‍රෙස්නෙල් කාච දෙකක් යොදලා තියෙනවා. ඉන් එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්බය සාදා ගැනීමටත් දෙවැන්න LCD එක හරහා ගිය ආලෝකය නැවත එකතුකර ප්‍රක්ෂේපණ කාචයට යොමුකිරීමටත් භාවිත වෙනවා. ඒ බව රූප සටහනෙන් පැහැදිළි වෙයි.

ඔන්න දැන් කාටත් තේරෙන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික මෙන්න මේවයි.

1. ප්‍රමාණවත් දීප්තියකින් යුතු සුදුසු ආලෝක ප්‍රභවයක් (Light source)
2. ෆ්‍රෙස්නෙල් කාච දෙකක් (Fresnel lense) 
3. LCD පැනලයක් (LCD panel)
4. ප්‍රක්ෂේපණ කාචයක් (Projection Lense)
5. තිරයක් (Screen)
6. සුදුසු ආවරණයක් (Housing)


ඉවසීම පුරුදු නොකර මේ වගේ වැඩක් කරන්න අමාරු නිසා ඉතිරිය ඉදිරියට.... එතෙක් ඉවසන්න.

11/05/2010

උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය 2... ප්‍රොජෙක්ටරය

ගෘහස්ත සිනමා පද්ධතියක් යන්න බොහෝ දෙනෙකුගෙ සිහිනයක්. මූලිකව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන  උපකරණ කට්ටලයකින් සමන්විත වන මෙවැනි පද්ධතියක මිල සාමාන්‍යයෙන් ඉහල මට්ටමකයි පවතින්නෙ. එම මිළ මට්ටම පද්ධතියේ ප්‍රතිදානයේ (output) ගුණාත්මක භාවය, නිෂ්පාදන නාමය වැනි කාරනා මත රඳා පවතින අතර සමහර විටෙක එය මිලියන කිහිපයක් වුවද විය හැකියි. අධික මුදලක් වැයකොට උසස් තත්ත්වයේ පද්ධතියක් මිලදී ගත්තද එයින් නියම ප්‍රතිඵල ලැබීමට නම් ඒවා ස්ථාපනය කිරීමට සිනමා ශාලාවකට ඔබින අයුරින් විද්‍යානුකූලව සකස් කළ කාමරයක් හෝ ශාලාවක් අවශ්‍ය වෙනවා. මේ සඳහාද තරමක් ඉහල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. මේ ආකාරයේ අංග සම්පූර්ණ සිනමා නැරඹුම් පහසු කමක් තමන්ගේ නිවසට එකතු කර ගන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට සිහිනයක්ම වන්නට ඒ සඳහා දැරීමට සිදුවෙන අධික පිරිවැය මෙන්ම පාවිච්චියේදී හා නඩත්තුව සඳහා වැයවන අධික මුදලත් හේතුවක්.

නමුත් තාක්ෂණික දැනුමක් ඇත්තෙකුට තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙළඳපොලේ ඇති පද්ධතියකට නොදෙවෙනි නැතහොත් ඊටත් වඩා  උසස් තත්ත්වයේ සිනමා පද්ධතියක් අඩු මුදලක් වැය වන ලෙස, තමා විසින්ම සකස් කර ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සඳහා සම්පූර්ණයෙන්ම නොවුනත් යම් පමනකට අත්වැලක් සැපයීමට මා බලාපොරොත්තුවන අතර කාල වේලා ඇති ආකාරයට ලියැවෙන මීලඟ ලිපි කිහිපය ඒ වෙනුවෙන් වෙන් වනු ඇති.

මා මුලින් පැවසූ පරිදි, ගෘහස්ථ සිනමාවකට ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් හා දෘෂ්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් අවශ්‍ය වනවා. මේ පද්ධති දෙකම එකිනෙකට නොදෙවෙනි කාර්ය භාරයක් ඉ‍ටුකරනවා වුවද දෘෂ්‍ය පද්ධතිය මින් මූලික වන බවට විවාදයක් නැහැ.

තැටි හෝ පටි වාදන යන්ත්‍රයක් සමඟ ඈඳා ගත් දෘෂ්‍ය ප්‍රතිදානයක් ලබා ගත හැකි උපකරණයක් එනම් විශාල ප්‍රමාණයේ රූපවාහිනියක් හෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (projector) දෘෂ්‍ය පද්ධතියට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙයිනුත් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තමන්ගේ සිනමා ශාලාවට එක්කරගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. විශාල ප්‍රමාණයේ රූප රාමු සමඟ නියම සිනමා ශාලාවක අත්දැකීමකට සමීප වීමට එමගින් හැකියි.

මා විසින් සකස් කිරීමට නිම කිරීමට අදහස් කල පද්ධතිය සඳහාද යොදා ගැනීමට මා අදහස් කලේ ප්‍රක්ශේපන යන්ත්‍රයක් එසේත් නැතහොත් ප්‍රොජෙක්ටරයක්. වෙනසකට ඇත්තේ එම ප්‍රොජෙක්ටරය මාවිසින් නිවසේදීම සාදාගත්තක් වීමයි.

එය බහුමාධ්‍ය (multi media) ප්‍රොජෙක්ටර සඳහා භාවිත කෙරෙන ජනප්‍රිය LCD තාක්ෂණය මත පදනම් වූවක්. තවමත් විවිධ වෙනස්කම් සිදු කරමින් අත්හදා බැලීමේ මට්ටමේ පැවතුනද මේ වනවිටත් එයින් සතු‍ටුවිය හැකි මට්ටමේ සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

වෙළඳපොලේ ඇති ප්‍රොජෙක්ටරයන්ගේ මිළ අධික වීමත් ඒවා හදිසියකදී අළුත්වැඩියා කර ගැනීමට ඇති දුෂ්කරතාවත් නිසා පමනක් නොව මෙවන්නක් තමා විසින්ම එකලස් කර ගැනීමෙන් ලැබෙන තෘප්තියද හේතුවක් කරගෙන අතගැසූ මේ ව්‍යාපෘතියේ අද්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගන්නේ අවශ්‍යතාව ඇත්තෙකුට තමාටද එවැන්නකට අතගැසීමට පෙලඹවීමක් ඇති කරමිනුයි.

මීළඟ ලිපියෙන් අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ, ඒවා සොයා ගත් ආකාරය වැයවන මුදල පිළිඹඳව මෙන්ම මෙහි මූලධර්මය පිළිඹඳවද කතාකිරීමට බලාපොරොත්තු වෙනවා.

10/27/2010

උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය...

බ්ලොග් එකක් නිකන් තියන එක පවු! ඒකෙ මොනවහරි ලියන එකෙන් පුංචි හරි චිත්තප්‍රීතියක් ඇතිවෙන හින්ද ඒක පිනක් වෙන්න ඇති.

රාජකාරි ජීවිතයෙන් සීයට පනහක්, ඒ කියන්නෙ අවුරුදු තුනක් තිස්සෙ ඇදිල ගිය ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරල ඒ සතුට භුක්ති විඳින ගමන්  තමයි මේ දවස්වල අපි ඉන්නෙ. ඒකෙ කූටප්‍රාප්තිය එලඹෙන්නෙ හෙට, ඔක්තෝබර් 28. ඒ කියන්නෙ ඒ හදපු අහවල් එක හෙට තමයි එයාගෙ අයිති කාරයගෙ රටට, ඒ කියන්නෙ ඉන්දියාවට කැන්දන් යන්නෙ. ඉතින් අපි හෙට දවසෙ පෙල ගැහිල, අව්වෙ ඉඳල, ලොකු මහත්තැන් කියන දේවල් අහගෙන ඒවට අප්පුඩි ගහලා, දරුවෙක් වගේ හදාපු අපේ නිෂ්පාදනය එයාට හිමි තැනට යන්න සමුදෙන්න තමයි බලාපොරොත්තුව. ඒක මොකද්ද කියල මම නොකීවට අනිවාර්යයෙන්ම ඒ නිෂ්පාදනය ලාංකීය කාර්මීකරණයේ සුවිශේෂී සලකුණක්. ඒ ගැන ඒ ගානට ලිව්වම  ඇති.

ඊට අමතරව උන්නැහේ තවත් වැඩකට අත ගහල ඉන්නෙ මේ දවස්වල. ඒක නං අමුතුම වැඩක්. සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා ආසාවක් ගෙදර පිචර් හෝල් එකක් හදා ගන්න. ඒ හා සම්බන්ධ වැඩකට තමයි අත ගහල තියෙන්නෙ. දැනට තරමක ප්‍රගතියක් තියෙනවා. ඔය බලිකුරුට්ට දැක්කම හිතා ගතෑකිනෙ ප්‍රගතියෙ තරම. (ඕව පාට කොර කොරා ඉන්න වෙලාවක් නෑ)








 e bay එකෙන සෑහෙන තරං බඩු ගොඩක් ඕඩර් කොරාගෙන තමයි වැඩේට බැස්සෙ. මේ දවස් වල බඩු ටිකෙන් ටික ලැබෙමින් පවතිනවා. ඒ බඩු ඇනවුම් කරල තියෙන්නෙ මහ ගෙදර ලිපිනයට ලැබෙන විදිහට නිසා සැරෙන් සැරේ සොදිසි කොරල බලන්න ඔනෙ ආවද නැද්ද කියලා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ලියුම් මාම කලබොල වෙලා අපේ තාත්තගෙන් අහල තියෙනව මේ හැටි රට බඩු එන්නෙ කාගෙන්ද කියල. මිනිහටත් ඕන්නැති දෙයක් නෑනේ. ඒ වුනාට ඒ විදිහට විමසිලිමත් වෙන එක නං අගය කොරන්න ඕනෙ. මට බය තියෙන්නෙ මිනිහ බැරිවෙලාවත් ආයෙ පොලිසියටවත් කිව්වොත් මෙන්න අහවල් ගෙදරට නිතරම රට බඩු පාර්සල් එනව ඒ ගැන සැකයි කියලා...

බඩු ටික ඔක්කොම එකතු කරගත්තට පස්සෙ වැඩේ ගැන පිලේ පැදුරෙ ලියවෙයි විස්තර පින්තූර එක්කම. අවශ්‍ය අයට ඒ පාරෙ ගිහින් තමුන්ටත් එහෙම දෙයක් කොරගන්න පුළුවන්  එතකොට.
තව එක පාර්සලයයි එන්න තියෙන්නෙ. ඒකෙ එන්නේ  condenser lense එක. ඔන්න පුංචි ඉඟියකුත් දුන්න වැඩේ ගැන. හැබැයි දැන ඒක එන්න ඕන කාලෙ නං පැනල. මොකද දන්නෑ පරක්කු.

කොටසක් බඩු මහ ගෙදර, තවටිකක් මෙහෙ ගෙදර, තවත් එකක් තාම තැපෑලෙ. මට මතක් වෙන්නෙ අර කවුදෝ කියල තිබුන කවියක්, අර "මුවෙක් හැඬුවා සබර ගමුවේ" කියල ඉවර වෙන්නෙ.

අපොයි එහෙම නොවේවා...!!!

9/12/2010

ඇමයිතුමා හා විදුහල්පති තුමා

මිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි.

ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා බැලුවොත් දකින්න පුළුවන්. මේකට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්.  මිනිසුන්ගේ ඇසීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම වගේම ඒ ඒ අයගෙ අධ්‍යාපන මට්ටම ආර්ථික තත්වය වගේ දේවලුත් මෙයට බලපානව ඇති සමහර විට. 
 
බොහෝ විට ආර්ථික පැත්තෙන් දුෂ්කරතා ඇති හා ඒ හේතුවෙන් අඩු අධ්‍යාපනයක් ලැබූ අය අතර මෙලෙස විවිධ වචන සම්මත රූපයෙන් බැහැරව පාවිච්චි වෙනවා බොහෝ සෙයින් දකින්න පුළුවන්.

" මුදලාලි ... මට  දෙන්නකො සත්ති පිටි එකක්." 

දවසක් කඩයකට ගොඩවැදුණු අයෙක් කඩ හිමියාගෙන් යමක් ඉල්ලා සිටියේ එහෙමයි.
එහිදී සිදුවෙලා තිබුණෙ කිරි පිටි වල නම පැවසීමේදී ඒ තැනැත්තා "ර" යන්න වෙනුවට සයන්න භාවිත කර තිබීමයි. හොඳින් නිරීක්ෂණය කරනවා නම් මෙවැනි උදාහරණ ඕනෑ තරම්.

තවත් ප්‍රදීප් නම් වූ මා දැනසිටි අයෙක් තමන්ගේ නම පැවසුවේ "පොදීප්" ලෙස. කෙතරම් උත්සාහ කලත් ඔහුට "ප්‍ර" ශබ්දය උගන්වන්නට අපට නම් පුළුවන් වුණේ නැහැ. සමහරුන් නිතරම ඔහුගේ නම විමසා සමච්චල් කලා මට මතකයි.

ඉහත සිද්ධි දෙකම එතරම් උගත් කමක් නැති පුද්ගලයන් හා බැඳුණු ඒවා. නමුත් ඔවුන් අතරින් විතරක් නෙවෙයි මෙවැනි වචන අසන්නට ලැබෙන්නේ...

උදාහරණයක් හැටියට "ප්‍රජාතන්ත්‍රවාදය" කියන වචනය නිසි ආකාරයට උච්චාරණය නොකරන  ඉහල  සමාජයේ පුද්ගලයන් එමට අපි අතර ඉන්නවා.  ඔවුන් නූගතුන් යැයි කියන්නත් බැහැ ඒ වගේම එම වෙනස් කම ප්‍රාදේශීය භාවිතයක් කියලා කියන්නත් බැහැ.

මෙ වගේ වැල් වටාරමක් ලියන්න පෙළඹීමක් ඇතිකළේ නිතරම ඇහෙන තවත් ඒ වගේ වචනයක්. ඔබ අසා ඇති  "ඇමති තුමා" කියන වචනය. මෙය බොහෝ දෙනා - දේශපාලකයන් , සමහර මාධ්‍යවේදීන් පවා- උච්චාරණය කරන්නේ "ඇමයි තුමා"  හැටියටනේ... ඔවුන් එහි එන "ති" යන්න හරියාකාරව ශබ්ද කරන්නෑ. එක අතකට " ඇමති තුමා" කියනවට වඩා "ඇමයි තුමා" කියන එක පහසුයි. කොහොම වෙතත් මෙවැනි භාවිතයන්  දනවන්නේ හාස්‍යයක්.

මෙන්න මේ හා ඈඳිය හැකි රසවත් සිදුවීමක්.
ඒ දවස් අපි පහ වසර පන්තියේ හිටපු කාළය. විදුහලේ අපේ අංශ බාරව හිටිය මැතිණියත් ඔය "ඇමති තුමා" කියන එක  "ඇමැයි තුමා" කියල කියන ජාතියෙ කෙනෙක්.  සතියකට වරක් අඟහරුවාදාට  පැවැත්වෙන උදය ‍රැස්වීමේදි සමහර දාට එතුමිය පුංචි කතාවක් කරනවා. එහිදී  විදුහල්පති තුමාගෙන් හා ‍රැස්වෙලා ඉන්න ආචාර්ය මණ්ඩලයෙන්  අවසර ගන්න එක අනිවාර්යයෙන්ම කරන දෙයක්. 

" ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් ..." එහෙම කියල  තමා සාමාන්‍යයෙන් අවසර ගන්නෙ.
හිතාගන්න පුළුවන් නේද මෙතුමිය අවසර ගන්න ඇත්තෙ කොහොමද කියලා....


............................

9/08/2010

කියන්නෙපා....

කියන්නෙපා....
දැනුනේ නම් නෑ කියා
හිතේ තිබුණ ආදරේ මගේ
හිතාගන්න බෑ
උන්නේ කෙළෙසද කියා
බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ.

සසැලි ‍රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී
මුවදොර ළඟ සිටියද නිසැලී  
සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ.....
නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ
මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ.

ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා
අසරණ වූවද මුව ගොලුවී 
දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ...
ළඟින් දැව‍ටුනත් රුව මා සිත් අහසේ
මොහොතක වත් නොදු‍ටුවාද ඇත්තටම නගේ.





...........................

9/03/2010

හැක‍රැල්ලා ...බේරපාං ...!

වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා.

තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ.

ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම එපෑ යන්න. පදින එකාට ඉහලින් ගිහින් පොල්ලෙ යන එකා කලබලේට හැඬල් එක හරවන්න ගියොත් හෙම දෙන්නම දෙරි ගැහෙන්න බැරි නෑ.

ඔන්න ඉතින් ඔහොම දෙන්න එනකොට පොල්ලෙ හිටපු අජිත් දැක්ක යමෙක් හිමින් සැරේ කිසීම කලබොලයක් නැතිව පාර හරහා මාරුවෙනව. මෙච්චර මේ සයිකලයක් කඩාගෙන බිඳගෙන එනකොට කවුද බොලං හෙමි හෙමීට පාර මාරුවෙන්නෙ. නමුත් මේකා බොහොම සීරුවට පාඩුවෙ ගමන. මොකෙක් වත් නෙවෙයි මේකා හැක‍රැල්ලෙක්. මිනිස්සු දහයක් පාලොහක් හැපුනත් නොපෙනුනාට පාරෙ අයිනෙ ඉන්න බල්ලො පූසො බොහොම අපූරුවට පේන සමහරුන්ට වගේ අජියටත් මේකව බොහොම දුර තියාම පෙනුනා.

පෙනුන විතරක් නං මදෑ... මහපාර මැද්දෙ මහදවල් වල් අලියෙක් දැක්ක වගේ මේකා බෙරිහං දෙන්න පටන් ගත්තා...

"හැක‍රැල්ලෙක්...හැක‍රැල්ලෙක්... ඔන්න වසන්තයෝ හැක‍රැල්ලා...බේරපාං බේරපාං"





කෑගහල නිකං හිටියනං ඒත් මදෑ...අර රූං ගාල එන සයිකලේ හැඬල් එක දෑතින්ම බදාගෙන දෙපැත්තට කරකවන්න ගත්තා... හැක‍රැල්ලව බේරන්න. හිතපු නැති වෙලාවක සිද්ද වෙච්ච මේ වැඩෙන් වසන්තට බයිසිකලේ පාලනය කොරගන්න බැරිවේලා... ආයෙ ඉතින් මොන කතාද දෙන්නම බිම!



 මූණ කටවල් සමතලා කොරගෙන, පස්ස බිම ඇණගෙන බිමවැටිල හිටපු යාලුවො දෙන්න ඉස්සරහින් හැක‍රැලි යාලුවත් ඔහේ පාර මාරුවෙනව. තමන් වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු මනුස්ස පරාණ දෙකක් ලේ පෙරාගෙන කෙඳිරි ගගා පාර මැද්දෑවෙ වැටිල ඉන්නව කියලා ඌට වගේ වගක් නෑ.

අපේ යාළුවො දෙන්නත් යන්තං දනිපනි ගහගෙන නැගිටගන්න උත්සාහ කරට ඒක එච්චර ලේසි උනේ නෑ වැටිච්ච වැටිල්ලෙ හැටියට. ඒ උණාට හිතේ දුකක් නෑ... හැක‍රැල්ල බේරුණානෙ.

"උගෙත් හොඳ වෙලාව කියන්නෙ අපිව උගෙ ඇඟ උඩට වැ‍ටුන්නැති එකම කොච්චර දෙයක්ද නේදබං."
" හ්ම්හ්... උහ්"
දෙන්න තාම වැටිච්ච ගමං

ඔන්න ඔය වෙලාවෙ තමයි දැක්කෙ පාරෙ එහා කෙලවරෙන් මතුවෙලා දූලි වලා මතුකරමින් වේගයෙන් එන වෑන් එකක්.

හපොයි දෙය්යනේ... හනිකට පාර අයිනට පැන ගත්තෙ නැත්තං මේකා එන විදිහට දෙන්නව යට කොර ගෙන තමයි යන්නෙ. ඒ විතරක් නං මදෑ... ඇයි බං හැක‍රැල්ලා... ඌ තාම පාරෙ මැද හරියෙනෙ. අනිවාර්යයෙන්ම උන්දැව වෑන් එකට අහු වෙනවමයි. දැන් මොකද කරන්නෙ. මෙච්චර අමාරුවෙන් බේරගත්ත සතා තප්පර කීපයක් ඇතුළෙදි වාහනේකට යටවෙන්න අරින්න පුළුවන්ද?

බෑ.. කොහොමටවත් බෑ!!

වසන්ත නැගිට්ටා ...

කොන්ද රිදෙනවා, දනිස්ස වැලමිට තුවාල වෙලා ඒත් මොනවා කරන්නද?!

වේදනාව ඉවසගෙන පැන්න හැක‍රැල්ල ඉන්න තැනට.

ම්ම්ම්... අතින් අල්ලන්නත් මොකද්ද වගේ... අනික හැක‍රැල්ලො කියන්නෙ හරියට කිචි තියෙන සත්තු ජාතියක්නෙ උන් කැමති නෑ උන්ව කවුරුවත් අල්ලනවට.

කාලේ නාස්ති කර කර ඉන්න හැටියක් නෑ ...කරන්න තියෙන්නෙ එකම දෙයයි.

තිබ්බ වම් පාදය පෙරට... දුන්න දකුණු කකුලෙන් පාපන්දු පහරක් හැක‍රැල්ලව පාරෙන් අයිනට වීසි වෙන්න.





අනේ අනිච්චං!!! මොන හැක‍රැල්ලෙක්ද අප්පා... උන්දෑ කෑලි දෙකකට කැඩිලා එක කෑල්ලක් කාණුවෙ අනෙක් කෑල්ල ගුවන් ගත උණේ වැටටත් උඩින්!


ඊට පස්සෙ දෙන්න එක්ක සයිකලෙත් තල්ලු කරං ගෙදර ගියා කියළා තමයි ආරංචිය. මම තාම කල්පනා කරන්නෙ ඔය කතාව පිටට ආරංචි උණේ කොහොමද කියලා. මොකද තුන්වෙනි පාර්ශවයක් හැටියට එතන හිටියෙ හැක‍රැල්ල විතරයිනෙ.

කොහොම උනත් හැක‍රැල්ලට උගෙ හැක‍රැලි ආත්මයෙන් මිදෙන්න උදවු කරපු එකම මදෑ!!

8/09/2010

බලි කුරු‍ටු...

පහුගිය දොහක ඇඳපු බලි කුරුට්ටක් දාන්න හිතුණා... වැදගත් යමක් ලියන්න ඉකමනින්ම එනකං මේකවත් බලමු.





...........

7/11/2010

හොඳ වෙලාවට සපත්තු පෙට්ටියක් නොතිබුණේ...


ඔන්න එකමත් එක රටක වෙදරාළ කෙනෙක් හිටිය. උන්දා බොහෝම දස්ස ගුණයහපත් වෙද රාලකෙනෙක්. හැබැයි කෝකටත් තෛලෙ වගේ හිටපු  ගෝලයනං අම්මපා බත් කන හරක් පැටිය. දුරින් නෑයෙක් වෙන ඒකව වෙද රාළ ළඟට පංගරාත්තු කොරල  තිබුණෙ වෙදකම ඉගෙන ගන්නෙයි කියලා. ඉතිං මේකත් වෙදරාලගෙ පස්සෙන්ම වැටිල හිටියෙ. වෙද රාල ගමේ ලෙඩෙක් බලන්න යනකොට මේකත් පස්සෙන් වැටෙනව. අඩිය තියන්නෙත් වෙදරාළ අඩියතියන්නා වාගෙමයි, කතාවත් වෙදරාළ දොඩන්නා වාගෙමයි, මොකෝ ඉතින් වෙදෙක් වෙන්න ඉන්න මිනිහනෙව. හැමදේම පකාදු පහට තියෙන්න එපායෑ. නමුත් මිනිහගෙ හැටි දන්න නිසා වෙද රාළ සාස්තරේ දෙන්න ඒහැටි උනන්දු උනේ නෑ. ඉතින් මිනිහ කළේ වෙද රාළ කරන දේවල් බලා ඉඳලා සාස්තරේ ඉගෙන ගන්න එක තමයි.

දවසක් වෙද රාළ ගියා එක්තරා ලෙඩෙක් බලන්න, ගෝලයත් එක්කම.












ඒ ලෙඩාට තිබුණෙ බඩේ ගායක්. ඉතින් වෙදරාළ ලෙඩාගෙ විස්තර අහල කාරිය වෙද රාල තේරුම් ගත්තා මේක මොකක් නමුත් කෑමක් වැරදිලා හැදිච්ච ලෙඩක් විත්තිය.  ලෙඩාගෙන් ඇහුවට ආයෙ කියන එකක් යෑ. මොකුත් ම නරක දෙයක් කෑවෙ නැතිලු. ඉතින් වෙදරාලත් කල්පනා කොරලා නහය හේම අකුලලා ඉව කරලා බලාල  කාරිය එබුණ ඇඳ යටට.










හත්වලාමයි මේ තියෙන්නෙ. එහෙම්පිටින්ම වැලගෙඩියක් ඇදල ඇරල නෙව. ක‍ටුයි, ඇටයි, වහල්ලයි තාම ඇඳයට. ඉතින් බඩේ අමාරු නොහෑදි තියේද. 

රෝගයට හේතුව ඉතාම නිවැරදිව සොයාගත්තු වෙදරාල ලෙඩේට සුස්දුසු බෙහෙත් නියමකරල ලෙඩාව ගොඩ දගත්තා.

ඔහොම කාලයක් ගත වෙලා ගියා....
ගෝලයා තාමත් වෙද රාල ලඟ සාස්තරේ ඉගෙන ගන්නව.

දවසක් වෙදරාල කොහේදෝ බෑරක් ගිය වෙලාවක කවුදෝ මිනිහෙක් ආව අමාරු ලෙඩෙක් බලන්න වෙදරාලව එක්කරගෙන යන්න. වෙදරාල ගෙදර නෑ කිව්වට මේ මනුස්සයගෙන් බේරුමක් නෑ... ලෙඩාට අමාරුලු සිහියක් පතක් නැතිලු. ඉක්මනට මොනව හරි කරන්නලු. ඉතින් වෙද ගෝලයත් කල්පනා කලා මේක තමයි ඉගෙනගත්ත දේවල් අත්හදා බලන්න හොඳම අවස්ථාව කියලා. එහෙම හිතල බැස්ස පාරට... දැන් මිනිහා යනව පුතෙයා වාගෙ අර මනුස්සයවත් ඉස්සර කොරන්. ගිහින් ගිහින් ලෙඩා ඉන්න ගෙදරටත් ආවයි කියමුකෝ.
ලෙඩා ඉන්නව ඇඳේ පත බාල සිහියක් පතක් ඇත්තෙම නෑ. ගෝලයා උගුරෙ ‍රැල් බුරුල් එහෙම ඇරල...

"කියමු බලන්න... මොකද්ද මේ ලෙඩේට හේතුව..."
" අනේ පොඩි වෙද මහත්තයෝ අපිට නං හිතා ගන්නවත් බෑ... "
"මොනවද ඊයෙ රෑ කෑවෙ... මුකුත් නරක දෙයක්... ගිනියම් කෑමක් හෙම...?
"එහෙමට කියන්න තරං දෙයක් නෑ වෙද මහත්තයෝ..."

ගෝලයට ටිකක් විතර හිතට හරි නෑ....වෙදරාල ලඟ ගත කරපු කාලයෙදි මෙහෙම ලෙඩෙක් දැකල තිබිනෙත් නැහැ...මිනිහ ටිකක් කල්පනා කලා... ආව ඔලුවට අදහසක්...
එබුණා ඇඳ යටට...
ඊට පස්සෙ බොහොම බැරෑරුම් පෙනුමක් එහෙම ආරූඩ කරගෙන කියාපි...

"මට නොකිව්වට මම හොයාගත්තා ලෙඩේට හේතුව... හුහ්.. මට හංගන්න බෑ ඕව හරිද.? මගේ ගුරුන්නාන්සේ මට ඔය සාස්තර හැම එකක්ම කියල දීල තියෙන්නෙ."

"අනේ...වෙදමහත්තයෝ අපිට සමාවෙලා කිව්වනං ලෙඩේටහේතුව..."

" ලෙඩේට හේතුව.... ! හේතුව තමයි මේ මනුස්සය සබන් කාලා! ටිකක් නෙමෙයි දුසිං දහයක පෙට්ටිට්යක්ම... ඔය ඇඳ යට තියෙන්නෙ. බොරුනං බලනවකො."

එක ඉලන්දාරියෙක් ඇඳයටට එබිල ඇදල ගත්ත ලොකු කඩදාසිපෙට්ටියක්.

අනේ ඒක සමාගං කඩෙන් ඉල්ලන් ආපු හිස් සබන් පෙට්ටියක් ඒ මනුස්සයගෙ අඩුමකුඩුම වගයක් දාල තිබුණු.

හොඳ වෙලාවට ඇඳ යට සපත්තු පෙට්ටියක් නොතිබුණේ.... කවුදෝ කියනව ඇහුණා.!


 









මේකට ප.ලි. එකක් ලියන්න වෙයිද මන්දා....

6/24/2010

ලෙඩ්ඩු බලන්න ආපු යාළුවෝ...

උණ හැදුනහම මට නං මාර ජොලි.

වෙන මොකවත් හින්දා නෙවෙයි, නොමිලේ චිත්‍රපටි, කාටූන් එහෙම බලන්න පුළුවන්නෙ.
102 - 103 ට විතර උණ ආපුවම ඔය වුඩී වුඩ්පෙකර් එතකොට සූර පප්ප වගේ අය උණත් ගෙන්න ගන්න පුළුවන්.

මේ සැරේ තමයි වැඩේ හොඳටම නැගල ගියෙ...

මොකද කියනවනං කැලේ හිටපු ඔක්කොම යාලුවො ටික මාව බලන්න ආව නෙව. ඇඳ උඩම කොලේකුයි පෑනකුයි තියාගෙන යාලුවො ටික යන්තම් ස්කෙච් කර ගත්ත.

පස්සෙ හිතුන මගෙ ප්‍රියතම drawing tool එක වෙච්ච MS Paint වලින් කට්ටිය ඇඳල දාන්න. පාට කරන්න ගිහිල්ල තමයි වැඩේ ඇණගත්තෙ. මොකද Paint වලින් ඇඳල පාට කරන එක මාරම අමාරු වැඩක්. මම සාමාන්‍යයෙන් කරන්නෙ closed contours විදිහට ඇඳලා බාල්දියෙන් පාට පුරවන එක. එපා වෙන වැඩක්. ඒක හින්දා එක යාළුවෙකුව විතරයි පාටකරන්න පුළුවන් වුණේ.... අල්ලල දැම්ම.

ඔය තියෙන්නෙ අලි පැංචා එයාගෙ ලැපෙන් බ්ලොග් බලන වෙලාවෙ මං අසනීපෙන් කියල දැනගෙන යාලුවොටිකත් එකතු කරන් අපේ ගෙවල් පැත්තෙ ආපු විදිහ තමයි. තෑගි බෝග හෙමත් ගොඩාක් ගෙනැල්ල. හොඳ යාලුවො නේද?

කට්ටිය ටික දවසක් මෙහෙ නවතිනව කියල තමයි කියන්නෙ. මේගොල්ලො එනකොට මගදි මාර මාර වැඩ වෙලා තියෙනවා.  ඒවත් පුළුවන් විදිහට කියන්න බලන්නම්.


6/23/2010

පුංචිම පුංචි සටහනක්

කොරේ පිටට මරේ කිව්ව වගේ වයිරස් උණකුත් ආවනෙ. සතියක්ම හාන්සි. සනීප උනයි කිව්වට තාම ඇඟට හරි මදි.

ඔලුවෙ අමාරුව නං තාම ඔය තියෙන්නෙ. දොස්තරලා කියන්නෙ කාළයත් එක්ක ටික ටික ඇරිල යයි කියල තමයි. ඒ උනාට ඉවසන එක මමම එපෑ කරන්න. කොහොම උනත් මගේ වෛද්‍යවරයා මාව තවත් තැනකට යොමු කළා... බලමු.

බ්ලොග් සහෘදයො ටික කම්පාවෙලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කොරළ තිබුන. බොහොම ස්තූතියි. ඒ ඔක්කොටම වෙන වෙනම උත්තර දෙන්න අමාරුයි. කීප වරක්ම උත්සාහකළා තත්වය සමාලෝචනය කරල පොඩි සටහනක් දාන්න. ඒ උණාට ලිවිල්ල අප්පිරිය වෙලා තිබුණෙ.

Hasitha, මාතලන්, දිල්, ඉලංදාරියා, පිස්සා පලාමල්ල, මහසෙන්, සංගීත අඤ්ඤයා මලයා, මාරයා, හරී, දුකා,  Outsider, Sri manjula, වත් , ප්‍රියංගී

මගෙ අම්මෝ මේ ඔක්කොම ආවනෙ ලෙඩා බලන්න. 

ඒ විතරක් නම් මදෑ...
තවත් යාළුවො ගොඩාක් ආව...

ඒ විස්තරත් එක්ක ළඟදීම හමුවෙමු.

ආ මහසෙන් ... ඕන් profile picture  එක අයෙමත් දැම්මා...

6/05/2010

අසනීපෙන් - මල් වඩම් අනවශ්‍යයි














පසුවූ නිසා අසනීපෙන් ගිය සතිය
ඔළුවේ නිදහසින් ගතවූයේ නැතිය
තවමත් නැතත් හරිහැටි සුවවූ ගතිය
කිසිවක් නොලිය ඉන්නට සිත නැත රුතිය

හරියට දොලොස් මසකට පෙර මැයි මාසේ
සිදුවූ හදිසි අනතුරකින් වුනු දෝසේ
තවමත් විටින් විට හිස ඔසවයි රහසේ
වදදෙයි කෙලින් සිටිනට බැරි ලෙස බෝසේ

නමගිය වෙදුන් දොස්තරවරු මෙලක තුර
වෙහෙසුන නමුත් තුළ පසුගිය මුළු වසර
සුවකරලනු තබා කුම් වීදැයි සැකැ'ර
කියනට නොහැකි වී ඇති කරුමය කවර

සොලවනු තබා බලනට හරවා දෙපස
නොහැකිව තියේ කකියයි හිස දකුණුපස
නිදියනු පිණිස තැබුවද කොට්ටයට හිස
ගතවෙයි ‍රැයම මොහොතක් නොපියා දෙ ඇස


ඊ ඊ ජී ගොඩකි එක්ස් -රේ තව ගොඩකී
දිග පෙති රවුම් පෙති කරලුත් මහ ගොඩකී
කුමක් කරත් නිසි සුවයක් නැති හැඩකී
බීපු වෙලාවට පමණක් සුවය දකී


කොතරම් ඇති නමුත් ඔලුවේ අමාරුව
සිහි කල්පනාවෙන් අඩුවක් නොමැත තව
එබැවින් ඉවසමින් තද වේදනා බව
පසුවෙමි පුරුදු ලෙස කරමින් රස්සාව


මේ ලෙස ගෙවෙන්නේ සැම දිනයම වාගේ
බියකුත් පවතීය සිත පතුලෙහි මාගේ
මා මලහොතින් වැඩිවීලා මේ රෝගේ
කවුරුද අදින්නේ පවුලේ බර බාගේ



.........................


5/26/2010

වඩිනු මැන සමිඳේ...


හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක.
දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ.
 
2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව.

ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි තැන් අමතක වෙන රෝගයක් තියෙනව. ඒ හේතුවෙන් සහ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වශයෙන් ඔවැනි කටයුතු වලට සහාය වීමේ යුතුකම ඉ‍ටු කිරීමක් හැටියටත් උන්නැහේ වැඩේට මැදිහත් වෙලා පොඩි උන්ට උපදෙස ටිකක් එහෙමත් දුන්නා. අපරදෙ කියන්න බෑ එතන හිටපු කොළු කෙල්ලන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.

ඒ වෙලාවෙ විනාඩි පහක් වහේ කාලයක් ඇතුළත ලියල දීපු පද රචනාවක් තමයි ඔය පහළින් තියෙන්නෙ. ක්ෂණිකව තනුවකුත් දාල සංගීතයත් නිර්මාණය කරළ දුන්න. කොහොම හරි අන්තිම දවසෙ ළමයි ටික ඒක හොඳට ගායනා කළා.
උන්නැහේ තාමත් ඒ ගැන තෘප්තිමත්.

ඒක record කරපු mp3 file ටික තැටියක තිබුණා. අද රෑට ගෙදර ගියාම හොයළ බලන්න ඕනෙ. තිබුණොත් දාන්නම්.
 



 ...........................................


අවිදු අඳුරේ තැවෙන සත වෙත
ඉසින්නට අම පැන් පොදක්
සනහ සනහා දැවෙන මිහිකත
වඩිනු මැන සමිඳේ //

(සංගීතය)

හසර නොම දැන අයාලේ යන -
                          සතට බුදුමග හෙළි කරන්නට //
අමා බණ පදයක් දෙසන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...

(සංගීතය)

සියල් දුසිරිත් හිසින් පිළිගෙන -
                       මිනිස්කම් සිඳ දමන දින දින  //
මෙසත් වග බෝසත් කරන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...


...........

5/21/2010

කම්මැලි කමට....

පිලේ පැදුර පටන් ගන්න කොට හීනෙකින් වත් හිතුවෙ නෑ මේකෙ කයි කතන්දර ලියන්න. අදහස තිබුණෙ ඔය මොන මොනවා හරි තාක්ෂණික ලිපියක් දෙකක් ලියාගෙන ඉන්නව කියල. ඒ වුණාට ඉතින් අන්තිමට බලද්දී තාක්ෂණික ලිපියි කියළා ලියලා තියෙන්නෙ ලිපි දෙකක් විතරයි.

ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි තාක්ෂණ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න පුළුවන් එකක් නොවන බව මා විසින් තරයේ ඇදහීම. නිවැරදි බව වගේම ප්‍රමාණවත් තරම් සාරවත් එකක් වෙන විදිහට ලියන්න ගියාම ආපහු අර පළමුවෙන කරුණ හරස් වෙනව. 

ඔය දෙකටම අමතර කරුණක් විදිහට සිංහල බ්ලොග් අවකාශයෙ ඇති තරම් තාක්ෂණ ලිපි රචකයො ඉන්නවය යන හැඟීමත් මා තුල තියෙනව. සමහර විට බහුතරයකගෙ අවධානයට යොමු නොවෙච්ච යම් යම් දේවල් ගැන ඉදිරියේදී යමක් ලියවෙන්නත් ඉඩ තියෙනව. ඒ දැනට පර්යේෂණ මට්ටමේ තියෙන දේවල් සාර්ථක උණොත් පමණයි.

ඔන්න ඔච්චරයි අද බ්ලොග් සටහන...

ඒ උණාට ඔය පහළින් තියෙන් එකත් කියවලම යන්න...

මේක මම "සොඳුරු සිත" බ්ලොග් එකට ලියපු කොමෙන්‍ටුවක රූපාන්තරනයක්. අදහස මගේ හිත ඇතුළේ බිහි උණේ "සොඳුරු සිත" දාල තිබුණ පින්තූරෙ දැකලයි.


හැබැයි ඉතින් බොළඳයි කියල නෝන්ඩි කරන්න ඔට්‍ටු නෑ...  හරිය....





රිදුම් දෙන නෙත නැගෙන සීතල
කඳුළු බිඳු වළකා මකා
සුසුම් ස්වරයෙන් ඉකිලමින් යළි
නොඑන ලෙස කීවද සදා

දෙනෝදාහක් අතර හැංගී
සිටින විට නුඹ දෙස බලා
දකින්නෙමි නුඹෙ නොඉවසිලි නෙතු
සොයයි කිසිවෙකු මග බලා

නුඹෙන් ඈතට ඉගිලිලා මා
තුටින් යැයි සිතනට එපා
විසල් බැමි පියමං කරන්නට
සවිය නැත අසරණ දෙපා

සිටිය ලෙස එක් සොඳුරු යුගයක
ඉන්න මිස තුරුළට වෙලා
කවරදාවත් යළි නොඑන්නෙමි
යන්න නුඹෙ කඳුලැලි බලා



ප.ලි.: "සොඳුරු සිත" හිමිකාරි " වත්"   ගේ අගය කිරීම නොවන්නට මේ පද පෙල මෙතනට එන්නෙ නැතිවෙන්න තිබුණා! 


5/17/2010

පිටෙන් ලේ ගලන ලෙඩේ...

අදත් දවසෙම වැස්ස...
වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ.  ඒකත් වෙලාවකට හොඳට හිටිනව.
සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්.

"වැස්ස එක අතකට සුන්දරයි ... හරිම රොමෑන්ටික්" සමහරු එහෙම කියයි. හොඳට කුස පිරෙන්න දුම දමන කෑම වේලක් ගිලදාල ...උණුසුම් පොරෝණයකට ගුළිවෙලා එහෙමත් නැත්තං උණුසුම් කබායක් දවටගෙන උණුසුම කරපු කාමරයකට වෙලා ඉන්න කෙනෙකුට එහෙම හිතෙන එක ගැන වරදක් කියන්නත් බැහැ. ඒත් මහ මග කාගෙ හරි අගුපිළක එහෙමත් නැත්තම් යන්තං ඉටිකොළයක් පොල් අත්තක් දෙකක් අහුරගත්තු නිවසක ඉන්න කෙනෙකුට අද වගේ දවසක මොනවා හිතෙනව ඇද්ද?... කුළියක් මලියක් කරල කීයක්වත් හොයාගන්න නැතුව අද දවසෙ කීදෙනෙක් බඩගින්නෙ ඇතිද?... එකම සුදු ඇඳුම වෙලගන්න බැරුව දරුවො කීදෙනෙක් අද ඉස්කෝලෙ නොගිහින් ඇතිද?....

යමරෙට විදුලි කොටනව... server ඩවුන් කරල වැඩක්  කරන්න හැටියක් ඇත්තෙත් නැහැ. ඒ පාර හිතුව මොනව හරි ලියල දාන්න. ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ... කවියක් ... ම්හු! හරියන්නෑ... මේ හෙන ගහන වැස්සෙ මොන කවිද?!!
කතාවක්... ම්ම්ම්... බලමු...

කළින් පෝස්ට් එකක දාපු අපේ යසපාල මහත්තයට අමතක වීම නිසා වෙච්ච ඇබැද්දිය ගැන ලිව්ව කතාව මතකයිනෙ? ගොඩක් දෙනෙක් ඒක කියවල තිබුණා... කීපදෙනෙක් අදහස් දක්වලත් තිබුණා. මේ කතාවත් යසපාල මහත්තයගෙ සුප්‍රකට අමතක වීම් සමුදායෙන් එකක් ගැන.  එච්චරටම සිරා එකක් නොවුණට ඔන්න ඔහෙ ලියළ දානව ඕන එකක් කියළ...

මුළින්ම කතාව කියන්න කළින් ඒකට ගැළපෙන චිත්තරයක් ඇඳගන්න ඕන මේ සැරේවත්.  මොකද නැත්තං හැමෝම කතාව කියවල ඉවරවෙලා මාසයක් විතර ගියාම තමයි ඕං ඒකට චිත්තරේ එක්කහු කොරන්න වෙන්නේ.

ඕං ඉතින් මේකයි කතාව...

මේ සිද්ධිය වුණේ මීට අවුරුදු පහහයකට උඩදි. ඒ කියන්නෙ යසපාල මහත්තයගෙ පුත්‍ර රත්නය රට රස්සාවට යන්න කළින්.  ඔය සුළු සුළු ප්‍රශ්න ඇති කරගත්තට යසපාල මහත්තයයි එයාගෙ නෝන මහත්තයයි බොහොම සමගියෙන් විහිළුවෙන් තහළුවෙන් තමයි ජීවිතය ගෙනියන්නෙ. වෙලාවකට මිනිහ කියන ඒවට අපිට උණත් බඩ අල්ලගෙන බිම පෙරලි පෙරලි හිනාවෙන්න වෙන වෙලාවල් තියෙනව. 


දවසක් ජෝඩුව දවල්ට කාල එහෙම ඉවරවෙලා කයියක් දාගෙන සාලෙ දිහාට ඇවිදගෙන එන අතරෙ යසපාල මහත්තය කියාපු මොකද්දෝ කටකැඩිච්ච කතාවකට නෝන මහත්තයට එක පාරටම බකස් ගාල හිනාගියා. වෙලාව කියන්නෙ එයා ඒවෙලාවෙ හිටියෙ වතුර වීදුරුවත් අරන් වතුරබිබී. කරුමෙට වතුර ටික පිට උගුරෙ ගියා.... හුස්ම ගන්න බැරි වෙන තාලෙට. ඇස් දෙකෙන් කඳුලුත් පැනල. තත්වය හයානකයි කියල යසපාල මහත්තයට තේරුණා.

මිනිහ මොකද කලේ... පැනපු ගමන් අල්ල ගත්ත නෝනව තඩිබාගෙන ගියේ නැතෑ පිට මැද්දෑවට.  මෙන්න මෙහෙම



ඔහොම තුන් හතර වතාවක් තඩිබාන කොට යන්තං පිට උගුරෙ ගිය වතුර ටික කොහෙන් කොහෙන් හරි ගිහිල්ල නෝනට හුස්මක් කටක් ගන්න පුළුවන් තත්වෙට ආව... 


එතකොට තමයි වැඩේ දරුණු අතට හැරුණෙ ... නෝනගෙ පිට මැද්දේඑකම ලේ විලයි. පිටෙන් ලේ ගලනව. මල කෙලියයි. 


යසපාල මහත්තය හොඳටම බයවුණා.

කොච්චර බය උනාද කිව්වොත් මිනිහට කෑගැස්සුනා.

"මෙන්නෝ .... කවුරුත් නැද්දෝ...නෝනට මොකද්ද වෙලෝ හොඳටම අමාරුයි... පුතේ... සුමනෝ....ඉක්මණට එන්නෝ..."  කියල මිනිහ මහහඬින් විලාප තියන්න ගත්ත. 


නෝනත් හොඳටම බයවෙලා පිටෙන් ලේ ගලනව කිව්වම ඉතින් බයවෙන්නැතෑ. මේ සද්දෙ ඇහිච්ච පුත්තරයයි කුස්සියෙ වැඩ කර කර හිටපු සුමනයි විතරක් නෙවෙයි අල්ලපු ගෙදර නෙවිල් මාමයි තව කීප දෙනෙක්මයි එකතුවුණා.
 

වැඩේ හරිම බරපතලයි... හොඳටම ලේ ගලනව. ඇඳන් හිටපු ඇඳුමත් තෙත්වෙළා...ඒ මදිවට බිමත්...

යසපාල මහත්තය මහා වරදක් කරපු එකෙක් ගානට බයවෙළා ඇයි ඉතින් එයා පිටට තඩිබාල නෙව මේ විපත සිද්ද උණේ.

"අනේ පුතේ අම්මව අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු... "

"ඉක්මනට බලා ඉන්න හොඳ නෑ කවුරුහරි දුවල ත්‍රී වීල් එකක් අරන් ආවනං හරි..." නෙවිල් මාමත් ඒකට කැමති උණා.. කොල්ල දිව්ව ත්‍රීවීල් එකක් හොයන්න. ඒ දවස වල යසපාල මහත්තයගෙ කාර් එක තිබුණෙ නෑ.

"සුමනෝ ඉක්මනට ලෑස්තිවෙයං ඉස්පිරිතාලෙ යන්න..." සුමනත් ලෑස්තියි.

විණාඩි දෙකෙන් ත්‍රීවීලරය ආව..

"හරි එහෙනං අම්මමව පරිස්සමෙන් නග්ග ගමු පුතේ සුමනො අල්ලපං..."

මෙන්න බොලේ එකපාරටම ලෙඩා මහ හයියෙන් හිනාවෙන්න පටං ගත්තා.... අර ඉස්සෙල්ල වගේ... මෙලෝ සිහියක් නැතිව හිනාවෙනව හිනාවෙනව...ඉස්පිරිතාලෙ යන්න අදසක් නැහැ වාගෙ.

යසපාල මහත්තය හිතුව දැන නං තත්වෙ හොඳටම බරපතලයි තවත් නං බලබලා ඉන්න හොඳනැහැ කියල...

" අනේ ... ඉක්මං කරල යමු ඉස්පිරිතාලෙට ඔයාට හොඳටම අමාරුයි" කියල නෝනව පටවන්න හදනව ත්‍රී වීලරේට.

"මම නෙවෙයි මනුස්සයෝ ඔහේ ගිහින් ඔය තුවාලෙට බෙහෙත් දාගෙන එනවා... අපරාදෙ මගෙ ඇඳුම...!"
මොකක් කියපි

හැමෝම උඩ බිම බැළුවා...


ඕං එතකොට තමයි යසපාල මහත්තයට මතක් උනේ ඊයෙ වත්තේ වැඩක් කරද්දි ඇඟිල්ලක් තුවාල වෙලා බෙහෙත් දමාගෙන ආපු බව.
ඒ තුවාල වෙච්ච අතින්ම නෙව නෝනගෙ පිට මද්දෑවට තඩි බාල තියෙන්නෙ...ඉතින් තුවාලෙ අයෙ පෑරිලා ලේ ගලල.

ඒක මතක් උණාට පස්සෙ තමයි මිනිහට අතේ වේදනාව දැනෙන්න ගත්තෙ.

අර ත්‍රීවීල් එකෙන්ම ගිහිල්ල ආපහු තුවාලෙට බෙහෙත් දමාගෙන එන්න තමයි අන්තිමට සිද්ද උනේ

5/09/2010

අරුම පුදුම මෝබියස් පටිය - Mobius Strip



 මීට අවුරුදු විසි පහකට විතර කලින් විජය ළමා පත්තරේ තිබුණ ලිපියක් "අරුම පුදුම මෝබියස් පටිය කියලා". ඒකෙ විස්තර කරළා තිබුණේ එක්තරා විශේෂිත ආකාරයකට සකස් කරගත්  පටියක් ගැන. අරුම පුදුම හැසිරීමක් තියෙන මේ පටිය ඔයගොල්ලන්ටත් හදල බලන්න පුලුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක්.
ඔයා පුංචි එවුන්ට මැජික් පෙන්නන්න කැමති කෙනෙක් නං මේක නියම වැඩක්.

අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙන්න මේවයි.

සෙන්ටි මීටර දෙකක් පමණ පලලින් යුත් මීටරයක් පමණ දිග කඩදාසි පටියක්
මැලියම් ටිකක්
කතුරක්

කරන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි.
කඩදාසි පටියෙ කෙරවලවල් දෙක එකට අලවගන්න.අලවද්දි මතක ඇතුව කඩදාසි පටියෙ එක දඟරයක් දමාගන්න. පහල තියෙන ඡායාරූපයේ ආකාරයෙ දෙයක් තමයි හැදෙන්න ඕනෙ.





පැහැදිළි කිරීමේ පහසුවට මෙතන පෙන්නල තියෙන්නේ පටිය තරමක් කෙටියි. මීටරයක් විතර දිග පටියක් ගත්තොත් තමයි වඩා හොඳ. එතකොට බලන අයට පටියෙ දඟරයක් දාලා තියෙන බව එච්චර පේන්නේ නැහැ.
දැන් කරන්න තියෙන්නෙ මේ පටිය කතුරෙන් හරියට දෙකට පලන එක. පටිය කැපිල වෙන්වෙන්නෙ නැති වෙන්න ප්‍රවේශමෙන් ඒ වැඩේ කරන්න ඕන. අන්තිමට ඔබට රවුම් දෙකක් ලැබෙන්න ඕන. එහෙම නේද ..? කරලම බලන්නකෝ.

........

ඔන්න ඕක තමයි මෝබියස් පටිය කියන්නේ. මේ සංසිද්ධිය සොයාගෙන ඉදිරිපත් කල ගණිත‍‌ඥයා වන මෝබියස් ගේ නමින් තමයි මේ පටිය හඳුන්වන්නේ.  වැඩේ තියෙන්නේ එක දඟරයක් දාල හදාගන්න මේ රවුමට තියෙන්නෙ එක දාරයක් සහ එක මතුපිටක් පමණයි. පාට කූරක් අරන් දාරය දිගේ පාට කරන් ගියොත් ඒක වැටහේවි.

මෝබියස් පටිය දෙකට පැලීමෙන් ලැබෙන ප්‍රතිඵලය නැවතත් දෙකට පැලීමෙන් ලැබෙන්නේ කුමකද කියලත් හොයල බලන්න අමතක කරන්න එපා...

මේ ගැන ගණිතමය පැහැදිලි කිරීමක් මෙන්න මෙතනින් බලාගන්න

5/08/2010

අමතක වීමක තරම...

අපේ හිතවත් මහත්තයෙක් ඉන්නව, නම යසපාල. මිනිහ ළඟදි දවසක අපූරු කතාවක් කිව්ව මිනිස්සුන්ට තියෙන අමතක වීමේ රෝගය ගැන.

දවසක්, කාලෙකින් එකිනෙකා මුණගැනොගැහිච්ච යාළුවො දෙන්නෙක් මගදි හමුවුණා. ආ ගිය තොරතුරු පරණ පුරාජේරු කතාවල යෙදෙමින් අවන්හලකට ගොඩවැදුණු මේ දෙන්නා සප්පායම් වෙන ගමන් තම තමන්ගේ වර්තමාන තත්වය ගැන කතාවට වැ‍ටුණා. කොහොමින් කොහොමින් හරි තමන්ගෙ දරු මල්ලො ගැන උන්ගෙ මවුවරු ගැන කතාකරකර හිටපු අතරෙ එක්කෙනෙක් මෙහෙම කිව්වා...

"මචං... දැන් ඉස්සරවගේ නෙවෙයි මචං... මට හුඟාක් දේවල් අමතක වෙන ගතියක් තියෙනව බං... ළඟදි දවසක මම ගිණිකූරකින් සිග‍රැට් එකක් පත්තු කරලා, සිග‍රැට් එක විසිකරල ගිණිකූර කටේ ගහගත්තනෙ බං..."

එතකොට අනෙකා මෙහෙම කියාපි

අය්යෝ... ඕක එච්චර ගනං ගන්න දෙයක් නෙමෙයි මචං...මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනව...දවසක් මම වැඩ ඇරිල ගෙදර ගිහිල්ල... මහන්සි වැඩිකමට  පොඩ්ඩක් ඇඳේ හාන්සි වෙන්න කියලා හිතලා... ඇඳුං ටික ගලවලා ඇඳේ නිදිකරවලා මම බෝලකූඩුවෙ එල්ලිලා හිටියනෙ බං... සර්වන්ට් ළමය ඇවිල්ල කතාකලේ නැත්තං මම එලිවෙනකං එහෙම තමයි . හොඳ වෙලාවට වයිෆ් ගෙදර හිටියෙ නෑ... හිටියනං වස ලැජ්ජාව.

...................



ඔය කතාව කියපු යසපාල මහත්තයත් ඉතින් ඊට දෙවැනි නෑ.

මිනිහට තියෙනව පොඩි කාර් එකක්. සාමන්‍යයෙන් ඉතාම වැදගත් ගමනකට තමයි ඒක එලියට ගන්නෙ. දවසක් කොහේදෝ තරමක් ඈතක තිබුණු මඟුල් උත්සවයකට මිනිහ ගියා ඔය කාර් එකෙන්. තනියම ගියේ. සාමාන්‍යයෙන් තනියම මඟුලකට එහෙම ගියාම ඉතින් ගෙදර උන්දෑ ටිකක් හිතේ නෝක්කඩුවෙන් තමයි ඉන්නේ.
ඉතින් යසපාල මහත්තය මඟුල් ගෙදර ගිහිල්ල තරමක් රෑ වෙලා, ඒ කියන්නේ දහයට එකොලහට විතර එන්න පිටත් උණා.
පානය කරපු දේවල් වල අනුහසිං කෙලිං කටින් ඉන්න බැරි ගානට තමයි ඉඳල තියෙන්නෙ. අපේ සමහර උදවිය බීගත්තම තමංට හොඳට වාහනේ එලවගන්න පුළුවන් කියල විස්වාසයක් තියෙනවනෙ. මෙයත් එහෙම කෙනෙක් තමයි.
කොහොමින් කොහොමින් හරි තනියම වාහනෙත් එලවගෙන ටික දුරක් එනකොට ඔන්න එක තැනක වාහනේ නැවත්තුවලු. නවත්තල ඒකෙ ඇතුලෙ හිටපු කෙනෙක් බැහැල යනව මෙයා දැකල තියෙනව. ඊට පස්සෙ ආයෙමත් වාහනේ පදව ගෙන යසපාල මහත්තය ආව. කිසිම අවුලක් නැතුව ගෙදර ගේට්‍ටුව ළඟටම ආව. ඇවිල්ල නැවැත්තුව ගේට්‍ටුව ඉස්සරහ.

ගේට්‍ටුව වහල.

හෝන් එක තුං හතරපාරක් ගැහුව.... කවුරුවත් එනපාටක් නැහැ ගේට්‍ටුව අරින්න. මිනිහට තේරුනා නෝන මහත්තය ටිකක් විතර අප්සෙට් ගහල ඉන්නෙ පරක්කු වෙච්ච එකට,  ඒක තමයි මේ ගේට්‍ටුව අරින්නෙ නැත්තෙ කියල.
ඉතින් මොනව කරන්නද යසපාල මහත්තයම කාර් එකෙං බැහැල බැරි මරගාතෙ ඇවිත් ගේට්‍ටුව ඇරල ආයෙම කාර් එකට නැග ගත්ත...
දැන් මිනිහ වාහනේ රේස් කරල එහෙම ඉස්සරහට ගත්ත... අවුලක් නැහැ ඔය යන්නෙ කාර් පොඩ්ඩ අපූරුවට වෙනද ගේට්‍ටුවෙන් ඇතුලට ගන්නකොට ඇතිවෙන ගැස්සිලි බැස්සිලි මුකුත් අද දැනුනෙ නැහැ බබා වගේ.
දැන් යසපාල මහත්තයත් කාර් එක ඉදිරියට පදවනව...කිසි ගානක් නැතුව...වීදුරුවෙන් ශෝක් හුලං පාරකුත් හමනව හරි සනීපයි...

ඔන්න එකපාරටම මිනිහගෙ ටෙලිපෝන් එක වදින්න ගත්තා...

වාහනේ ඉස්සරහට ගන්න ගමන්ම මිනිහ ටැලිපෝන් එකට කතාකරා..

"....හලෝ......"

එහා පැත්තේන් කතා කලේ ඉස්ත්‍රියාවක්.

"මේ ඕයි!!!"

යසපාල උඩගිහිං බිමවැ‍ටුනා.. කවුද අප්පේ මේ රෑ දෙගොඩහරි ජාමෙ කතාකරණ ගෑණු පරාණෙ ... කට හඬ නං ටිකක් හුරුයිත් වගේ...

 ".... ‍රැ දෙගොඩ හරියෙ බීගෙන නාඩගං නැ‍ටුව මදිවෙලාද තමුසෙට.... මේ ගේට්‍ටුවත් ඇර දාල ඒපාර ඔය කොහෙද යන්නෙ??!!... මම මේ විනාඩි දහයක්විතර බලා ඉඳල මේ කෝල් කලේ...."

මල සේක...! තමාගේ ප්‍රිය බිරිඳ...  නොවැ මේ කතාකරල තියෙන්නේ

උතුර දකුණ මාරුවෙච්ච යසපාල මහත්තය කාර් එක එහෙම්ම හිටෙව්ව. දැන් ඉස්සෙල්ලට වඩා පියවි සිහියට ඇවිත්.

"මොකෝ මේ මේ මනුස්සය මට අම්ම මෝ නැතුව බැණගෙන බැණගෙන ගියෙ... මම දැන් ගෙදර ඇවිල්ලනෙ ඉන්නේ..."

ඒ පාරතමයි මිනිහට කල්පනා උනේ

"ෂිහ්.......ගේට්‍ටුව ඇරියට වාහනේ වත්ත ඇතුලට හරවන්න අමතක වුණානෙ"

5/05/2010

ඇඩ්ඩිං හා බයිසිකලය

කරෝලිස් මුදලාලි ගජ පෝසතා. උස්සාහයෙන් දියුණු පවුණු වෙච්ච මනුස්සය. ඔය කොහු මෝල්, ලී මෝල් අර මෝල් මේ මෝල් වලට අමතරව මුරේකට ලස්සෙක හමාරක පොල් කැඩෙන වත්තකුත් තිබුණා කළුවමෝදර පැත්තේ. මිනිහගෙ වෙළඳ වියාපාර කටයුතු  කරගෙන යන්න උදවුවට  ලඟකදි ගත්ත විශ්වාසවන්ත ඉලංදාරියෙක් , නම ඇඩ්ඩිං. උදව්වුවට කිව්වට මිනිහ කරන්නතිබුණේ මුදලාලිගෙ පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන එකයි ගමන් බිමන් යනකොට ආරස්සාවට පස්සෙන් යන එකයි තමයි.


ඉඳල හිටල මුදලාලිට ඔය බුලත් විටක් ඒදන එක වගේ වැදගත් වැඩත් මිනිහගෙ අතින් සිද්ධ වෙනවා..


ඇඩ්ඩිං ගෙ සේවාකාලය එච්චර දිග එකක් නොවුණට ඒ ටික කාලෙට මුදලාලිට මිනිහව හොඳට හිතට අල්ලල ගිහින් තිබුණා.


" කලිං හිටපු වසවර්තිය වගේ නෙවෙයි මූ අහිංසකයා..." එහෙම තමයි කරෝලිස් මුදලාලිගෙ රෙකමදාරුව... මොකෝ කලිං හිටපු සවුම්යසිරිය මුදලාලිගෙ සල්ලි පොට්ටනියකුත් අරං වහංගු උණානෙ.


ඇඩ්ඩිං එක්ක තමයි කරෝලිස් මුදලාලි හැමතැනකම යන්නේ. හරිම කීකරු මනුස්සය හරියට අපේ ඔපීසියෙ පීරිස් වගේ. මුදලාලි මොනව හරි දෙයක් කිව්වොත් ආයෙ ඒවයෙ ඉස්පිල්ලක් පාපිල්ලක් අත නෑර අකුරටම පිළිපදිනවා.


ඔන්න දවසක් මුදලාලි හදිස්සියෙන්ම ඇඩ්ඩිංට කතාකරා


"ඇඩ්ඩියෝ මෙහෙවරෙං..."
"එනව මුදලාලි..." ඇඩ්ඩිං සු‍ටුස් ගාල මුදලාලි ඉස්සරහ.
" මේ දවස් වල කළුවමෝදර ඉඩමේ පොල් ටික කැඩෙනවනෙ... උඹ බයිසිකලෙත් අරං විජාන්ට ගිහින් බලාගෙන වර පොල් කැඩුං කාරයො කීදෙනෙක් ඉන්නවද පොල් ගෙඩි කීයක් කැඩිලද  කියලා... නැහ්නං ඕකුං බොරුවට ගණං මිණුං දාල මගේ කනෙනුත් රිංගයි..."


කළුවමෝදරට මුදලාලිගෙ ගෙදර ඉඳන් හැතැම්ම හත අටක් තියෙනව. සවුම්යසිරියට  ඕක බයිසිකලෙං පැයක හමාරක විතර ගමනක්. මොකෝ කඳු පල්ලං එහෙමත් තියෙන පාරක් නෙ.
"සුණංගු වෙනව එහෙම නෙවෙයි මට තව ගමං කීපයක්ම යන්නත් තියෙනව... ගියා විස්තරේ බලා ගත්තු ගමං අනිප්පැත්ත හැරිල වරෙං.." මුදලාලි එහෙම කිව්වෙ සමහරවිට අනිත් පැත්ත හැරිල කියල නොකිව්වනං මේකා රිවෙස් එකේම එන්නත් බැරි නැහැ... එහෙවු පුතෙයා..


ඔන්න ඉතිං ඇඩ්ඩිං බයිසිකලෙත් අරන් පිටත් උනා...
පැයක් හමාරක් ගියා මේක නෑ....
මුදලාලි දැන් මේකා එයි ...දැන් මේකා එයි ...කිය කියා බලාන ඉන්නව, තව ගමන් කීපයකුත් තියෙනවනෙ..


පැය දෙකක් ගියා.. තුනක් ගියා ම්හු.. ඔහෙ නෑ.


"මේකා පැනල ගියා වද්ද බයිසිකලෙත් අරං.."


"සමහර විට බයිසිකලේ උගස් තියල පිචැර් එහෙකටවත් ගියාද කියන්න බැහැ..."


නොයෙක් අදහස් එහෙං මෙහෙං එනවා..


කොහෙද ඒකාලෙ ඉනේ ගහගෙන යන ටැලිපෝන් තිබුණයැ... මොකද වුණේ කියල බලන්න...


කරන්න දෙයක් නැහැ කීයට හරි එන වෙලාවක  එන්නැතෑ කියල මුදලාලිත් ඔන්න ඔහේ හිටියා...
ගමන් බිමන් වැඩ කටයුතු ඔක්කොම අඩාලයි...


ඔන්න ඔහොම ඉන්න කොට හවස් උනා.. ඇඩ්ඩිය තාම නැහැ.


ඇඳිරි වැටීගෙන එනකොට ඈතිං පේනව මෙන්න මේක එනවා.... බයිසිකලෙත් තල්ලු කරං..


" ‍තෝ.. මෙච්චරවෙලා කොහෙ මකබෑ උණාද බොල!!!.. දැන් බලපිය වෙලාව කීයද කියලා"  ළඟට ආපු ගමන් මුදලාලි කඩං පැන්න


"මුදලාලි මම මේ තාම එන ගමන්......"


" මට පේන ව බොල ඒක!"


ඇඩ්ඩියට පාං කියාගන්න බෑ ඉහිං කනිං දාඩිය පෙරෙනවා... බලන්න දුකයි...

 


" අනේ මුදලාලි... මේ බයිසිකලේකුත් තල්ලුකරං එන්න උනේ නැත්තං මං දහ ගමනක් ඔය ගමන් ගෙහුං ඇවිත්...." ඇඩ්ඩිං අඬන්න වගේ....හති හලහල  කෙඳිරි ගානවා.


" ඇයි බොල බයිසිකලේට මක් උණාද... ඇයි ‍තෝ ඕක තල්ලු කරං ආවෙ..."


"අනේ නෑ මුදලාලි මඩවලවල් තියෙන තැන් වල දි මං තල්ලුකරං ගියේ නෑ කරටගත්තා....අපරාදෙනෙ... මඩ  ගාව ගන්නේ..."


"ඇයි හරකො ‍තෝ ඕක පැදගෙන නෙවෙයිද ගියේ...?!!!"

" අනේ මුදලාලි... ඉතිං මට ... බයිසිකල් පදින්න බෑනේ..."

....




මේක පරණ කතාවක් . මට මේක මතක් උනේ මේ වගේම වැඩක් අපේ පීරිසුත් අද කරපු වෙලේ.












....

5/02/2010

ඒජන්ත උන්නාන්සෙගේ සෙමර වලිගේ..




රාජකාරි ගමනක යෙදෙන අතරතුර සුදු ජාතික ඒජන්තවරයා හදිසියේ සිය ගමට පැමිණීම ගම්මුන්ට මහත් වූ කුතුහලය දනවන කාරණයක් විය.

කිසිදා නොදු‍ටු ඒජන්ත උන්නාන්සේගේ හැඩරුව කෙබඳුදැයි දැන ගැනීමේ ආශාවෙන් පොළඹවනු ලැබූ ගැමියෝ ආරංචිය සැලවූ විගස වැල නොකැඩී ගොස් මාර්ගය අසල ‍රැස් වී, නෙත සිත පුරා ඒජන්ත උන්නාංසේ දැක බලා ගත්හ.

එතැන් පටන් දින කීපයක්ම යනතෙක් ගමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ඒජන්ත වරයා ගමට පැමිණීම පිළිඹඳ ප්‍රවෘත්තියයි.

කාන්තාවන්ට ඔවැනි දේ පිළිඹඳ කතාකිරීමට ගමේ නාන තො‍ටුපොළ කදිම තැනක් විය. පිරිමි නොගැවසෙන නිසා එතැන තම රහස් කතාකිරීමට ඔවුනට බාධාවක් නොවීය.


....

"ඒජන්ත උන්නාංසෙගෙ සුද... මමනං උපන් තේකට දැකල නෑ බං එහෙම සුදක්...ආ...සා...වේ... බෑ..."  

සොබනි වටපිට බලා කීවේ හඬ පහත් කරමින් තම යෙහෙලියන්ට පමණක් ඇසෙන පරිදිය.
" අම්මපා හැබෑව සොබනියෝ... කිව්වට මොකෝ...ගමන් ලතාව දැක්කම මට නම් ඉවසිල්ලක් නැතිඋණා බන්...පද්ද පද්දා... හරී... නිස්කාන්සුවෙ ඇවිදින්නෙ... හුරතලේ... බැරුවා.."    

එතන හාමිද තම සිතැඟි පළකලාය.

"මට නං ඔයි ඔක්කෝටම වැඩිය හිත ගියෙ... උන්නාන්සේ අර වන වනා ගිය සෙමර වාගෙ වලිගෙට... අල්ලල බලන්නවත් වුණානං..., අපිට කොහෙන්ද එහෙවු පිණක්....දුකේ බෑ..." 

සපුමලී කියා සිටියේ ශෝකයෙනි.

"උන්නාන්සෙ හොඳ නිවිච්ච හැදිච්ච පාටයි... කාට උනත් ඔළුව වනලා තමයි ගියේ...මටනං හරිම ගවුරවයක් හිතුණා බං... ඒකයි මම උන්නාන්සෙට එතනම වැන්දේ"

"මොකෝ උඹ විතරක්..! මග දිගට හිටපු උදවිය ඔක්කෝම උන්නාන්සෙට වැන්දේ..."

"ඒකටත් එක්ක උන්නාන්සෙගේ පිටේ නැගලා හිටපු ගොයිය!  උන්දෑ නං මහාම ආඩම්බරකාර පාටයි......කවුදෑ... බං ඒකා..?!!." "

"නොදකිං උන්දෑ නං... මතක් කරන්න එපා... කෙවිටකුත් කරකවකව ගෑණු දිහා බල බලා ගිය හැටි විතරක්..."


...

4/30/2010

බෙදා හදා ගෙන කාපු හැටි




"අද පුතාලට මොනවද ටීචර් ඉගැන්නුවේ...?"

පළමු වසරේ ශනුක ගෙන් පාසැල ඇරී නිවසට යන අතරතුර  මව විමසුවාය.

"බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක් කියල ටීචර් කිව්වා..."

ශනුක තම සිත් ගත් පාඩම ගැන විස්තර මව වෙත ඉදිරිපත් කලේය..

"ඔවු පුතා... ඒක බොහොම හොඳ පුරුද්දක්.. "මව අනුමත කළාය..

"අපි ඉන්ටබල් එකේ කෑම කනකොට... හැමෝම ළඟ ඉන්න එක්කෙනාට කොටසක් දීල කන්න කියලා ටීචර් කිව්ව..."

" බොහොම හොඳයි..ඉතින් පුතාල එහෙම කළාද?"

"ඔවු අම්මා.. අපි ඔක්කෝම ටීචර් කියපු විදිහට බෙදාගෙනයි කෑවෙ...."

"ඉතින් පුතාට මොනවද හම්ම්බ උනේ...?

"සිතිජ... රස....ඉඳිආප්ප ගෙනත් තිබ්බා... එයා මට ඒවයින් දෙකක් දුන්නා..."

ඉතින් පුතත් සිතිජට ඔයගෙ කෑම වළින් ටිකක් දුන්නද...?"

"ඔවු අම්ම... මම ඒකට හරියන්න එයාට මගෙ මුං ඇට වලින් දෙකක් දුන්නා..."




...

4/25/2010

MIDI Composer - සංගීත කාරයින්ට පුංචි ඔත්තුවක්...



සංගීතෙට කවුද අකමැති. හැම කෙනෙකම කැමතියි මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න. ගිටාරයක් කී බෝර්ඩ් එකක්  ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන්න හැමෝම කැමතියි. ඒත් මේ සංගීත භාණ්ඩ හැම එකක්ම හැමෝටම නැහැනෙ. X-Ray කොල වලින් ඩ්‍රම් සෙට් හදන එක ලේසි උනාට අනිත් instruments ගෙදර හදන එක ඒ තරම්ම ලේසි නෑ. ඒ වුණාට අපි හැම කෙනෙක්ම instruments සිය ගාණක් තියෙන වාදක මණ්ඩලයක් ඉස්සරහ උදේ හවා වාඩි වෙලා ඉන්නබව කාටවත්ම මතක් වෙන්නෙ නැහැ. ඒ තමයි කොම්පියුටරේ ඇතුලෙ තියෙන MIDI Wavetable එක.  තරමක programming සහ electronic දැනුමක් එයාව පොඩ්ඩක් එහාට මෙහාට හරෝලා ලස්සන වැඩකරන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න.

මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ MIDI උපයෝගී කරගෙන සංගීත නිර්මාණ කරන්න පුළුවන් මෘදුකාංගයක්. මම කාලෙකට ඉස්සර පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරපු එකක්. සමහරවිට මේක කළින් පාවිච්චි කරලත් ඇති. නම තමයි Noteworthy composer. දැන් 2.1 සංස්කරණයකුත් තියෙනව.  ඒක බටහිර සංගීත notations ඇතුල් කරල මිඩි මගින් වාදනය කරවන්න පුළුවන්. සම්පූර්ණ ගීතයක සංගීතය Multi tracks වලින් හදන්නත් පුළුවන්. trial version  ඒකක් දෙන්නෙ ඒක ඇති සෑහෙන දෙයක් කරගන්න. බටහිර සංගීතය හදාරණ අයටත් මේක චුට්ටක් හරි ප්‍රොයෝජනවත් වෙයි.

වැඩි විස්තර  http://en.wikipedia.org/wiki/NoteWorthy_Composer වෙතින් බලාගන්න
බා ගන්න නම් http://www.noteworthysoftware.com/ මෙතෙනට යන්න.
(ලිපිනය කොපි කරල ගන්න)

MIDI ගැනයි programming ගැනයි වැඩිපුර ටිකක් පස්සෙ ලියන්නම්.
ප්‍රශ්න තියෙනව නම් අහන්න. දන්න විදියට සහයෝගයක් දෙන්න බලන්නම්.

එහෙනම් ඉතින් පරිගණකයේ සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරල බලන්නකෝ

 NOTE : Please adhere to the software dealer's terms and regulations.

4/23/2010

මල් අතට ගිනි අවි...?

ඉහතින් දෙවසකට
ගොසින් සිටි පිට රටකට
මිතුරු සඳ සියරට
ආ පුවත සැලවුණිය මාහට

        සෙවනැල්ලක් ලෙසින්
        කලෙක සිටි මා සකියන්
        යළි දැක ගනු රිසින්
        ගියෙමි පසුදින එදෙස විගසින්


කලෙකින් ආ නිසා
බොහෝ තොරතුරු විමසා
සිත සතුට ගවසා
එන්නෙමැයි යළි එදින සවසා

              සිතමින් ඒ ලෙසට
              ගියමුත් ඔහුගෙ නිවසට
              මිතුරු සඳ වෙනුවට
              බිරින්ඳෑ විත් සිනාසුණි මට


"සබඳ තොප මිතුරා
බිඳකට ගියෙන් බැහැරා
විගසින් එනතුරා
හිඳින්නැයි" කී මදක් කලැ'රා"

                     ඈ කී බස් අසා
                     සිටිය කල හිඳ ඉවසා
                     කුඩා පුතු " මනුසා "
                     දුටිමි කෙළිනා සතු‍ටු විලසා

                                            දුරු රටකින් ‍රැගෙන
                                            තෑගි විලසින් ආ ගෙන
                                            තුවක්කුව වනමින
                                            සරදියෙල් ලෙස රඟයි පැන පැන

එක් වරම කොළුවා
ආලින්දයට පිණුවා
ගිණි බටය ඔසවා
මවට වෙඩි වරුසාව හෙළුවා

                  මව් එය නොදත්තී
                  කිසිදු ගණනක් නැත්තී
                  මදහස මුවැත්තී
                  මා සමග තව කතා ඇත්තී

                                         එවිට ඒ කොළුවා
                                         මවු ඇඳි වතින් අදවා
                                         අතක් ගෙන සොලවා
                                         මහ හඬින් මේ විලස කීවා

අම්මේ මා දයා
මගෙ වෙඩි තැබුම අගයා
මැරෙන්නකො දැන් ඔයා
සෙල්ලමට මගෙ නැතිද සහයා

                  මෙබස අසමින්නේ
                  මවු පුතුට සැර වන්නේ
                  "මොකදෑ කරන්නේ
                  වද නොදී මට පසෙක යන්නේ"

                                     මවු නොමැරුණ නිසා
                                     සිටිනු නොහැකිව ඉවසා
                                     පොළොවේ අත් ගසා
                                    අඬයි දැන් කොළු ලෙසින් වලසා

දකිමින් මේ දසුන
දහසක් සිතුම් සැණෙකින
ඊයම් බරු ලෙසින
බර කළා මගෙ හිසමතට පැන

                 මල් වැනි ළමුන්නේ
                 පොඩි සිත් දරුණු වන්නේ
                 ඔවැනි මහ වුන්නේ
                වැරදි වලිනිය මම සිතන්නේ

                                     කෙළි බඩුවක් විලස
                                     ගිනි අවිය නම් කිසිලෙස
                                     නුසුදුසු බව මෙලෙස
                                     කියා සිටියෙමි ඔවදනක් ලෙස

ඔවැනි දේ වෙනුවට
පුතුගෙ පාළුව මැකුමට
කෙළිදෙලෙන් සි‍ටුමට
දෙන්ට කීවෙමි "මල්ලියෙක්" හෙට

LinkWithin

Related Posts with Thumbnails