4/30/2010

බෙදා හදා ගෙන කාපු හැටි




"අද පුතාලට මොනවද ටීචර් ඉගැන්නුවේ...?"

පළමු වසරේ ශනුක ගෙන් පාසැල ඇරී නිවසට යන අතරතුර  මව විමසුවාය.

"බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක් කියල ටීචර් කිව්වා..."

ශනුක තම සිත් ගත් පාඩම ගැන විස්තර මව වෙත ඉදිරිපත් කලේය..

"ඔවු පුතා... ඒක බොහොම හොඳ පුරුද්දක්.. "මව අනුමත කළාය..

"අපි ඉන්ටබල් එකේ කෑම කනකොට... හැමෝම ළඟ ඉන්න එක්කෙනාට කොටසක් දීල කන්න කියලා ටීචර් කිව්ව..."

" බොහොම හොඳයි..ඉතින් පුතාල එහෙම කළාද?"

"ඔවු අම්මා.. අපි ඔක්කෝම ටීචර් කියපු විදිහට බෙදාගෙනයි කෑවෙ...."

"ඉතින් පුතාට මොනවද හම්ම්බ උනේ...?

"සිතිජ... රස....ඉඳිආප්ප ගෙනත් තිබ්බා... එයා මට ඒවයින් දෙකක් දුන්නා..."

ඉතින් පුතත් සිතිජට ඔයගෙ කෑම වළින් ටිකක් දුන්නද...?"

"ඔවු අම්ම... මම ඒකට හරියන්න එයාට මගෙ මුං ඇට වලින් දෙකක් දුන්නා..."




...

4/25/2010

MIDI Composer - සංගීත කාරයින්ට පුංචි ඔත්තුවක්...



සංගීතෙට කවුද අකමැති. හැම කෙනෙකම කැමතියි මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න. ගිටාරයක් කී බෝර්ඩ් එකක්  ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන්න හැමෝම කැමතියි. ඒත් මේ සංගීත භාණ්ඩ හැම එකක්ම හැමෝටම නැහැනෙ. X-Ray කොල වලින් ඩ්‍රම් සෙට් හදන එක ලේසි උනාට අනිත් instruments ගෙදර හදන එක ඒ තරම්ම ලේසි නෑ. ඒ වුණාට අපි හැම කෙනෙක්ම instruments සිය ගාණක් තියෙන වාදක මණ්ඩලයක් ඉස්සරහ උදේ හවා වාඩි වෙලා ඉන්නබව කාටවත්ම මතක් වෙන්නෙ නැහැ. ඒ තමයි කොම්පියුටරේ ඇතුලෙ තියෙන MIDI Wavetable එක.  තරමක programming සහ electronic දැනුමක් එයාව පොඩ්ඩක් එහාට මෙහාට හරෝලා ලස්සන වැඩකරන්න පුළුවන්. පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්න.

මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ MIDI උපයෝගී කරගෙන සංගීත නිර්මාණ කරන්න පුළුවන් මෘදුකාංගයක්. මම කාලෙකට ඉස්සර පොඩි පොඩි වැඩ වලට පාවිච්චි කරපු එකක්. සමහරවිට මේක කළින් පාවිච්චි කරලත් ඇති. නම තමයි Noteworthy composer. දැන් 2.1 සංස්කරණයකුත් තියෙනව.  ඒක බටහිර සංගීත notations ඇතුල් කරල මිඩි මගින් වාදනය කරවන්න පුළුවන්. සම්පූර්ණ ගීතයක සංගීතය Multi tracks වලින් හදන්නත් පුළුවන්. trial version  ඒකක් දෙන්නෙ ඒක ඇති සෑහෙන දෙයක් කරගන්න. බටහිර සංගීතය හදාරණ අයටත් මේක චුට්ටක් හරි ප්‍රොයෝජනවත් වෙයි.

වැඩි විස්තර  http://en.wikipedia.org/wiki/NoteWorthy_Composer වෙතින් බලාගන්න
බා ගන්න නම් http://www.noteworthysoftware.com/ මෙතෙනට යන්න.
(ලිපිනය කොපි කරල ගන්න)

MIDI ගැනයි programming ගැනයි වැඩිපුර ටිකක් පස්සෙ ලියන්නම්.
ප්‍රශ්න තියෙනව නම් අහන්න. දන්න විදියට සහයෝගයක් දෙන්න බලන්නම්.

එහෙනම් ඉතින් පරිගණකයේ සංගීත කණ්ඩායමත් එක්ක වැඩ කරල බලන්නකෝ

 NOTE : Please adhere to the software dealer's terms and regulations.

4/23/2010

මල් අතට ගිනි අවි...?

ඉහතින් දෙවසකට
ගොසින් සිටි පිට රටකට
මිතුරු සඳ සියරට
ආ පුවත සැලවුණිය මාහට

        සෙවනැල්ලක් ලෙසින්
        කලෙක සිටි මා සකියන්
        යළි දැක ගනු රිසින්
        ගියෙමි පසුදින එදෙස විගසින්


කලෙකින් ආ නිසා
බොහෝ තොරතුරු විමසා
සිත සතුට ගවසා
එන්නෙමැයි යළි එදින සවසා

              සිතමින් ඒ ලෙසට
              ගියමුත් ඔහුගෙ නිවසට
              මිතුරු සඳ වෙනුවට
              බිරින්ඳෑ විත් සිනාසුණි මට


"සබඳ තොප මිතුරා
බිඳකට ගියෙන් බැහැරා
විගසින් එනතුරා
හිඳින්නැයි" කී මදක් කලැ'රා"

                     ඈ කී බස් අසා
                     සිටිය කල හිඳ ඉවසා
                     කුඩා පුතු " මනුසා "
                     දුටිමි කෙළිනා සතු‍ටු විලසා

                                            දුරු රටකින් ‍රැගෙන
                                            තෑගි විලසින් ආ ගෙන
                                            තුවක්කුව වනමින
                                            සරදියෙල් ලෙස රඟයි පැන පැන

එක් වරම කොළුවා
ආලින්දයට පිණුවා
ගිණි බටය ඔසවා
මවට වෙඩි වරුසාව හෙළුවා

                  මව් එය නොදත්තී
                  කිසිදු ගණනක් නැත්තී
                  මදහස මුවැත්තී
                  මා සමග තව කතා ඇත්තී

                                         එවිට ඒ කොළුවා
                                         මවු ඇඳි වතින් අදවා
                                         අතක් ගෙන සොලවා
                                         මහ හඬින් මේ විලස කීවා

අම්මේ මා දයා
මගෙ වෙඩි තැබුම අගයා
මැරෙන්නකො දැන් ඔයා
සෙල්ලමට මගෙ නැතිද සහයා

                  මෙබස අසමින්නේ
                  මවු පුතුට සැර වන්නේ
                  "මොකදෑ කරන්නේ
                  වද නොදී මට පසෙක යන්නේ"

                                     මවු නොමැරුණ නිසා
                                     සිටිනු නොහැකිව ඉවසා
                                     පොළොවේ අත් ගසා
                                    අඬයි දැන් කොළු ලෙසින් වලසා

දකිමින් මේ දසුන
දහසක් සිතුම් සැණෙකින
ඊයම් බරු ලෙසින
බර කළා මගෙ හිසමතට පැන

                 මල් වැනි ළමුන්නේ
                 පොඩි සිත් දරුණු වන්නේ
                 ඔවැනි මහ වුන්නේ
                වැරදි වලිනිය මම සිතන්නේ

                                     කෙළි බඩුවක් විලස
                                     ගිනි අවිය නම් කිසිලෙස
                                     නුසුදුසු බව මෙලෙස
                                     කියා සිටියෙමි ඔවදනක් ලෙස

ඔවැනි දේ වෙනුවට
පුතුගෙ පාළුව මැකුමට
කෙළිදෙලෙන් සි‍ටුමට
දෙන්ට කීවෙමි "මල්ලියෙක්" හෙට

4/20/2010

ජයවේවා...!!!

"සුමිත්‍රා මැණිකෙනං ඔය මොනවත් හොයන එකක් නෑ... බන්දු අයියෙ...මේ ඉහටත් උඩින්..."

"ඒකනෙ බං මැඩම් නොදන්නවයෑ බන්දු අයියා ඉන්න තත්වෙ...මල් මාලයක් දාල පිළිගත්තනම් ඇති මං නං කියන්නෙ..."

සුමිත්‍රා මැඩම්ව පිළිගන්න සූදානම් කරපු පුංචි උත්සවයෙ වැඩකටයුතු දිහා බලාගෙන කොට්ටම්බ ගහයට තියපු හාන්සි පු‍ටුවෙ දිගා වෙලා හිටපු තාත්තට ඇහෙන්න එහෙම කිවුවෙ වීරෙ මාමයි තිලකයියයි. ඒගොල්ල එහෙම කියන්නේ තාත්තගෙ හිත හදන්නත් එක්ක.

චන්ද ප්‍රතිඵල එන්නත් කළින්ම තමයි තාත්තට ඔනි වුනේ පිළිගැනීමෙ උත්සවයක් තියන්න. ඒක අබේපාල මහත්තය වෙනුවෙන් කෙරෙන්න තියෙන යුතුකමක් කියලයි තාත්ත කිව්වෙ. තාත්තා ඔත්පල වෙලා හිටියත් අහල පහල කිහිපදෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න අපිට එච්චර අමාරුවුනේ නැහැ.
පුංචි පහේ ගොක් කොල තොරණ, කොඩිවැල්, ඒ අතරට සිසිර අයියගෙ හත‍රැස් අකුරින් ඇඳපු බැනර් එක ඒ ඔක්කොමත් එක්ක තේ මේසයත් ආපුවාම වැඩේ බොහෝ දුරට සම්පූරණයි. කොඩිවැල් ටික නං මගේයි පියසේන මාමලගෙ උපුල් මල්ලිගෙයි මහන්සිය තමයි. මහපාරෙන් අපේ පාරට හැරෙන හන්දියටත් සැරසිලි ටික ලස්සනට පේනව... සමහර විට ‍රැ වුනොත් කියල ප්ලෑෂ් ලයිට් එකකුත් ලැහැස්ති කරගත්ත, කාටද කියන්න පුළුවන් ඔය දිවුරුං දීමේ වැඩරාජකාරී ඉවර වෙලා කට්ටිය එනකොට කීය වෙයිද කියල.
ඒ මොනව තිබුණත් තාත්තගේ හිතට මදි...මොකක් හරි අඩුපාඩුවක්මයි පේන්නෙ.

"අබේපාල මහත්තය වෙනුවෙන් මොනදේ කළත් මට හිතට මදි බං... ඒ මනුස්සය මගේ සහෝදරයෙකුටත් වඩා මට හිතවත්"

එක අතකට තාත්ත කියන කතාවෙත් ඇත්තක් තියෙනව. අබේපාල මහත්තය ජීවත් වෙලා ඉන්දැද්දී කොහේ ගියත් අපේ තාත්තව නැතුවමබැහැ...
"බන්දු... යමං අහවල් ඉස්කෝලෙ පුස්තකාලෙ විවෘතෙට..." එහෙමත් නැත්තං "අර ගල්පාත විජේකෝන් මහත්තයගෙ ගෙදර පිරිත අදනෙ බං ගිහින් එමු.." කියල අහන පරක්කුවෙන් අපේ තාත්තටත් ‍රැයක් දවාලක් නෑ...කැබ් එකේ නැගල ඇති. උන්නාන්සේ අපිට උනත් හරිම කරුණාවයි. මට කතාකලේ පොඩි රාළහාමි කියලා ආදරේට. අපේ අම්මට කුසුමලතා නංගි කියළයි කිව්වෙ. හැමදාම අපේ ගෙවල් පැත්තෙ ආවම උන්න්නැහේට බඩගින්නක් අල්ලනව. එතකොට ඉතින් කුරුම්බයක් වත් කඩලා දෙන්නෝනේ... ගොඩක්ම හදිසි නං
"නංගි මොනා හරි හදල තියන්න අපි ආපහු එනවා"
කියගෙන තාත්තවත් ඇදගෙන යනවා... ඒත් කළාතුරකින් තමයි අර හදල තියන්නකියපු දේවල් කන්න අපහු එන්නේ. එතුමට ඒ තරම්ම රාජකාරි.

මේ සැරේ ඡන්දෙන් දිනුවහම මුළින්ම කිරිබත් කෑල්ලක් කන්න අපේ ගෙදර එනව කියල තමයි අබේපාල මහත්තය තාත්තාවත් එකතු කරන් එදා ඉරණම් ගමන ගියේ... ඒ මීට මාසෙකට හමාරකට උඩදි...

රබර් මෝල ලඟ මහ වංගුවෙදි ඒ අය ගිය වාහනේ පස්සෙං ආපු නාඳුනන තුවක්ක්කු කාරයො අබේපාල මහත්තයවයි කැබ් එක එලෝපු සුමිත් අයියවයි එතනම බිළි අරන් තිබුණා. තාත්ත පූරුවෙ වාසනාවකට එළොව ගිහින් මෙළොව අව. ඒත් දකුණු උරහිස හරහා ගිය වෙඩි පාරවල් තුනක් එක්ක

නැතිවෙච්ච අබේපාල මහත්තයගෙ පුරප්පාඩුවට තමයි සුමිත්‍රා නෝනට ටිකට් එක හම්බ උනේ.

සුමිත්‍ර නෝන අබේපාල මහත්තයගෙ ලොකු දෝණි..හරිම ගුණයහපත් ළමය... තියෙන්නෙ එයාගෙ තාත්තගෙ ගතිගුණමයි....එහෙමට ලකයක් නොතිබුණාට සීදේවි පාටයි...ඔන්නං අවුරුදු විසිපහක් විතර ඇති. හරිම කට කාරි............වැඩිය තැලිල පොඩිවෙලා එහෙම නැහැ... ගෙදරම හැදිච්ච ළමයනෙ.
මළ ගෙදරට ආව ගිය මහා සෙනග කන්දරාවෙ කවුරුත් ඉල්ලුවෙ ලොකු බේබි ඡන්දෙට එන්න කියන එකම තමයි. ගමේ රටේ මිනිස්සුන්ට සුමිත්‍රා නෝන "ලොකු බේබි" එහෙම නැත්තං "සුමිත්‍රා මැණිකෙ".

අපි කවුරුත් හිතපු විදිහට දිස්ත්‍රික්කෙන් පළවෙනිය නොවුනත් සැලකිය යුතු මනාප ගානකින සුමිත්‍රා නෝන දිනල තිබුණා.

"දැං ඉතිං උඹලා මැණිකෙ මැණිකෙ කියන්න යන්නේ නැතුව මැඩම් කියහල්ලා... ඒ මනුස්සයගේ ගෞරවේ අපි තියන්න ඕනිනෙ. ඇමතිකමක් එහෙමත් හම්බවෙයි මයෙ හිතේ."
තාත්ත දන්න අඳුනන හැමෝටම කිව්වෙ "මැඩම්" ගැන ගොඩාක් භක්තියකින් කියලයි මට හිතුණෙ.

"එහෙමනං ඉතින් බන්දු අය්යට හම්බේයි ලේකම් කමක්.. අනේ අපි ගැනත් බලා ගන්නෝනි..."
ඔය ඇමති කම් කතාව ඇදිලා ආපු වෙලාවක වීරෙ මාම කිව්වෙ විහිලුවටමත් නෙමෙයි. ඒ වගේ වෙළාවට තාත්තගෙ මූණ බැරෑරුම් වෙනව..

"බඩ බැඳගෙන අවුරුදු ගානක් දේශපාලනේ කොරල... අතපයත් කඩාගෙන...එහෙම දෙයක් වත් නැතිව මොකටද නැද්ද මම අහන්නේ..." තාත්තා කාටවත් ඇහෙන්න එහෙම නොකිව්වට මට නම් හිතුණෙ එහෙම.

කට්ටිය හවස පහට විතර තමයි මෙතනට එන්නෙ. දැන් නම් වෙළාව ලඟයි. ඒත් තව චුට්ටක් පරක්කු වුණානම් තව ඔය කොඩි වැල් ටිකක් එහෙටමෙහෙට ඇදලා දාන්න තිබුණා තව ටිකක් වැඩේ සම්පූර්ණ වෙන්න.

"රාජු මල්ලියෙ... හරියට මැඩම්ගෙ වාහනේ මේතන නවත්තල බහිනකොටම රති‌ඤ්ඤා ටික පත්තු කරන්න ඕනෙ. ..පරක්කු කරන්නත් එපා කලබල වෙලා කලිං පත්තු කරන්නත් එපා... හරිද"
"මල්මාලෙ ලෑස්තිද....?...බුලත් අත.....?"

තාත්ත උපදෙස් දෙන්නෙ ගුරුපාර කෙලවරෙන් කොයි මොහොතෙ මැඩම් ගෙ වාහනේ මතු වෙයිද කියලා බල බල.
දැන්නම් කොයි මොහොතෙ හරි වාහන ටික මතුවෙයි හන්දියෙන්...

"මැඩමුත් ඇත්තෙ කොයි වෙලාවෙද මේපැත්තෙ එන්නෙ කියලා බලබලා... මොකද එයාට තාත්තගෙ සැපදුක බලන්නවත් එන්න බැරිඋණානෙ ඡන්ද වැඩ නිසා... ගොඩාක් මහන්සි උණා පහුණු දවස් ටිකේ... පවු...පළවෙණි පාරනෙ ඔයතරම් බාර දූර වැඩක් කලේ... අඩුගානෙ අපේ තාත්තවත් මැතිවරණ වියාපාරෙට හිටියනංඔය වැඩ ඔක්කොම හොයළ බලල කරළ දෙනවා..."

"කොහෙද විජේපාල මහත්තයල හිටියට අපේ තාත්තල තරම් මැඩමලට හිතවත් නැහැනෙ... ඒගොල්ල එන්නෙ වාසියට විතරයි..."

දැන් නම් චුට්ටක් ඇඳිරිත් වැටීගෙන එනවා. ප්ලෑෂ් ලයිට් එක දැම්මම අමුතුම ලස්සනක්... හරියට වෙසක් දවසට වගේ...

"මග දිගටම පිළිගනීම් ඇති මයෙ හිතේ..ඒකයි ඔය පරක්කු වෙනව ඇත්තේ... මං අහගෙනයි කවුදෝ කියනවා... බණ්ඩාරගං පැත්තේ දෙතුං පොළකම උස්සව ලැහැත්ති කොරළ තිවුණ කියළා..."

දැන් තේ මේසෙට තිබ්බ කලමණා ටිකත් හීල් වෙනව... තාත්තට අළුතෙන් තේ මේසෙ ළැහැත්ති කරන්න හිතෙන්නත් බැරි නැහැ තව ටිකකිං.

"ලොකු පුතේ... පාර පැත්තට ගිහි බලහං මොකෝ කට්ටිය තාම පරක්කු කියලා"

තාත්ත මට කිවුවෙ ඉවසල බැරිම තැන...

"මෙතෙනට මහ පාර හොඳට පේනවා... පාර ගාවට ගියා කියල අමුතුවෙන් දෙයක් පේයියෑ..." මට එහෙම හිතුණත් මේ සෙනග ඉස්සරහ ඔය වගෙ කතාවක් කොහොම කියන්නද...ගිහිං බලමු ඉතිං...

මහ පාර ගාවට ගියාම ගුරුපාරෙ ඈතින් පේන සැරසිලි ටික ලයිට් එළියට පෙනුනේ හරිම ලස්සනට. මට පුංචි ආඩම්බරයකුත් දැනුණා හිතට... එකත් එකටම මැඩම් කැමතිවෙයි අපේ උත්සවේ පිළිවෙලට.
"දැන් නං හතට විතර ඇති මයෙ හිතේ ඒනවනං දැන් එන්නා එපායැ...."

එහෙම හිතුව විතරයි පිඹගෙන ආපු වාහන කීපයක් මං හිටපු තැන පහුකොරං ගිහිල්ල නැවැත්තුවා.., අපරාදෙ කළුවරේ තැන හොයා ගන්න බැරි වෙන්න ඇති අළුත් ඩැයිවර් කෙනෙක් මයෙ හිතේ.. සුමිත් අයියනං එක පාරටම කපල ගන්නෙ එන වේගෙන්ම...දැන් ඉතින් රිවෙස් කරල ගන්න තමයි වෙන්නෙ... මම එහෙම හිතල පුළුවන් තරම් අයිනටම උණා...

වාහන පෙල මැද්දෑවෙ තිබුණ තඩි ජීප් එකේ වීදුරුව පාත්කරළ කවුද මට අත් වනනව... පාර අහන්න වෙන්න ඇති... මාව හරියට අඳුනන්න නෑ...
මම ඉගිල්ලුණා වාහනේ ළඟට.
ඉස්සරහ සීට් එකෙ විජේපාල මහත්තය...එයා මාව ඇඳින්නා...

මම මුකුත්ම කියන්න කළිං මහත්තය පිටිපස්සට හැරිල පිටිපස්ස සීට් එකේ හිටිය මැඩම්ට මාව අඳුන්නල දුන්න...

"මැඩම්... මේ... අර... බන්දුලගෙ ලොකු ළමය..."
අපේ මැඩම් මට කටපුරා හිනාවුණා

"ආ... මල්ලි... ජයවේවා...අපි මේ තාම එනගමන්නෙ මල්ලියො...මග දිගට උත්සව මහ ගොඩයි...අපේ ඡන්ද දායකයින් ගෙ සතුටනෙ... දැන් නං හරිම මහන්සියි...බන්දුලට කියන්න අපි මතක් කළා කියලා...සනීප උණාම ඒ පැත්තෙ ඇවිත් යන්න කියන්නකො...අපි යමුනේද ලේකම් තුමා...හොඳටම පරක්කු උණානෙ...එහෙනම් මල්ලියො ජයවේවා..."

"මැඩම්..."

මම කට හොළවන්නත් කළින් වාහන පෙළ පිටත් වෙළා ඉවරයි....

මට අපේ ගුරු පාර දිහා බැළුණෙ ඉබේටම...

...ගුරු පාරෙ ඈත කොනේ ප්ලෑෂ් ලයිට් එකේ කණාමැදිරි එළියට යටින් සැරසිලි ඔක්කොම බොඳවෙළා තිබුණා...

4/06/2010

මහ ඡන්දෙත් කිට්‍ටු කිට්‍ටු... එරබදු මල් මොට්‍ටු මොට්‍ටු...

සුළැඟිල්ලෙ උළපු සායම් ටික යන්තං මැකිල ගියා විතරයි ආයෙමත් ඡන්දයක්...

අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය...

ජයවේවා... ඒ දවස එනකං මං ඉන්නෙ ඇඟිලි ගැන ගැන...

කළාතුරකින් ගමේ යන මට කාගෙවත් කිසි විරුද්ධත්වයක් ආඩම්බරයක් නොබළා  මුළු දවසක්ම ගමේ ගෙදර ගිහිං නිදහසේ ඉන්න පුලුවන් හින්ද මිසක් වෙන දේකට නෙවෙයි...

මුළු රටම ඡන්දශ්‍රීයෙන් ඇළලිලා...
මුළු පරිසරයම නේක වර්ණයෙන් බැබලෙනවා...

ඒ වුණාට මිනිස්සුන්ගෙ මූණු ඇකිළිලා... ළඟ ළඟම එන සිංහල අවුරුද්ද ගැන වත්... අඩුම ගාණෙ  ඡන්දෙ ගැනවත්  කිසිම උනන්දුවක් නැති ගානයි.
සිංහල අවුරුද්ද හින්ද ඡන්දෙ ගැන තියෙන උනන්දුව අඩුවෙලාද එහෙමත් නැත්නම් ඡන්දෙ නිසා සිංහල අවුරුද්ද ගැන කල්පනාවක් නැතිවෙලාද මන්දා...
සමහර විට ඒ දෙකම නොවෙන වෙනම කාරණාවක් හේතු කරගෙන ඔය දෙක ගැනම සංවේදී බවක් නැති වෙලාද කියලත් හිතෙනවා...

වෙනදා මේ කාළෙට එළිබහින කොහා වුණත් මේ පාර සයිලන්ස් ගහල වගෙයි ඉන්නෙ. ඉන්නවද මළාද නැහැ....සමහර විට ඡන්දෙන් පස්සෙ එලියට එයි.

ඒව වෙනම කාරණා...

බක් මාසෙ එහෙම නැතිනම් භාග්‍යමත් වූ බග් මාසෙ පවත්වන්නෙ අපේ ජාතික සැණකෙලිය. ඒක කෘෂිකාර්මික දිවි පෙවෙතත් එක්ක බිහි වුණු, ඒ හා බද්ධ වුන සිරිත් විරිත් සමුදායකින් යුක්ත සංස්කෘතික අංගයක්.  ඒකටම ජ්‍යොතිෂමය කාරණාවකුත් එකතුවෙලා තිබීමෙන් එහි අර්ථය තවත් පුළුල් වෙනවා.

අද දවසේ කෘෂිකාර්මික ජීවන රටාවකින් ගොඩක් දෙනෙක් ඉවත් වෙලා හිටියත්, අවුරුද්ද සමරන්නෙ ඇයි කියල ප්‍රශ්න කරන්නෙවත් ඒක සමරන එක අත්හරින්නෙවත් නැත්තෙ දීර්ඝ කාලීනව ඒ හා බැඳී සිටීමෙන් අපේ ජාන වලටම ඒක කාවැදිල නිසා වෙන්න පුළුවන්. එතැනදී අපි කරන්නෙ තාවකාලිකව පැය කිහිපයකට පමණක් හරි අපේ මුතුන් මිත්තන් ගේ ජීවිත වල එදිනෙදා අංග වෙලා තිබුණු දේවල් අනුකරණය කරන්න උත්සාහ කරන එක. ඒවයෙ තරමක් කෘත්‍රිම බවක් තිබුණත් සුන්දරයි.

අපේ අවුරුද්දට "සිංහල" අවුරුද්ද කියල කියන්න ගත්තෙ සමහරවිට සුද්දගෙ අවුරුද්දත් අපි සමරන්න පටන් ගත්තට පස්සෙ වෙන්න පුළුවන්.  නිකම්ම අවුරුද්ද කියළ ඊට කළින් හඳුන්වපු අපේ අවුරුද්ද සුද්දගෙ අවුරුද්දෙන් වෙන් කරගන්න "සිංහල"කියන විශේෂණය ඉස්සරහට දාන්න ඇති හරියට අපේ වෙද මහත්තුරුන්ගෙ බෙහෙත් සුදු මහත්තුරුන්ගෙ බෙහෙත් වලින් වෙන් කරගන්න සිංහල බෙහෙත් කියන්න පටන් ගත්ත වගේ.

කොහොම හරි අවුරුදු කන්න කළින් ඡන්දෙ දාල ඉන්න ඕන නෙ.  මනාප තුන දෙන්න තාම මහත්තැන්ල තුන දෙනෙක් හොයා ගන්න බැරි උණා. සමහර විට කවදාවත්ම බැරි වෙයි. ඒ උණාට කවුරු හරි උත්තමයෙකුට කීයක් හරි හොයාගන්න උදවු කරල රටේ ‍රැකියා වියුක්තිය එක ඉලක්කමකින් හරි පහළ දාන එක මහාර්ඝ පුණ්‍ය කර්මයක් නෙවෙයිද...

ඡන්දෙ ගැන කිව්වම මතක් වෙන්නෙ පන්සල.
අපි දහම් පාසල් ගිය, සල්පිල් පවත්තපු, භක්තිගීත ප්‍රසංග තියපු... සිල් ගත්තු ඊටත් වඩා හවසට ඩිංගක් ගිහිල්ල හිත නිවාගෙන ඉඳල ආපු පන්සල...

ඡන්දෙ දාට පන්සලේ අමුතු වෙසක්. පංසල තමයි ගමේ ඡන්ද මධ්‍යස්ථානය...අල්ලපු වැටේ ඉස්කෝලෙ තිබුණට ඒකෙ පහසුකම් මදිලු...

 රාලහාමිලා ඇවිල්ල එදාට පන්සල ඒගොල්ලන්ගෙ යටතට ගන්නව. ගිනිඅවි මානගෙන බෝ මළුවෙයි ධර්මශාලව ඇතුලෙයි... තඩි බූට් සපත්තුත් දාගෙන...
අපි කවදාවත් සෙරෙප්පුවක් දමාගෙන ඔය තැන් වලට යන්නෙ නෑ. 
මගෙ හිතට නම් හරි නැහැ...මෝඩකම වෙන්නැති...

මටනම් හිතෙන්නෙ පූජනීය ස්ථාන ඔයවගේ වැඩ වලට පාවිච්චිකරන්න හොඳ නැහැ...අපේ හාමුදුරුවන්ට ඔය වැඩෙන් හම්බවෙන රුපියල් හත්සිය පනහෙන් ඇති වැඩේ මොකද්ද මන්දා... ඒක ගන්නත් මාස ගානක් රස්තියාදු වෙන්න ඕනිලු.

අනේ මන්දා...

අවුරුදු කටේ හිතට එන විකාර ටිකක් ඔන්න ඔය විදිහට අපිළිවෙලට ලියල දාන්න හිතුණ... කවුරුහරි කියවන්නෙ නැතෑ කියල හිතාගෙන..


...



4/03/2010

Situation is under control සමග මළ කෑ මොළ

පහුගිය දවස් වල බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලා වෙන්න ගිය අකරතැබ්බය ගැන ලිව්වනේ. ඒක කියවලා අපේ සහෘදයන්ගේ හිත් උණුවෙලා හොඳ හොඳ උපදෙස් ටිකක් එහෙම දීල තිබුණ.

සමහරු දුක් වෙලා...

සමහරු මාව joke එකට අරන්...

එතකොට.. තවත් සමහරු කියළ තිබුණා ඒගොල්ලන්ටත් එහෙම තමයි කියළා..

 ඒ අතරින්  Grey, තරිඳු කියල තිබ්බ දේ දැකලා බඩ යට හරියෙන් ඇල්ලුවනේ මාර දැවිල්ලක්  ... (දැන් ඇවිල්ල බලද්දි පලාමල්ලත් ඕකම කියළ තිබුණා). ඒ පාර දවස් දෙකක් විතර දඟළලා වැඩේ එක පිළිවෙලකට ගත්තා... තේරෙන්න කිව්වොත් දැන් situation එක under control...
ඒ අතරෙම පෝස්ට් එකට බළි කුරුට්ටකුත් ඇඳලා එල්ලුවා... මෙතනින් ගියොත් බලතෑකි...   ඔයතියෙන්නේ මං කරකියාගන්න දෙයක් නැතිව හිටි හැටි තමයි...

කොහොමෙන් කොහොමෙන් හරි  බ්ලොග් කෙරුවාවෙන් මං ඇතුළේ හැංගිලා හිටපු මොකෙද්දෝ එකෙක් ආපහු ඔලුව උස්සගෙන එනව වගේ පේනවා.

නිකං... හරියට.. මැරිච්ච එකෙක් ආපහු නැගිටිනව වගේ...

හැබැයි ඌ ඔලුව උස්සල මාව නැතිකරයිද නැත්නම් ඌටම එපාවෙලා ආයෙත් සදහටම නිදාගනීද කියල දැන්ම කියන්න බෑ. බොහෝවිට ඔය දෙවෙනි එක වෙන්න ඉඩ තියෙනවා...

කාලයක් යකඩත් එක්ක ජීවත් වෙලා මොලේ මළකඩ කාල තියෙන්නේ...


 ...


4/01/2010

මැතිවරණ සමයේ හොඳ සෞඛ්‍ය පුරුදු...

මැතිවරණ සමයේදී වැදගත් වන හොඳ සෞඛ්‍ය පුරුදු කීපයක් පහත පරිදි වේ. ඒවා පිළිපැදීමෙන් හුදී ජනතාවෝ තමන්ගේ යහපත සලසා ගනිත්වා...!!

1. හැමවිටම දේශපාලනය කතා කරන විට ප්‍රවේශම් වන්න. තමාගේ කතාවට සවන් දෙන අයගේ ඉරියවු පිළිඹඳ හොඳ අවධානයෙන් සිටින්න. මූඩ් අප්සෙට් වේගෙන එයි නම් කතාව වෙන අතකට හරවන්න. නැතිනම් හදිසි වැඩක් මතක් වූ බව අඟවා හිමීට මාරු වන්න.

2. මැතිවරණ දැන්වීම් අලවන හෝ ඒ හා සම්බන්ධ සැරසිලි කරන ස්ථාන වල නොගැවසෙන්න. කුමන මොහොතක හෝ එල්ලවන තුන්වන පාර්ශවයක ප්‍රහාරයට ඔබ ගොදුරු විය හැක.

3. ඔබ වෘත්තීය දැන්වීම් අලවන්නෙක් හෝ කොඩි වැල් ඇදීම ආදී සැරසිලි කරන්නෙක් නම් අදාල කාර්යයේ නිරත වන අතර ඔත්තු බැලීමට කීපදෙනෙක් යොදවන්න. තමන්ගේ පිළේ අනෙකුත් අපේක්ෂකයින්ගේ ආධාර කරුවන් ආසන්නයට එයි නම් ඔත්තු කරුවන් මගින් එය දැනගත හැකිවනු ඇත.

4.ඔබ වෘත්තීය දැන්වීම් ඉරන්නෙකු, කොඩි වැල් කැපීම හෝ කටවුට් වල කලුතෙල් ගෑම ආදී දේ කරන්නෙක් නම් ඉහත අංක 3 සඳහන් ක්‍රියා මාර්ගය අනුගමනය කරන්න

5. මගතොටේ යන විටදී හෝ ඉහත අංක 3 හෝ 4 යටතේ ඇති යම් කාර්යයක නිරත වීමේ දී පටි සෙරෙප්පු නොපළඳින්න. හදිසි අවස්ථාවකදී ක්ෂණිකව දුවගොස් පණ බේරාගැනීමට එමගින් බාධා ඇතිවිය හැකි බව තහවුරු කර ඇත.

6. පාරවල් හරස් කොට පැවැත්වෙන සංගීත සංදර්ශන වලට බාධා නොවන පරිදි පාරේ කාණුවට බැස ගමන් කරන්න. නැ‍ටුම් ශිල්පීන්ගේ චිත්තප්‍රීතියට හානි නොකරන්න. ඔවුන් ඇඟේ හැපුනද" තමන්ගේ නොවේ" ආකාරයට යෑම නුවණට හුරුය.

7. ඔබ වාහනයක් පදවන්නෙක් නම් අතුරු පාරවලට හැරවීමට පෙර ඒ ඒ මාර්ගයේ කිසියම් හෝ කැන්වසිං යාමක්, මීටිමක් හෝ සංගීතයක් ඇද්දැයි සොයා බලන්න. එසේ නොමැතිව අපරික්ෂාකාරීව පාරවල යාමෙන් ඔබත් ඔබේ වාහනයත් ඔබ විසින්ම අනතුරට පත් කරගනු ඇත. (අත්දු‍ටුවයි සත්තයි)

ඉහත කරුණු පිළිනොපැදීම තුළින් ඔබ කුමන පක්ෂයේ වුවද, කොයිතරම් භක්තිමත් චන්දදායකයෙක් වුවද, කඩේ යන්නකු වුවද තමන් අදහන පක්ෂයේ අයගෙන්ම ගුටි කෑමේ අභාග්‍යවන්ත සිද්ධියට මුහුණපෑමට බොහෝ දුරට ඉඩ ඈත.



LinkWithin

Related Posts with Thumbnails