5/26/2010

වඩිනු මැන සමිඳේ...


හෙට වෙසක් පෝය නෙව. ඒ නිමිත්තෙන් මේ පෝස්ට් එක.
දිගින් දිගට ලියන්න වෙලාවක් නෑ. අද රෑට මහගෙවල් පැත්තෙ යන්න ඕනෙ.
 
2004 අවුරුද්දෙ වෙසක් එකට අපේ පන්සලේ තිබ්බා භක්ති ගීත ප්‍රසංගයක්. ඒක සූදානම් කරගෙන තිබුණෙ දහම් පාසලේ ළමයි ටික. ඉතින් එකදවසක් උන්නැහේ පන්සල් ගිය වෙලාවක අහම්බෙන් වගේ දැක්කා උන් ටික සර්පිනාවකුයි තබ්ලා කූට්ටමකුයි තියාගෙන භක්ති ගීත පුරුදුවෙනව.

ඔයවගේ වැඩක් දැක්කම උන්නැහේට උන් හිටි තැන් අමතක වෙන රෝගයක් තියෙනව. ඒ හේතුවෙන් සහ දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් වශයෙන් ඔවැනි කටයුතු වලට සහාය වීමේ යුතුකම ඉ‍ටු කිරීමක් හැටියටත් උන්නැහේ වැඩේට මැදිහත් වෙලා පොඩි උන්ට උපදෙස ටිකක් එහෙමත් දුන්නා. අපරදෙ කියන්න බෑ එතන හිටපු කොළු කෙල්ලන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.

ඒ වෙලාවෙ විනාඩි පහක් වහේ කාලයක් ඇතුළත ලියල දීපු පද රචනාවක් තමයි ඔය පහළින් තියෙන්නෙ. ක්ෂණිකව තනුවකුත් දාල සංගීතයත් නිර්මාණය කරළ දුන්න. කොහොම හරි අන්තිම දවසෙ ළමයි ටික ඒක හොඳට ගායනා කළා.
උන්නැහේ තාමත් ඒ ගැන තෘප්තිමත්.

ඒක record කරපු mp3 file ටික තැටියක තිබුණා. අද රෑට ගෙදර ගියාම හොයළ බලන්න ඕනෙ. තිබුණොත් දාන්නම්.
 



 ...........................................


අවිදු අඳුරේ තැවෙන සත වෙත
ඉසින්නට අම පැන් පොදක්
සනහ සනහා දැවෙන මිහිකත
වඩිනු මැන සමිඳේ //

(සංගීතය)

හසර නොම දැන අයාලේ යන -
                          සතට බුදුමග හෙළි කරන්නට //
අමා බණ පදයක් දෙසන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...

(සංගීතය)

සියල් දුසිරිත් හිසින් පිළිගෙන -
                       මිනිස්කම් සිඳ දමන දින දින  //
මෙසත් වග බෝසත් කරන්නට
වඩිනු මැන සමිඳේ//

අවිදු අඳුරේ...


...........

5/21/2010

කම්මැලි කමට....

පිලේ පැදුර පටන් ගන්න කොට හීනෙකින් වත් හිතුවෙ නෑ මේකෙ කයි කතන්දර ලියන්න. අදහස තිබුණෙ ඔය මොන මොනවා හරි තාක්ෂණික ලිපියක් දෙකක් ලියාගෙන ඉන්නව කියල. ඒ වුණාට ඉතින් අන්තිමට බලද්දී තාක්ෂණික ලිපියි කියළා ලියලා තියෙන්නෙ ලිපි දෙකක් විතරයි.

ඒකට එක හේතුවක් තමයි සංසාරෙ පුරුද්දක් හැටියට අරගෙන ආපු කම්මැළිකම. අතින් ලියනව වගේ නෙවෙයි නෙ මේක අකුරෙන් අකුර කොටන්න එපෑ. අනෙක් හේතුව තමයි තාක්ෂණ ලිපියක් එහෙම ආවට ගියාට ලියන්න පුළුවන් එකක් නොවන බව මා විසින් තරයේ ඇදහීම. නිවැරදි බව වගේම ප්‍රමාණවත් තරම් සාරවත් එකක් වෙන විදිහට ලියන්න ගියාම ආපහු අර පළමුවෙන කරුණ හරස් වෙනව. 

ඔය දෙකටම අමතර කරුණක් විදිහට සිංහල බ්ලොග් අවකාශයෙ ඇති තරම් තාක්ෂණ ලිපි රචකයො ඉන්නවය යන හැඟීමත් මා තුල තියෙනව. සමහර විට බහුතරයකගෙ අවධානයට යොමු නොවෙච්ච යම් යම් දේවල් ගැන ඉදිරියේදී යමක් ලියවෙන්නත් ඉඩ තියෙනව. ඒ දැනට පර්යේෂණ මට්ටමේ තියෙන දේවල් සාර්ථක උණොත් පමණයි.

ඔන්න ඔච්චරයි අද බ්ලොග් සටහන...

ඒ උණාට ඔය පහළින් තියෙන් එකත් කියවලම යන්න...

මේක මම "සොඳුරු සිත" බ්ලොග් එකට ලියපු කොමෙන්‍ටුවක රූපාන්තරනයක්. අදහස මගේ හිත ඇතුළේ බිහි උණේ "සොඳුරු සිත" දාල තිබුණ පින්තූරෙ දැකලයි.


හැබැයි ඉතින් බොළඳයි කියල නෝන්ඩි කරන්න ඔට්‍ටු නෑ...  හරිය....





රිදුම් දෙන නෙත නැගෙන සීතල
කඳුළු බිඳු වළකා මකා
සුසුම් ස්වරයෙන් ඉකිලමින් යළි
නොඑන ලෙස කීවද සදා

දෙනෝදාහක් අතර හැංගී
සිටින විට නුඹ දෙස බලා
දකින්නෙමි නුඹෙ නොඉවසිලි නෙතු
සොයයි කිසිවෙකු මග බලා

නුඹෙන් ඈතට ඉගිලිලා මා
තුටින් යැයි සිතනට එපා
විසල් බැමි පියමං කරන්නට
සවිය නැත අසරණ දෙපා

සිටිය ලෙස එක් සොඳුරු යුගයක
ඉන්න මිස තුරුළට වෙලා
කවරදාවත් යළි නොඑන්නෙමි
යන්න නුඹෙ කඳුලැලි බලා



ප.ලි.: "සොඳුරු සිත" හිමිකාරි " වත්"   ගේ අගය කිරීම නොවන්නට මේ පද පෙල මෙතනට එන්නෙ නැතිවෙන්න තිබුණා! 


5/17/2010

පිටෙන් ලේ ගලන ලෙඩේ...

අදත් දවසෙම වැස්ස...
වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ.  ඒකත් වෙලාවකට හොඳට හිටිනව.
සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්.

"වැස්ස එක අතකට සුන්දරයි ... හරිම රොමෑන්ටික්" සමහරු එහෙම කියයි. හොඳට කුස පිරෙන්න දුම දමන කෑම වේලක් ගිලදාල ...උණුසුම් පොරෝණයකට ගුළිවෙලා එහෙමත් නැත්තං උණුසුම් කබායක් දවටගෙන උණුසුම කරපු කාමරයකට වෙලා ඉන්න කෙනෙකුට එහෙම හිතෙන එක ගැන වරදක් කියන්නත් බැහැ. ඒත් මහ මග කාගෙ හරි අගුපිළක එහෙමත් නැත්තම් යන්තං ඉටිකොළයක් පොල් අත්තක් දෙකක් අහුරගත්තු නිවසක ඉන්න කෙනෙකුට අද වගේ දවසක මොනවා හිතෙනව ඇද්ද?... කුළියක් මලියක් කරල කීයක්වත් හොයාගන්න නැතුව අද දවසෙ කීදෙනෙක් බඩගින්නෙ ඇතිද?... එකම සුදු ඇඳුම වෙලගන්න බැරුව දරුවො කීදෙනෙක් අද ඉස්කෝලෙ නොගිහින් ඇතිද?....

යමරෙට විදුලි කොටනව... server ඩවුන් කරල වැඩක්  කරන්න හැටියක් ඇත්තෙත් නැහැ. ඒ පාර හිතුව මොනව හරි ලියල දාන්න. ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ... කවියක් ... ම්හු! හරියන්නෑ... මේ හෙන ගහන වැස්සෙ මොන කවිද?!!
කතාවක්... ම්ම්ම්... බලමු...

කළින් පෝස්ට් එකක දාපු අපේ යසපාල මහත්තයට අමතක වීම නිසා වෙච්ච ඇබැද්දිය ගැන ලිව්ව කතාව මතකයිනෙ? ගොඩක් දෙනෙක් ඒක කියවල තිබුණා... කීපදෙනෙක් අදහස් දක්වලත් තිබුණා. මේ කතාවත් යසපාල මහත්තයගෙ සුප්‍රකට අමතක වීම් සමුදායෙන් එකක් ගැන.  එච්චරටම සිරා එකක් නොවුණට ඔන්න ඔහෙ ලියළ දානව ඕන එකක් කියළ...

මුළින්ම කතාව කියන්න කළින් ඒකට ගැළපෙන චිත්තරයක් ඇඳගන්න ඕන මේ සැරේවත්.  මොකද නැත්තං හැමෝම කතාව කියවල ඉවරවෙලා මාසයක් විතර ගියාම තමයි ඕං ඒකට චිත්තරේ එක්කහු කොරන්න වෙන්නේ.

ඕං ඉතින් මේකයි කතාව...

මේ සිද්ධිය වුණේ මීට අවුරුදු පහහයකට උඩදි. ඒ කියන්නෙ යසපාල මහත්තයගෙ පුත්‍ර රත්නය රට රස්සාවට යන්න කළින්.  ඔය සුළු සුළු ප්‍රශ්න ඇති කරගත්තට යසපාල මහත්තයයි එයාගෙ නෝන මහත්තයයි බොහොම සමගියෙන් විහිළුවෙන් තහළුවෙන් තමයි ජීවිතය ගෙනියන්නෙ. වෙලාවකට මිනිහ කියන ඒවට අපිට උණත් බඩ අල්ලගෙන බිම පෙරලි පෙරලි හිනාවෙන්න වෙන වෙලාවල් තියෙනව. 


දවසක් ජෝඩුව දවල්ට කාල එහෙම ඉවරවෙලා කයියක් දාගෙන සාලෙ දිහාට ඇවිදගෙන එන අතරෙ යසපාල මහත්තය කියාපු මොකද්දෝ කටකැඩිච්ච කතාවකට නෝන මහත්තයට එක පාරටම බකස් ගාල හිනාගියා. වෙලාව කියන්නෙ එයා ඒවෙලාවෙ හිටියෙ වතුර වීදුරුවත් අරන් වතුරබිබී. කරුමෙට වතුර ටික පිට උගුරෙ ගියා.... හුස්ම ගන්න බැරි වෙන තාලෙට. ඇස් දෙකෙන් කඳුලුත් පැනල. තත්වය හයානකයි කියල යසපාල මහත්තයට තේරුණා.

මිනිහ මොකද කලේ... පැනපු ගමන් අල්ල ගත්ත නෝනව තඩිබාගෙන ගියේ නැතෑ පිට මැද්දෑවට.  මෙන්න මෙහෙම



ඔහොම තුන් හතර වතාවක් තඩිබාන කොට යන්තං පිට උගුරෙ ගිය වතුර ටික කොහෙන් කොහෙන් හරි ගිහිල්ල නෝනට හුස්මක් කටක් ගන්න පුළුවන් තත්වෙට ආව... 


එතකොට තමයි වැඩේ දරුණු අතට හැරුණෙ ... නෝනගෙ පිට මැද්දේඑකම ලේ විලයි. පිටෙන් ලේ ගලනව. මල කෙලියයි. 


යසපාල මහත්තය හොඳටම බයවුණා.

කොච්චර බය උනාද කිව්වොත් මිනිහට කෑගැස්සුනා.

"මෙන්නෝ .... කවුරුත් නැද්දෝ...නෝනට මොකද්ද වෙලෝ හොඳටම අමාරුයි... පුතේ... සුමනෝ....ඉක්මණට එන්නෝ..."  කියල මිනිහ මහහඬින් විලාප තියන්න ගත්ත. 


නෝනත් හොඳටම බයවෙලා පිටෙන් ලේ ගලනව කිව්වම ඉතින් බයවෙන්නැතෑ. මේ සද්දෙ ඇහිච්ච පුත්තරයයි කුස්සියෙ වැඩ කර කර හිටපු සුමනයි විතරක් නෙවෙයි අල්ලපු ගෙදර නෙවිල් මාමයි තව කීප දෙනෙක්මයි එකතුවුණා.
 

වැඩේ හරිම බරපතලයි... හොඳටම ලේ ගලනව. ඇඳන් හිටපු ඇඳුමත් තෙත්වෙළා...ඒ මදිවට බිමත්...

යසපාල මහත්තය මහා වරදක් කරපු එකෙක් ගානට බයවෙළා ඇයි ඉතින් එයා පිටට තඩිබාල නෙව මේ විපත සිද්ද උණේ.

"අනේ පුතේ අම්මව අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු... "

"ඉක්මනට බලා ඉන්න හොඳ නෑ කවුරුහරි දුවල ත්‍රී වීල් එකක් අරන් ආවනං හරි..." නෙවිල් මාමත් ඒකට කැමති උණා.. කොල්ල දිව්ව ත්‍රීවීල් එකක් හොයන්න. ඒ දවස වල යසපාල මහත්තයගෙ කාර් එක තිබුණෙ නෑ.

"සුමනෝ ඉක්මනට ලෑස්තිවෙයං ඉස්පිරිතාලෙ යන්න..." සුමනත් ලෑස්තියි.

විණාඩි දෙකෙන් ත්‍රීවීලරය ආව..

"හරි එහෙනං අම්මමව පරිස්සමෙන් නග්ග ගමු පුතේ සුමනො අල්ලපං..."

මෙන්න බොලේ එකපාරටම ලෙඩා මහ හයියෙන් හිනාවෙන්න පටං ගත්තා.... අර ඉස්සෙල්ල වගේ... මෙලෝ සිහියක් නැතිව හිනාවෙනව හිනාවෙනව...ඉස්පිරිතාලෙ යන්න අදසක් නැහැ වාගෙ.

යසපාල මහත්තය හිතුව දැන නං තත්වෙ හොඳටම බරපතලයි තවත් නං බලබලා ඉන්න හොඳනැහැ කියල...

" අනේ ... ඉක්මං කරල යමු ඉස්පිරිතාලෙට ඔයාට හොඳටම අමාරුයි" කියල නෝනව පටවන්න හදනව ත්‍රී වීලරේට.

"මම නෙවෙයි මනුස්සයෝ ඔහේ ගිහින් ඔය තුවාලෙට බෙහෙත් දාගෙන එනවා... අපරාදෙ මගෙ ඇඳුම...!"
මොකක් කියපි

හැමෝම උඩ බිම බැළුවා...


ඕං එතකොට තමයි යසපාල මහත්තයට මතක් උනේ ඊයෙ වත්තේ වැඩක් කරද්දි ඇඟිල්ලක් තුවාල වෙලා බෙහෙත් දමාගෙන ආපු බව.
ඒ තුවාල වෙච්ච අතින්ම නෙව නෝනගෙ පිට මද්දෑවට තඩි බාල තියෙන්නෙ...ඉතින් තුවාලෙ අයෙ පෑරිලා ලේ ගලල.

ඒක මතක් උණාට පස්සෙ තමයි මිනිහට අතේ වේදනාව දැනෙන්න ගත්තෙ.

අර ත්‍රීවීල් එකෙන්ම ගිහිල්ල ආපහු තුවාලෙට බෙහෙත් දමාගෙන එන්න තමයි අන්තිමට සිද්ද උනේ

5/09/2010

අරුම පුදුම මෝබියස් පටිය - Mobius Strip



 මීට අවුරුදු විසි පහකට විතර කලින් විජය ළමා පත්තරේ තිබුණ ලිපියක් "අරුම පුදුම මෝබියස් පටිය කියලා". ඒකෙ විස්තර කරළා තිබුණේ එක්තරා විශේෂිත ආකාරයකට සකස් කරගත්  පටියක් ගැන. අරුම පුදුම හැසිරීමක් තියෙන මේ පටිය ඔයගොල්ලන්ටත් හදල බලන්න පුලුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක්.
ඔයා පුංචි එවුන්ට මැජික් පෙන්නන්න කැමති කෙනෙක් නං මේක නියම වැඩක්.

අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙන්න මේවයි.

සෙන්ටි මීටර දෙකක් පමණ පලලින් යුත් මීටරයක් පමණ දිග කඩදාසි පටියක්
මැලියම් ටිකක්
කතුරක්

කරන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි.
කඩදාසි පටියෙ කෙරවලවල් දෙක එකට අලවගන්න.අලවද්දි මතක ඇතුව කඩදාසි පටියෙ එක දඟරයක් දමාගන්න. පහල තියෙන ඡායාරූපයේ ආකාරයෙ දෙයක් තමයි හැදෙන්න ඕනෙ.





පැහැදිළි කිරීමේ පහසුවට මෙතන පෙන්නල තියෙන්නේ පටිය තරමක් කෙටියි. මීටරයක් විතර දිග පටියක් ගත්තොත් තමයි වඩා හොඳ. එතකොට බලන අයට පටියෙ දඟරයක් දාලා තියෙන බව එච්චර පේන්නේ නැහැ.
දැන් කරන්න තියෙන්නෙ මේ පටිය කතුරෙන් හරියට දෙකට පලන එක. පටිය කැපිල වෙන්වෙන්නෙ නැති වෙන්න ප්‍රවේශමෙන් ඒ වැඩේ කරන්න ඕන. අන්තිමට ඔබට රවුම් දෙකක් ලැබෙන්න ඕන. එහෙම නේද ..? කරලම බලන්නකෝ.

........

ඔන්න ඕක තමයි මෝබියස් පටිය කියන්නේ. මේ සංසිද්ධිය සොයාගෙන ඉදිරිපත් කල ගණිත‍‌ඥයා වන මෝබියස් ගේ නමින් තමයි මේ පටිය හඳුන්වන්නේ.  වැඩේ තියෙන්නේ එක දඟරයක් දාල හදාගන්න මේ රවුමට තියෙන්නෙ එක දාරයක් සහ එක මතුපිටක් පමණයි. පාට කූරක් අරන් දාරය දිගේ පාට කරන් ගියොත් ඒක වැටහේවි.

මෝබියස් පටිය දෙකට පැලීමෙන් ලැබෙන ප්‍රතිඵලය නැවතත් දෙකට පැලීමෙන් ලැබෙන්නේ කුමකද කියලත් හොයල බලන්න අමතක කරන්න එපා...

මේ ගැන ගණිතමය පැහැදිලි කිරීමක් මෙන්න මෙතනින් බලාගන්න

5/08/2010

අමතක වීමක තරම...

අපේ හිතවත් මහත්තයෙක් ඉන්නව, නම යසපාල. මිනිහ ළඟදි දවසක අපූරු කතාවක් කිව්ව මිනිස්සුන්ට තියෙන අමතක වීමේ රෝගය ගැන.

දවසක්, කාලෙකින් එකිනෙකා මුණගැනොගැහිච්ච යාළුවො දෙන්නෙක් මගදි හමුවුණා. ආ ගිය තොරතුරු පරණ පුරාජේරු කතාවල යෙදෙමින් අවන්හලකට ගොඩවැදුණු මේ දෙන්නා සප්පායම් වෙන ගමන් තම තමන්ගේ වර්තමාන තත්වය ගැන කතාවට වැ‍ටුණා. කොහොමින් කොහොමින් හරි තමන්ගෙ දරු මල්ලො ගැන උන්ගෙ මවුවරු ගැන කතාකරකර හිටපු අතරෙ එක්කෙනෙක් මෙහෙම කිව්වා...

"මචං... දැන් ඉස්සරවගේ නෙවෙයි මචං... මට හුඟාක් දේවල් අමතක වෙන ගතියක් තියෙනව බං... ළඟදි දවසක මම ගිණිකූරකින් සිග‍රැට් එකක් පත්තු කරලා, සිග‍රැට් එක විසිකරල ගිණිකූර කටේ ගහගත්තනෙ බං..."

එතකොට අනෙකා මෙහෙම කියාපි

අය්යෝ... ඕක එච්චර ගනං ගන්න දෙයක් නෙමෙයි මචං...මටත් ඔය ලෙඩේ ටිකක් තියෙනව...දවසක් මම වැඩ ඇරිල ගෙදර ගිහිල්ල... මහන්සි වැඩිකමට  පොඩ්ඩක් ඇඳේ හාන්සි වෙන්න කියලා හිතලා... ඇඳුං ටික ගලවලා ඇඳේ නිදිකරවලා මම බෝලකූඩුවෙ එල්ලිලා හිටියනෙ බං... සර්වන්ට් ළමය ඇවිල්ල කතාකලේ නැත්තං මම එලිවෙනකං එහෙම තමයි . හොඳ වෙලාවට වයිෆ් ගෙදර හිටියෙ නෑ... හිටියනං වස ලැජ්ජාව.

...................



ඔය කතාව කියපු යසපාල මහත්තයත් ඉතින් ඊට දෙවැනි නෑ.

මිනිහට තියෙනව පොඩි කාර් එකක්. සාමන්‍යයෙන් ඉතාම වැදගත් ගමනකට තමයි ඒක එලියට ගන්නෙ. දවසක් කොහේදෝ තරමක් ඈතක තිබුණු මඟුල් උත්සවයකට මිනිහ ගියා ඔය කාර් එකෙන්. තනියම ගියේ. සාමාන්‍යයෙන් තනියම මඟුලකට එහෙම ගියාම ඉතින් ගෙදර උන්දෑ ටිකක් හිතේ නෝක්කඩුවෙන් තමයි ඉන්නේ.
ඉතින් යසපාල මහත්තය මඟුල් ගෙදර ගිහිල්ල තරමක් රෑ වෙලා, ඒ කියන්නේ දහයට එකොලහට විතර එන්න පිටත් උණා.
පානය කරපු දේවල් වල අනුහසිං කෙලිං කටින් ඉන්න බැරි ගානට තමයි ඉඳල තියෙන්නෙ. අපේ සමහර උදවිය බීගත්තම තමංට හොඳට වාහනේ එලවගන්න පුළුවන් කියල විස්වාසයක් තියෙනවනෙ. මෙයත් එහෙම කෙනෙක් තමයි.
කොහොමින් කොහොමින් හරි තනියම වාහනෙත් එලවගෙන ටික දුරක් එනකොට ඔන්න එක තැනක වාහනේ නැවත්තුවලු. නවත්තල ඒකෙ ඇතුලෙ හිටපු කෙනෙක් බැහැල යනව මෙයා දැකල තියෙනව. ඊට පස්සෙ ආයෙමත් වාහනේ පදව ගෙන යසපාල මහත්තය ආව. කිසිම අවුලක් නැතුව ගෙදර ගේට්‍ටුව ළඟටම ආව. ඇවිල්ල නැවැත්තුව ගේට්‍ටුව ඉස්සරහ.

ගේට්‍ටුව වහල.

හෝන් එක තුං හතරපාරක් ගැහුව.... කවුරුවත් එනපාටක් නැහැ ගේට්‍ටුව අරින්න. මිනිහට තේරුනා නෝන මහත්තය ටිකක් විතර අප්සෙට් ගහල ඉන්නෙ පරක්කු වෙච්ච එකට,  ඒක තමයි මේ ගේට්‍ටුව අරින්නෙ නැත්තෙ කියල.
ඉතින් මොනව කරන්නද යසපාල මහත්තයම කාර් එකෙං බැහැල බැරි මරගාතෙ ඇවිත් ගේට්‍ටුව ඇරල ආයෙම කාර් එකට නැග ගත්ත...
දැන් මිනිහ වාහනේ රේස් කරල එහෙම ඉස්සරහට ගත්ත... අවුලක් නැහැ ඔය යන්නෙ කාර් පොඩ්ඩ අපූරුවට වෙනද ගේට්‍ටුවෙන් ඇතුලට ගන්නකොට ඇතිවෙන ගැස්සිලි බැස්සිලි මුකුත් අද දැනුනෙ නැහැ බබා වගේ.
දැන් යසපාල මහත්තයත් කාර් එක ඉදිරියට පදවනව...කිසි ගානක් නැතුව...වීදුරුවෙන් ශෝක් හුලං පාරකුත් හමනව හරි සනීපයි...

ඔන්න එකපාරටම මිනිහගෙ ටෙලිපෝන් එක වදින්න ගත්තා...

වාහනේ ඉස්සරහට ගන්න ගමන්ම මිනිහ ටැලිපෝන් එකට කතාකරා..

"....හලෝ......"

එහා පැත්තේන් කතා කලේ ඉස්ත්‍රියාවක්.

"මේ ඕයි!!!"

යසපාල උඩගිහිං බිමවැ‍ටුනා.. කවුද අප්පේ මේ රෑ දෙගොඩහරි ජාමෙ කතාකරණ ගෑණු පරාණෙ ... කට හඬ නං ටිකක් හුරුයිත් වගේ...

 ".... ‍රැ දෙගොඩ හරියෙ බීගෙන නාඩගං නැ‍ටුව මදිවෙලාද තමුසෙට.... මේ ගේට්‍ටුවත් ඇර දාල ඒපාර ඔය කොහෙද යන්නෙ??!!... මම මේ විනාඩි දහයක්විතර බලා ඉඳල මේ කෝල් කලේ...."

මල සේක...! තමාගේ ප්‍රිය බිරිඳ...  නොවැ මේ කතාකරල තියෙන්නේ

උතුර දකුණ මාරුවෙච්ච යසපාල මහත්තය කාර් එක එහෙම්ම හිටෙව්ව. දැන් ඉස්සෙල්ලට වඩා පියවි සිහියට ඇවිත්.

"මොකෝ මේ මේ මනුස්සය මට අම්ම මෝ නැතුව බැණගෙන බැණගෙන ගියෙ... මම දැන් ගෙදර ඇවිල්ලනෙ ඉන්නේ..."

ඒ පාරතමයි මිනිහට කල්පනා උනේ

"ෂිහ්.......ගේට්‍ටුව ඇරියට වාහනේ වත්ත ඇතුලට හරවන්න අමතක වුණානෙ"

5/05/2010

ඇඩ්ඩිං හා බයිසිකලය

කරෝලිස් මුදලාලි ගජ පෝසතා. උස්සාහයෙන් දියුණු පවුණු වෙච්ච මනුස්සය. ඔය කොහු මෝල්, ලී මෝල් අර මෝල් මේ මෝල් වලට අමතරව මුරේකට ලස්සෙක හමාරක පොල් කැඩෙන වත්තකුත් තිබුණා කළුවමෝදර පැත්තේ. මිනිහගෙ වෙළඳ වියාපාර කටයුතු  කරගෙන යන්න උදවුවට  ලඟකදි ගත්ත විශ්වාසවන්ත ඉලංදාරියෙක් , නම ඇඩ්ඩිං. උදව්වුවට කිව්වට මිනිහ කරන්නතිබුණේ මුදලාලිගෙ පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන එකයි ගමන් බිමන් යනකොට ආරස්සාවට පස්සෙන් යන එකයි තමයි.


ඉඳල හිටල මුදලාලිට ඔය බුලත් විටක් ඒදන එක වගේ වැදගත් වැඩත් මිනිහගෙ අතින් සිද්ධ වෙනවා..


ඇඩ්ඩිං ගෙ සේවාකාලය එච්චර දිග එකක් නොවුණට ඒ ටික කාලෙට මුදලාලිට මිනිහව හොඳට හිතට අල්ලල ගිහින් තිබුණා.


" කලිං හිටපු වසවර්තිය වගේ නෙවෙයි මූ අහිංසකයා..." එහෙම තමයි කරෝලිස් මුදලාලිගෙ රෙකමදාරුව... මොකෝ කලිං හිටපු සවුම්යසිරිය මුදලාලිගෙ සල්ලි පොට්ටනියකුත් අරං වහංගු උණානෙ.


ඇඩ්ඩිං එක්ක තමයි කරෝලිස් මුදලාලි හැමතැනකම යන්නේ. හරිම කීකරු මනුස්සය හරියට අපේ ඔපීසියෙ පීරිස් වගේ. මුදලාලි මොනව හරි දෙයක් කිව්වොත් ආයෙ ඒවයෙ ඉස්පිල්ලක් පාපිල්ලක් අත නෑර අකුරටම පිළිපදිනවා.


ඔන්න දවසක් මුදලාලි හදිස්සියෙන්ම ඇඩ්ඩිංට කතාකරා


"ඇඩ්ඩියෝ මෙහෙවරෙං..."
"එනව මුදලාලි..." ඇඩ්ඩිං සු‍ටුස් ගාල මුදලාලි ඉස්සරහ.
" මේ දවස් වල කළුවමෝදර ඉඩමේ පොල් ටික කැඩෙනවනෙ... උඹ බයිසිකලෙත් අරං විජාන්ට ගිහින් බලාගෙන වර පොල් කැඩුං කාරයො කීදෙනෙක් ඉන්නවද පොල් ගෙඩි කීයක් කැඩිලද  කියලා... නැහ්නං ඕකුං බොරුවට ගණං මිණුං දාල මගේ කනෙනුත් රිංගයි..."


කළුවමෝදරට මුදලාලිගෙ ගෙදර ඉඳන් හැතැම්ම හත අටක් තියෙනව. සවුම්යසිරියට  ඕක බයිසිකලෙං පැයක හමාරක විතර ගමනක්. මොකෝ කඳු පල්ලං එහෙමත් තියෙන පාරක් නෙ.
"සුණංගු වෙනව එහෙම නෙවෙයි මට තව ගමං කීපයක්ම යන්නත් තියෙනව... ගියා විස්තරේ බලා ගත්තු ගමං අනිප්පැත්ත හැරිල වරෙං.." මුදලාලි එහෙම කිව්වෙ සමහරවිට අනිත් පැත්ත හැරිල කියල නොකිව්වනං මේකා රිවෙස් එකේම එන්නත් බැරි නැහැ... එහෙවු පුතෙයා..


ඔන්න ඉතිං ඇඩ්ඩිං බයිසිකලෙත් අරන් පිටත් උනා...
පැයක් හමාරක් ගියා මේක නෑ....
මුදලාලි දැන් මේකා එයි ...දැන් මේකා එයි ...කිය කියා බලාන ඉන්නව, තව ගමන් කීපයකුත් තියෙනවනෙ..


පැය දෙකක් ගියා.. තුනක් ගියා ම්හු.. ඔහෙ නෑ.


"මේකා පැනල ගියා වද්ද බයිසිකලෙත් අරං.."


"සමහර විට බයිසිකලේ උගස් තියල පිචැර් එහෙකටවත් ගියාද කියන්න බැහැ..."


නොයෙක් අදහස් එහෙං මෙහෙං එනවා..


කොහෙද ඒකාලෙ ඉනේ ගහගෙන යන ටැලිපෝන් තිබුණයැ... මොකද වුණේ කියල බලන්න...


කරන්න දෙයක් නැහැ කීයට හරි එන වෙලාවක  එන්නැතෑ කියල මුදලාලිත් ඔන්න ඔහේ හිටියා...
ගමන් බිමන් වැඩ කටයුතු ඔක්කොම අඩාලයි...


ඔන්න ඔහොම ඉන්න කොට හවස් උනා.. ඇඩ්ඩිය තාම නැහැ.


ඇඳිරි වැටීගෙන එනකොට ඈතිං පේනව මෙන්න මේක එනවා.... බයිසිකලෙත් තල්ලු කරං..


" ‍තෝ.. මෙච්චරවෙලා කොහෙ මකබෑ උණාද බොල!!!.. දැන් බලපිය වෙලාව කීයද කියලා"  ළඟට ආපු ගමන් මුදලාලි කඩං පැන්න


"මුදලාලි මම මේ තාම එන ගමන්......"


" මට පේන ව බොල ඒක!"


ඇඩ්ඩියට පාං කියාගන්න බෑ ඉහිං කනිං දාඩිය පෙරෙනවා... බලන්න දුකයි...

 


" අනේ මුදලාලි... මේ බයිසිකලේකුත් තල්ලුකරං එන්න උනේ නැත්තං මං දහ ගමනක් ඔය ගමන් ගෙහුං ඇවිත්...." ඇඩ්ඩිං අඬන්න වගේ....හති හලහල  කෙඳිරි ගානවා.


" ඇයි බොල බයිසිකලේට මක් උණාද... ඇයි ‍තෝ ඕක තල්ලු කරං ආවෙ..."


"අනේ නෑ මුදලාලි මඩවලවල් තියෙන තැන් වල දි මං තල්ලුකරං ගියේ නෑ කරටගත්තා....අපරාදෙනෙ... මඩ  ගාව ගන්නේ..."


"ඇයි හරකො ‍තෝ ඕක පැදගෙන නෙවෙයිද ගියේ...?!!!"

" අනේ මුදලාලි... ඉතිං මට ... බයිසිකල් පදින්න බෑනේ..."

....




මේක පරණ කතාවක් . මට මේක මතක් උනේ මේ වගේම වැඩක් අපේ පීරිසුත් අද කරපු වෙලේ.












....

5/02/2010

ඒජන්ත උන්නාන්සෙගේ සෙමර වලිගේ..




රාජකාරි ගමනක යෙදෙන අතරතුර සුදු ජාතික ඒජන්තවරයා හදිසියේ සිය ගමට පැමිණීම ගම්මුන්ට මහත් වූ කුතුහලය දනවන කාරණයක් විය.

කිසිදා නොදු‍ටු ඒජන්ත උන්නාන්සේගේ හැඩරුව කෙබඳුදැයි දැන ගැනීමේ ආශාවෙන් පොළඹවනු ලැබූ ගැමියෝ ආරංචිය සැලවූ විගස වැල නොකැඩී ගොස් මාර්ගය අසල ‍රැස් වී, නෙත සිත පුරා ඒජන්ත උන්නාංසේ දැක බලා ගත්හ.

එතැන් පටන් දින කීපයක්ම යනතෙක් ගමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ඒජන්ත වරයා ගමට පැමිණීම පිළිඹඳ ප්‍රවෘත්තියයි.

කාන්තාවන්ට ඔවැනි දේ පිළිඹඳ කතාකිරීමට ගමේ නාන තො‍ටුපොළ කදිම තැනක් විය. පිරිමි නොගැවසෙන නිසා එතැන තම රහස් කතාකිරීමට ඔවුනට බාධාවක් නොවීය.


....

"ඒජන්ත උන්නාංසෙගෙ සුද... මමනං උපන් තේකට දැකල නෑ බං එහෙම සුදක්...ආ...සා...වේ... බෑ..."  

සොබනි වටපිට බලා කීවේ හඬ පහත් කරමින් තම යෙහෙලියන්ට පමණක් ඇසෙන පරිදිය.
" අම්මපා හැබෑව සොබනියෝ... කිව්වට මොකෝ...ගමන් ලතාව දැක්කම මට නම් ඉවසිල්ලක් නැතිඋණා බන්...පද්ද පද්දා... හරී... නිස්කාන්සුවෙ ඇවිදින්නෙ... හුරතලේ... බැරුවා.."    

එතන හාමිද තම සිතැඟි පළකලාය.

"මට නං ඔයි ඔක්කෝටම වැඩිය හිත ගියෙ... උන්නාන්සේ අර වන වනා ගිය සෙමර වාගෙ වලිගෙට... අල්ලල බලන්නවත් වුණානං..., අපිට කොහෙන්ද එහෙවු පිණක්....දුකේ බෑ..." 

සපුමලී කියා සිටියේ ශෝකයෙනි.

"උන්නාන්සෙ හොඳ නිවිච්ච හැදිච්ච පාටයි... කාට උනත් ඔළුව වනලා තමයි ගියේ...මටනං හරිම ගවුරවයක් හිතුණා බං... ඒකයි මම උන්නාන්සෙට එතනම වැන්දේ"

"මොකෝ උඹ විතරක්..! මග දිගට හිටපු උදවිය ඔක්කෝම උන්නාන්සෙට වැන්දේ..."

"ඒකටත් එක්ක උන්නාන්සෙගේ පිටේ නැගලා හිටපු ගොයිය!  උන්දෑ නං මහාම ආඩම්බරකාර පාටයි......කවුදෑ... බං ඒකා..?!!." "

"නොදකිං උන්දෑ නං... මතක් කරන්න එපා... කෙවිටකුත් කරකවකව ගෑණු දිහා බල බලා ගිය හැටි විතරක්..."


...

LinkWithin

Related Posts with Thumbnails