9/12/2010

ඇමයිතුමා හා විදුහල්පති තුමා

මිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි.

ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා බැලුවොත් දකින්න පුළුවන්. මේකට හේතු ගොඩාක් තියෙන්න පුළුවන්.  මිනිසුන්ගේ ඇසීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම වගේම ඒ ඒ අයගෙ අධ්‍යාපන මට්ටම ආර්ථික තත්වය වගේ දේවලුත් මෙයට බලපානව ඇති සමහර විට. 
 
බොහෝ විට ආර්ථික පැත්තෙන් දුෂ්කරතා ඇති හා ඒ හේතුවෙන් අඩු අධ්‍යාපනයක් ලැබූ අය අතර මෙලෙස විවිධ වචන සම්මත රූපයෙන් බැහැරව පාවිච්චි වෙනවා බොහෝ සෙයින් දකින්න පුළුවන්.

" මුදලාලි ... මට  දෙන්නකො සත්ති පිටි එකක්." 

දවසක් කඩයකට ගොඩවැදුණු අයෙක් කඩ හිමියාගෙන් යමක් ඉල්ලා සිටියේ එහෙමයි.
එහිදී සිදුවෙලා තිබුණෙ කිරි පිටි වල නම පැවසීමේදී ඒ තැනැත්තා "ර" යන්න වෙනුවට සයන්න භාවිත කර තිබීමයි. හොඳින් නිරීක්ෂණය කරනවා නම් මෙවැනි උදාහරණ ඕනෑ තරම්.

තවත් ප්‍රදීප් නම් වූ මා දැනසිටි අයෙක් තමන්ගේ නම පැවසුවේ "පොදීප්" ලෙස. කෙතරම් උත්සාහ කලත් ඔහුට "ප්‍ර" ශබ්දය උගන්වන්නට අපට නම් පුළුවන් වුණේ නැහැ. සමහරුන් නිතරම ඔහුගේ නම විමසා සමච්චල් කලා මට මතකයි.

ඉහත සිද්ධි දෙකම එතරම් උගත් කමක් නැති පුද්ගලයන් හා බැඳුණු ඒවා. නමුත් ඔවුන් අතරින් විතරක් නෙවෙයි මෙවැනි වචන අසන්නට ලැබෙන්නේ...

උදාහරණයක් හැටියට "ප්‍රජාතන්ත්‍රවාදය" කියන වචනය නිසි ආකාරයට උච්චාරණය නොකරන  ඉහල  සමාජයේ පුද්ගලයන් එමට අපි අතර ඉන්නවා.  ඔවුන් නූගතුන් යැයි කියන්නත් බැහැ ඒ වගේම එම වෙනස් කම ප්‍රාදේශීය භාවිතයක් කියලා කියන්නත් බැහැ.

මෙ වගේ වැල් වටාරමක් ලියන්න පෙළඹීමක් ඇතිකළේ නිතරම ඇහෙන තවත් ඒ වගේ වචනයක්. ඔබ අසා ඇති  "ඇමති තුමා" කියන වචනය. මෙය බොහෝ දෙනා - දේශපාලකයන් , සමහර මාධ්‍යවේදීන් පවා- උච්චාරණය කරන්නේ "ඇමයි තුමා"  හැටියටනේ... ඔවුන් එහි එන "ති" යන්න හරියාකාරව ශබ්ද කරන්නෑ. එක අතකට " ඇමති තුමා" කියනවට වඩා "ඇමයි තුමා" කියන එක පහසුයි. කොහොම වෙතත් මෙවැනි භාවිතයන්  දනවන්නේ හාස්‍යයක්.

මෙන්න මේ හා ඈඳිය හැකි රසවත් සිදුවීමක්.
ඒ දවස් අපි පහ වසර පන්තියේ හිටපු කාළය. විදුහලේ අපේ අංශ බාරව හිටිය මැතිණියත් ඔය "ඇමති තුමා" කියන එක  "ඇමැයි තුමා" කියල කියන ජාතියෙ කෙනෙක්.  සතියකට වරක් අඟහරුවාදාට  පැවැත්වෙන උදය ‍රැස්වීමේදි සමහර දාට එතුමිය පුංචි කතාවක් කරනවා. එහිදී  විදුහල්පති තුමාගෙන් හා ‍රැස්වෙලා ඉන්න ආචාර්ය මණ්ඩලයෙන්  අවසර ගන්න එක අනිවාර්යයෙන්ම කරන දෙයක්. 

" ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් ..." එහෙම කියල  තමා සාමාන්‍යයෙන් අවසර ගන්නෙ.
හිතාගන්න පුළුවන් නේද මෙතුමිය අවසර ගන්න ඇත්තෙ කොහොමද කියලා....


............................

9/08/2010

කියන්නෙපා....

කියන්නෙපා....
දැනුනේ නම් නෑ කියා
හිතේ තිබුණ ආදරේ මගේ
හිතාගන්න බෑ
උන්නේ කෙළෙසද කියා
බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ.

සසැලි ‍රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී
මුවදොර ළඟ සිටියද නිසැලී  
සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ.....
නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ
මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ.

ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා
අසරණ වූවද මුව ගොලුවී 
දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ...
ළඟින් දැව‍ටුනත් රුව මා සිත් අහසේ
මොහොතක වත් නොදු‍ටුවාද ඇත්තටම නගේ.





...........................

9/03/2010

හැක‍රැල්ලා ...බේරපාං ...!

වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා.

තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ.

ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම එපෑ යන්න. පදින එකාට ඉහලින් ගිහින් පොල්ලෙ යන එකා කලබලේට හැඬල් එක හරවන්න ගියොත් හෙම දෙන්නම දෙරි ගැහෙන්න බැරි නෑ.

ඔන්න ඉතින් ඔහොම දෙන්න එනකොට පොල්ලෙ හිටපු අජිත් දැක්ක යමෙක් හිමින් සැරේ කිසීම කලබොලයක් නැතිව පාර හරහා මාරුවෙනව. මෙච්චර මේ සයිකලයක් කඩාගෙන බිඳගෙන එනකොට කවුද බොලං හෙමි හෙමීට පාර මාරුවෙන්නෙ. නමුත් මේකා බොහොම සීරුවට පාඩුවෙ ගමන. මොකෙක් වත් නෙවෙයි මේකා හැක‍රැල්ලෙක්. මිනිස්සු දහයක් පාලොහක් හැපුනත් නොපෙනුනාට පාරෙ අයිනෙ ඉන්න බල්ලො පූසො බොහොම අපූරුවට පේන සමහරුන්ට වගේ අජියටත් මේකව බොහොම දුර තියාම පෙනුනා.

පෙනුන විතරක් නං මදෑ... මහපාර මැද්දෙ මහදවල් වල් අලියෙක් දැක්ක වගේ මේකා බෙරිහං දෙන්න පටන් ගත්තා...

"හැක‍රැල්ලෙක්...හැක‍රැල්ලෙක්... ඔන්න වසන්තයෝ හැක‍රැල්ලා...බේරපාං බේරපාං"





කෑගහල නිකං හිටියනං ඒත් මදෑ...අර රූං ගාල එන සයිකලේ හැඬල් එක දෑතින්ම බදාගෙන දෙපැත්තට කරකවන්න ගත්තා... හැක‍රැල්ලව බේරන්න. හිතපු නැති වෙලාවක සිද්ද වෙච්ච මේ වැඩෙන් වසන්තට බයිසිකලේ පාලනය කොරගන්න බැරිවේලා... ආයෙ ඉතින් මොන කතාද දෙන්නම බිම!



 මූණ කටවල් සමතලා කොරගෙන, පස්ස බිම ඇණගෙන බිමවැටිල හිටපු යාලුවො දෙන්න ඉස්සරහින් හැක‍රැලි යාලුවත් ඔහේ පාර මාරුවෙනව. තමන් වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු මනුස්ස පරාණ දෙකක් ලේ පෙරාගෙන කෙඳිරි ගගා පාර මැද්දෑවෙ වැටිල ඉන්නව කියලා ඌට වගේ වගක් නෑ.

අපේ යාළුවො දෙන්නත් යන්තං දනිපනි ගහගෙන නැගිටගන්න උත්සාහ කරට ඒක එච්චර ලේසි උනේ නෑ වැටිච්ච වැටිල්ලෙ හැටියට. ඒ උණාට හිතේ දුකක් නෑ... හැක‍රැල්ල බේරුණානෙ.

"උගෙත් හොඳ වෙලාව කියන්නෙ අපිව උගෙ ඇඟ උඩට වැ‍ටුන්නැති එකම කොච්චර දෙයක්ද නේදබං."
" හ්ම්හ්... උහ්"
දෙන්න තාම වැටිච්ච ගමං

ඔන්න ඔය වෙලාවෙ තමයි දැක්කෙ පාරෙ එහා කෙලවරෙන් මතුවෙලා දූලි වලා මතුකරමින් වේගයෙන් එන වෑන් එකක්.

හපොයි දෙය්යනේ... හනිකට පාර අයිනට පැන ගත්තෙ නැත්තං මේකා එන විදිහට දෙන්නව යට කොර ගෙන තමයි යන්නෙ. ඒ විතරක් නං මදෑ... ඇයි බං හැක‍රැල්ලා... ඌ තාම පාරෙ මැද හරියෙනෙ. අනිවාර්යයෙන්ම උන්දැව වෑන් එකට අහු වෙනවමයි. දැන් මොකද කරන්නෙ. මෙච්චර අමාරුවෙන් බේරගත්ත සතා තප්පර කීපයක් ඇතුළෙදි වාහනේකට යටවෙන්න අරින්න පුළුවන්ද?

බෑ.. කොහොමටවත් බෑ!!

වසන්ත නැගිට්ටා ...

කොන්ද රිදෙනවා, දනිස්ස වැලමිට තුවාල වෙලා ඒත් මොනවා කරන්නද?!

වේදනාව ඉවසගෙන පැන්න හැක‍රැල්ල ඉන්න තැනට.

ම්ම්ම්... අතින් අල්ලන්නත් මොකද්ද වගේ... අනික හැක‍රැල්ලො කියන්නෙ හරියට කිචි තියෙන සත්තු ජාතියක්නෙ උන් කැමති නෑ උන්ව කවුරුවත් අල්ලනවට.

කාලේ නාස්ති කර කර ඉන්න හැටියක් නෑ ...කරන්න තියෙන්නෙ එකම දෙයයි.

තිබ්බ වම් පාදය පෙරට... දුන්න දකුණු කකුලෙන් පාපන්දු පහරක් හැක‍රැල්ලව පාරෙන් අයිනට වීසි වෙන්න.





අනේ අනිච්චං!!! මොන හැක‍රැල්ලෙක්ද අප්පා... උන්දෑ කෑලි දෙකකට කැඩිලා එක කෑල්ලක් කාණුවෙ අනෙක් කෑල්ල ගුවන් ගත උණේ වැටටත් උඩින්!


ඊට පස්සෙ දෙන්න එක්ක සයිකලෙත් තල්ලු කරං ගෙදර ගියා කියළා තමයි ආරංචිය. මම තාම කල්පනා කරන්නෙ ඔය කතාව පිටට ආරංචි උණේ කොහොමද කියලා. මොකද තුන්වෙනි පාර්ශවයක් හැටියට එතන හිටියෙ හැක‍රැල්ල විතරයිනෙ.

කොහොම උනත් හැක‍රැල්ලට උගෙ හැක‍රැලි ආත්මයෙන් මිදෙන්න උදවු කරපු එකම මදෑ!!

LinkWithin

Related Posts with Thumbnails