11/24/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lens

දැන් අමාරුම ටික අවසන්.
LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්‍රභවය ‍තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ.

ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික.

මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැති නිසා මිළ අධික Fresnel lens මිළදී ගන්න හිත හදාගන්න අමාරු වුණා. නමුත් මේ ළඟදී  e bey එකේ අහම්බෙන් දැක්ක මිළ අඩු ප්ලාස්ටික් වර්ගයකින් හදපු කාච වගයක් තියෙන බව. ඒව කුඩා අකුරු ලොකු කරල බලන්න පාවිච්චි කරන magnifying lens වර්ගයක්. හදල තියෙන්නෙ Fresnel lens ආකාරයටම තමයි. මේවා ප්‍රමාණ කීපයකින් තියෙනවා. කුඩාම ප්‍රමාණය හඳුන්වන්නෙ  Credit Card Magnifier Fresnel Lens කියලා. මේව සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයේ. ඊට වඩා තරමක් විශාල, ඒ කියන්නෙ අඟල් 7 x 10 ප්‍රමාණයේ ඒව තියෙනවා Full Page Magnifying Sheet කියලා හඳුන්වන. වැඩේට හරියයිද කියලා වැඩි විශ්වාසයක් නොතිබුණා උනත් අත් හදා බැලීමක් හැටියට කුඩා ප්‍රමාණයේ කාච 2ක් e bay එකෙන් ඇණවුම් කළා. මිල වුණේ (තැපැල් ගාස්තු සමග) US $4.28 යි.

මේ තියෙන්නෙ ඒවැයින් එකක් තමයි.



මූළික අත්හදා බැලීමේදී මේ කාච වැඩේට සුදුසුයි කියල වැටහුනත් ඒව ප්‍රමාණයෙන් කුඩා නිසා සම්පුර්ණ LCD එක ආවරණය නොවීමේ ගැටළුව තිබුණා. ඒ නිසා නැවතත් ඊට වඩා ලොකු ප්‍රමාණයේ Full Page Magnifying Sheet 4 ක් ගෙනාව US $14.95 කට. මේව 4ක් ම එකපාර ගෙනාවෙ මතු ප්‍රොයෝජනේ තකා. දෙකක් තිබුණාම වැඩේට ඇති.






මේ විදියට ලොකු සහ කුඩා Fresnel lens ජාති දෙක ගැනම කිව්වෙ, කවුරු හරි ඉතා කුඩා ප්‍රමාණයේ LCD එකක් පාවිච්චි කරන්න හිතං ඉන්නවනම් එයාට සුදුසු  කුඩා ප්‍රමාණයේ credit card size කාච වුණත් තියෙන බව සටහන් කරන්න ඕන නිසයි.

දැන් මේ magnifying sheet එක LCD එකට වඩා තරමක් විශාල ප්‍රමාණයකට කපා ගන්න ඕනෙ . මිලි මීටර 10 බැගින් වටේට තිබ්බහම ඇති. කාච කපන කොට ඒකේ හරි මැද ඉඳන් සමමිතිකව කපා ගන්න අමතක කරන්න එපා. එහෙම කිව්වම තේරුනා මයෙ හිතේ.



ඊට පස්සෙ මෙන්න මේ වගේ කාඩ් බෝඩ් එකක මැදින් LCDඑකට වඩා ලොකු ප්‍රමාණයේ විවරයක් කපලා ඒකට කාච කැබලි දෙකම අලව ගන්න ඕනෙ.



අලවන කොටත් කාච කොටස් දෙකේම මධ්‍ය ලක්ෂ්‍ය එකට සමපාත වෙන විදිහට අලවගන්න.
මෙහෙම අලවගත්තම මූලික සීරුමාරු කිරීම වලට පහසුයි.

දැන් තියෙන්නෙ ප්‍රොජෙක්ටරය අත්හදා බලන එක තමයි. තව එක දෙයක්. මේ වැඩේට ප්‍රක්ශේපණ කාචයකුත් ඕන වෙනවනෙ. උන්නැහේ ඒ වැඩේට යොදා ගත්තෙ සාමාන්‍ය අත් කාචයක්. අතින් අල්ලන කොටස කපා දාලා රවුම් කොටස බටයකට හයි කර ගත්තාම හරි. ඒකෙන් ඉතාම හොඳ නොවුණත් සතු‍ටුදායක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. ඔය පල්ලැහින් තියෙන්නෙ අත් කාචයෙන් ලැබුණු ප්‍රක්ශේපනයන්. විකර්ණය අඟල් 52යි.

කාච විවරය ලොකු වැඩි නිසා ප්‍රශ්න කීපයක් තියෙනවා. වෙළඳපොලේ සාමන්‍ය ප්‍රක්ශේපණ කාචයක් සැහෙන මිළයි. කොහොම උණත් උන්නැහේ අඩු මිළ එකක් හොයළ ඇණවුම් කරළයි ඉන්නෙ. බළමු ඒක ආවම.

මේ වැඩේ ගැන දිගටම ලියාගෙන යන්න වෙලාව හොයා ගන්න එක දැන් නම් ඉතාම අපහසු කාරියක් වෙලා.
ලැබුණ සුළු ඉසිඹුවකදී ලියපු මේ සටහනේ අපැහැදිළි තැනක් තියෙනවනං අනේ හිත හිතා ඉන්න එපා අහන්න ඕනෙ හොඳේ.

දැනට ඒ ඇති.!




11/18/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panel

අද LCD එක ගැන

කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්‍රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්‍රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි.

ප්‍රොජෙක්ටරයට ‍තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන.
  • අඩුම තරමේ 640 x 480 resolution
  • Video, VGA දෙකම හෝ අඩුමතරමේ ඉන් එකක් සම්බන්ධ කළ හැකිවීම
  • හැකි තරම් කුඩා වීම
  • touch screen පහසුකම නොතිබීම.
මේ කියන ආකාරයේ ඕනෑම LCD පැනලයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
resolution එකක් 640 x 480 ට වඩා අඩු එකක් වුණොත් විශාල තිරයකදී pixel වෙන් වී පෙනෙනවා.

ඒ වගේම High definition ප්‍රොජෙක්ටරයක් හදන කෙනෙක් 800 x 600 හෝ ඊට වඩා වැඩි  resolution එකක් ‍තෝරා ගැනීම හොඳයි.

යම් කෙනෙකුට LCD computer monitor එකක් වුනත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් එහිදී විශාල ප්‍රමාණයේ Fesnel කාච යොදා ගත් යුතු වෙනවා. මේ වගේ ප්‍රමාණයෙන් විශාල Fresnel කාච පරන OHP එකකින් ගලව ගන්න පුළුවන් වෙයි. ඒව e bay  එකේ විකුණන්නත් තියෙනව මම දැකල තියෙනව.

දැන් බලමු LCD පැනලය prejector එකට සුදුසු විදිහට සකස් කරගන්න ආකාරය.

මේ තියෙන්නෙඋන්නැහේ පාවිච්චි කරපු LCD monitor එක




ඒක 640 x 480 resolution  තියෙන video input ලබා දෙන්න පුළුවන් ආකාරයේ එකක්. විකර්ණය අඟල් 3.5යි. මේව සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ මෝටර් රථ වල reversing camera monitor විදිහට. ගත්තෙ e bay  එකෙන්. US$ 24.48 ක් උනා (free shipping).


මුළින්ම මේක ගලව ගන්න ඕනෙ. ගැලවීමේදී, ඉතාම ඉවසීමෙන් යුතුව ප්‍රවේශමෙන් කරන්න ඕන සියුම් ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානියක් නොවෙන ආකාරයට.



මේ තියෙන්නෙ වෙන් කරගත් LCD එක

දැන් තමයි අමාරුම හරිය. ඒ කියන්නෙ LCD එකේ පි‍ටුපස ආවරණය සහ back light එකට අදාල කොටස් ඉවත් කර ගැනීම. ඒ කොටස් ටික ඉවත් වුනාට පස්සෙ තමයි LCD එක තුළින් ආලෝකය ගමන් කරන්නෙ.

හොඳින් බැලුවොත් පෙනේවි, මෙහි පි‍ටුපස තුනී ලෝහ තහඩුවකින් ආවරණය කර ඇති බව. ඉතාම පරිස්සමින් හෙමින් සීරුවේ ඒ තහඩුව ඉවත් කරගත යුතු වෙනවා.
කිසිම විටක  LCD  එකට ලොකු බලයක් යොදන්න එපා. එහෙම කළොත් LCD කෑලි දෙකක් තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ.

ඒ වගේම එහි මතුපිට සූර ගන්නත් එපා.

LCD එකට පි‍ටුපසින් ඇති සියළුම කොටස් ඉවත් කර ගත්තට පස්සෙ දැක ගන්න පුළුවන් වෙයි LCD එක විනිවිද පෙනෙන ආකාරය. මේ අවස්ථාවෙදි back light එකට විදුලිය සපයන කුඩා කේබල් දෙක විසන්ධි කර දැමිය යුතුයි. නැති නම් බැක් ලයිට් එක LCD එකෙන් ඉවත් වෙන්නෙ නැතුව පැතලි කේබලයටම  (flat flex cable) සවි වෙලා තියේවි. පහත පින්තූරයේ රවුමකින් සළකුණු කරළ තියෙන්නෙ ඒ සම්බන්ධක වයරයන් දෙක තමයි.කතුරකින් පරිස්සමින් ඒ කොටස වෙන් වෙන්න කැපුවම ඒ ප්‍රශ්නෙත් හරි.



විවිධ LCD වල මේ සම්බන්ධක වයර් දෙක එක එක විදිහට තියෙන්න පුළුවන්. හොඳින් පරීක්ෂාවෙන් බැලුවම ඒව අඳුන ගන්න එක එච්චර අමාරු වෙන්නෙ නෑ. හැබැයි බැක් ලයිට් කේබල් කියල වෙන මොකක් හරි කපා දැම්මොත් විනාසයි. ඒ නිසා පරිස්සමින්.

දැන් LCD එක සූදානම්. 12V (1A විතර සැපයුමක් නම් වඩා හොඳයි) විදුලි සැපයුමක් ලබාදීල, වීඩියෝ ප්ලේයරයකට සම්බන්ධ කරල බලන්න පුළුවන් මේක (තාමත්) වැඩද කියල. හැබැයි බැක් ලයිට් එක නැති නිසා පිටි පස්සෙන් ආලෝකයක් අල්ලල තමයි පින්තූරය බලන්න වෙන්නෙ.

ප්‍රොජෙක්ටරයේ මූළික අත්හදා බැලීමට පහසු වෙන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් ආධාරකයක මේක තාවකාලිකව අටවගන්න පුළුවන්. හැබැයි පරිස්සමින් ඔය පුංචි පුංචි කෑලි විශේෂයෙන්ම ෆෙරයිට් වල ඔතපු පුංචි කොයිල් කඩා ගන්නව එහෙම නෙවෙයි.



Fresnel Lens  එක්ක ඊළඟට හමුවෙමු.

11/16/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - පැහැදිලි කිරීම්

පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ විදිහට ලියන්නෙ කොමෙන්‍ටුවකින් පැහැදිලි කරන්න අමාරු නිසයි..

එකක් තමයි මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රොජෙක්ටරයේ රූප සටහනත් එතන ලියලා තියෙන දෙයත් අතර ඇති පරස්පරය. මේක ගැන මගේ අවධානයට යොමු කරපු කාංචන දිනූක ට ස්තූතියි.

එතැන ලියවිලා තියෙන විදිහට fresnel lens දෙකක් යොදා ගන්නෙ, එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්භය ලබාගන්නත්, අනෙක ඒ සමාන්තර ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයට යොමු කරන්නත් කියන කාරණා වලට.

ඊට අදාලව කියන්න හිටපු දේවල් ටිකක් මගහැරිල තියෙන හින්ද පුංචි අවුල් සහගත බවක් ඇති වෙලා තියෙනව.

මේ රූප සටහන බලන්න




මේකේ පේන විදිහට අංක 1 දරන තැන හෝ අංක දෙක දරන තැන අපිට LCD  එක තියන්න පුළුවන්.
මේ තැන් දෙකෙන් කොතැනක LCD එක තිබුනත් ඒක සම්පූර්ණයෙන් ආවරනය වන විදිහට ආලෝක කදම්බය ගමන් කරනවා නම් ඒක  එකාකාරව ආලෝකමත් වෙනවා.

අර සමාන්තර ආලෝක කදම්භයක් ගැන කියළ තියෙන්නෙ ඔය අංක එක කියන තැන LCD තියනවා කියලා හිතාගෙනයි.

නමුත් ප්‍රායෝගිකව LCD එකේ වඩා හොඳ ආලෝකමත් ප්‍රතිබිම්බයක් තිරය මතට ගන්න නම් අංක 2 ස්ථානය තමා වඩා හොඳ. ඒ කියන්නෙ LCD එකත් ප්‍රක්ෂේපණ කාචයත් අතර තවත් යමක් තැබීමෙන් ප්‍රතිබිම්බයේ contrast  අඩුවෙනවා. ඒක මම අත්දැකපු දෙයක්. ඒ නිසා මම අනුමත කරන්නේ අංක 2 ස්ථානය.

නමුත් අංක 2 ස්ථානයේ තැබීමට සුදුසු fresnel lens LCD එකට වඩා තරමක් විශාල විය යුතුයි.  අංක 1 ස්ථානයේ, ඒ කියන්නෙ ෆ්‍රේනල් දෙකට මැදිවෙන්න LCD  එක තියනව නම් ඒව LCD එක ප්‍රමාණයේම වුණාම ඇති.

දෙවෙනි fresnel එක, ඒ කියන්නෙ ආලෝක ප්‍රභවයට ඈතින් තියෙන එකේ රාජකාරිය තමයි LCD එක හරහා ගිය ආලෝක කදම්භය ප්‍රක්ෂේපණ කාචයේ විවරය (aperture) තුළට යොමු කරන එක.

තවදුරටත් යමක් කියනවා නම්, ඔබ OHP එකක් බැලුවොත් එහිදීත් fresnel  දෙකක් එකට අලවලා තමයි යොදාගන්නෙ. එතකොට වස්තුව (transparent slide) තබන්නෙ ඉහත රූප සටහනේ අංක දෙක ස්ථානයට අනුරූප තැනක.

තනි fresnel එකක් වුණත් යොදා ගන්න පුළුවන් අලෝක ප්‍රභවය ප්‍රමාණවත් තරම් විශාල නම්.

අනෙක් ප්‍රශ්නය තමයි කණියා LED එකේ ලින්ක් එක ඉල්ලා තිබීම.

ඒ කොමෙන්‍ටුවට උත්තර හැටියට ඒ LED එකේ ebay item number එක දැම්මා.  නමුත් මම එහිදීත් කියලා තියෙන ආකාරයට ඒ item එකම මිළදී ගන්න උත්සාහ කරන්න එපා. ඒකෙ colour temperature එක 3500K පේන පින්තූර ටිකක් රතුපාටට හුරුයි. ඊට සමාන එහෙත් සුදුසු color temp එකක් තියෙන ඒවා e bay  එකෙ ඕනතරම් තියෙනව. අනෙක LED එක මිළදී ගන්න කොට පුළුවන් උපරිම ජවයකින් යුතු එකක් මිළදී ගන්න. 30W වලට අඩු එකක් නම් අනුමත කරන්න බැහැ.

හදිසියේ ලියූ මේ කෙටි සටහනෙන් කාරණාව තරමක් හෝ පැහැදිලි වෙන්න ඇති.

11/15/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - ආලෝක ප්‍රභවය / Let's Build a Projector - Light Source

මේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන තවත් පුළුවන් තරම් අන්තර්ජාලයෙන් අධ්‍යයනය කරන හැටියටත් ඉල්ලා හිටින්න කැමතියි.

හරි එහෙනං ආලෝක ප්‍රභවයෙන් පටන් ගමු.

ප්‍රොජෙක්ටරයෙන් ලැබෙන පින්තූරය නිවැරදි වර්ණ සමඟ ප්‍රමාණවත් දීප්තියකින් ලබාගැනීමට එයට භාවිත වන ආලෝක ප්‍රභවය හරියාකාරව තෝරා ගැනීම හේතු වෙනව. ඒ විතරක් නෙවෙයි ප්‍රොජෙක්ටරයේ උපාංග අතරින් සාපේක්ෂව වැඩිම ජවයකින් යුතු උපාංගය මෙය වන නිසා  කෙළින්ම විදුලි බිල් පතට මෙයින් විශාල බලපෑමක් ඇති කරනවා.

ලාම්පුවකින් එහෙමත් නැත්නම් බල්බයකින් නිකුත්වන සම්පූර්ණ දෘෂ්‍ය ආලෝක ප්‍රමාණය (luminous flux) මනින්නේ lumens වලින්. එය එම ආලෝක ප්‍රභවය විසින් යමක් අලෝකමත් කිරීමේ බලය පිළිබඳ අදහසක් දෙනවා.

ඒ වගේම ප්‍රොජෙක්ටරයකින් නිකුත් වන ආලෝක ප්‍රමාණය මනින්නෙත් lumens වලින්. අහවල් lumens ප්‍රමානයක ප්‍රොජෙක්ටරයක් කියල තමයි සාමන්‍යයෙන් මේව වර්ග කරන්නෙ. එතනදි අදහස් වෙන්නෙ ඒ උපකරණය මගින් මිනිස් ඇසින් ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමේ ආලෝකය ඒ කියන්නෙ දෘෂ්‍ය ආලෝකය කොපමණ නිකුත් කරනවාද කියන එකයි   ඒ සඳහා දැනට ANSI ආයතනය මගින් සම්මත මිනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීල තියෙනවා ප්‍රොජෙක්ටර සඳහාම විශේෂයෙන්. ඒ ක්‍රමයට යම්කිසි ප්‍රොජෙක්ටරයක ආලෝක ප්‍රමාණය එහි ANSI lumens ප්‍රමාණය විදිහට හඳුන්වනවා.
වැඩි lumens ප්‍රමාණයක් පිටකරන ප්‍රොජෙක්ටරයක පින්තූරවල දීප්තිය වැඩියි.

ඒ නිසා අපේ ප්‍රොජෙක්ටරයටත් හැකිතරම් ඉහල lumens  අගයක් ඇති බල්බයක් තෝරා ගත යුතුයි.

ඒ වගේම තමයි ඒ බල්බයේ color temperature එක. එමගින් නිකුත් වන ආලෝකයේ වර්ණය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටරයකට යොදාගන්න බල්බයේ ආලෝකය දහවල සූර්යාලෝකයට කිට්‍ටු වර්ණයක් තිබිය යතුයි. නැතිනම් පිතූරවල නියම පාට තිරයේ දිස් වෙන්නේ නැහැ.

ඒ සඳහා 5000K - 6000K අතර color temperature එකක් සුදුසුයි. මේ අගය අඩුවෙන කොට ආලෝකය කහ වර්ණයට හුරු වෙනවා. ඒ වගේම වැඩි වෙනකොට, නිල් පාටට හුරු ආලෝකයක් තමයි ලැබෙන්නෙ.


ඉහත කාරණා දෙක තමයි ආලෝක ප්‍රභවය තෝරා ගැනීමේදී මූළිකවම වැදගත් වෙන්නෙ.

දැන් බලමු අපිට සොයාගන්න පුළුවන් ආලෝක ප්‍රභවයන් වර්ග මොනවද කියා.

1.    Incandescent lamps - සාමාන්‍ය සූත්‍රිකා පහන්
2.    Fluorescent lamps - ප්‍රතිදීප්ත පහන්
3.    Halogen lamps - හැලජන් ලාම්පු
4.    Metal halide lamps
5.    LED

ඇත්තටම ඉහත ඕනෑම පහනක් ප්‍රොජෙක්ටරයේ ආලෝක ප්‍රභවය හැටියට පාවිච්චි කරන්න පුලුවන්. නමුත් ඒ සමහර ඒවාගේ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒව සැලකිල්ල ට ගත්තට පස්සෙ හොන්නදයි කියල ඉතුරු වෙන්නෙ අංක 4 සහ 5 විතරයි. (ඒ කාරණා මොනවද කියන එක කියන්න ගියොත් අද මේක පෝස්ට් කරන්න වෙන්නෙ නෑ)
එයිනුත් වඩාත්ම හොඳ එක තමයි metal halide පහන්. ඒව තමයි උසස් තත්ත්වයේ මිල අධික වාණිජ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ව ල පාවිච්චි වෙන්නෙ. ඉතාමත් ඉහල කාර්ය්‍යක්ෂමතාවකින් යුක්ත අති දැවැන්ත තිරයක් මතට ප්‍රක්ෂේපණය කළහැකි ප්‍රොජෙක්ටරයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙක් metal halide පහනක් තෝරා ගන්න එක සුදුසුයි.
නමුත් මේ පහන් වල ආයු කාලය සාපේක්ෂව අඩුයි. ඒ වගේම කාලයත් සමග lumens ප්‍රමාණය වගේම color temp එකත් අඩුවෙනව. ඒ කියන්නෙ කාලයක් ගියාම ආලෝකය අඩුවෙලා කහ පාට ගැහෙනව. ඒ වගේම පිටවන තාපය ඉවත් කරන එකත් ලේසි නෑ. ලොකුම ප්‍රශ්න තමයි ඒව ප්‍රමාණයෙන් විශාල වීම සහ පහසුවෙන් කැඩෙන්න බි‍ඳෙන්න පුළුවන් වීම.

මේව සැලකිල්ලට ගත් උන්නැහේ තොරා ගත්තෙ LED පහන්.

ඔය පහල පින්තූරෙ තියෙන්නෙ ඒ LED එක තමයි. මේක 30W , 2000 lumens ප්‍රමාණයේ එකක්. මිළදී ගත්තේ e bay  එකෙන්. සමහරවිට මේ LED දේශීය වෙළඳපොලෙත් තියෙන්න පුළුවන්. වැඩ වැඩි කම හින්දා පිටකො‍ටුවෙ රස්තියාදු ගහන්න අමාරු නිසා හොයා බලන්න පුළුවන් වුනේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න.





මේකෙ ලොකුම වාසිය තමයි පහසුවෙන් හීට්  සින්ක් එකකට සවිකර ගත හැකිවීම. ඒ වගේම එක පැත්තකට එල්ල වුණු අලෝක කදම්භයක් ලැබෙන නිසා අපතේ යන ආලෝක ප්‍රමාණය අඩුයි. කාලයත් සමග ගතිගුණ වෙනසවීමකුත් මේවයේ නැහැ.
මේ පින්තූරෙ තියෙන්නෙ CPU cooler එකක heat sink එකකට සවිකල පසු පෙනෙන විදිහ. heat sink compound ටිකකුත් යොදාගන්න අමතක කලේ නෑ.







ඔය LED එකත් එක්කම තියෙන අනෙක් පරිපථ කොටස තමයි ඒකේ driver එක. ඒක මිළදී ගන්න අවශ්‍යමයි කියන්න බැහැ. driver  එකක් තමන්ටම හදාගන්න වුනත්  පුළුවන්. ඒත් පහසුව තකා LED ත් එක්කම ඒකත් මිළදී ගත්තා. දෙකටම ගියෙ US$ 32.88. හැබැයි Chinese.

11/09/2010

ප්‍රොජෙක්ටරයක් හදමු - Let's Build a Projector


කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ඒක පහසුයි. හැබැයි පිච්චර් හෝල් එක ඉවරවෙනකම්ම ලියාවිද කියල කියන්න කාටවත්, උන්නැහේටවත් බැහැ. ඒ කොහොම වුනත් ඉස්සෙල්ල කලබල නොවී ප්‍රොජෙක්ටරයක් හදාගෙන ඉම්මු.

මේං සරල ප්‍රොජෙක්ටරය.



ඔය ඉහල පින්තූරෙ පෙනෙන විදිහට උත්තල කාචයක් භාවිත කරළා ආලෝක ප්‍රභවයක් ඉස්සරහින් තියපු පාරදෘෂ්‍ය පටලයක තාත්වික ප්‍රතිබිම්බයක් ඒ ඉදිරියෙන් තියෙන තිරයක ලබා ගන්න පුළුවන් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. ඉස්සර ඉස්කෝලෙ ඉස්සරහ ඉස්ටිකර් කාරය ගාව විකුණන්න තිබුණු චිත්‍රපට කෑලි අරන් ගිහින් ඒකට ටෝච් එක ගහලා ඊට ඉස්සරහින් ලොකුකරල බලන කන්නාඩියක් අල්ලලා සරල ප්‍රොජෙක්ටරයක් හදපු හැටි උන්නැහේට තාමත් මතකයි.

ඒ කාලේ ඕක ලොකු වැඩක් උනාට මොකෝ, ඒ විදිහට හදන ප්‍රොජෙක්ටරයක අඩුපාඩු ගොඩක් තිබුනා. මේ ඒ අතරින් ප්‍රධාන එක තමයි සම්පූර්ණ රූපරාමුවම ඒකාකාරව ආලෝකමත් නොවීම. ඒ ඇරුනාම චලනය වන රූප ලබාගැනීමට නොහැකිවීමත් එකක් (එසේ කිරීමට නම් සංකීර්ණ යාන්ත්‍රික පටල ධාවන යන්ත්‍රයක් අවශ්‍යයි). ඒ වගේම ඒවායින් වීඩියෝ ප්ලේයරයකින් එහෙමත් නැත්තන් පරිගනකයකින් වාදනය කරන රූප රාමු කෙසේවත් බලන්න බැ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.

ඊට විසඳුම තමයි ඔය පහල රූපයේ තියෙන්නෙ.


 
කාචය හා ආලෝක ප්‍රහවය අතර පාරදෘෂ්‍ය පටලය ඇති තැනට LCD පැනලයක් තැබීම. මේ LCD එකට වීඩියෝ හා VGA පහසුකම් පවතින එකක් නම්, අපිට පරිගනකයකින් හෝ වීඩියෝ ප්ලේයරයකින් වාදනය වන රූප රාමු බලන්න පුළුවන්.

මේක තමයි සරල LCD ප්‍රොජෙක්ටරයක මූලධර්මය.

නමුත් මෙවැනි සරල ප්‍රොජෙක්ටරයකත් අර මුලින් කියපු, රූපරාමුව ඒකාකාරව ආලෝකමත් නොවීමේ ගැටලුව තියෙනවා. ඊට විසඳුමක් විදිහට අපිට සිද්ධවෙනවා fresnel කාච භාවිත කරන්න. ෆ්‍රෙස්නල් කාච කියන්නෙ පැතලි කාච විශේෂයක්.  ඒකෙ එක පැත්තක මධ්‍යයක සිට ඒක කේන්ද්‍රීයව පිටතට විහිදෙන ආකාරයට වෘත්තාකාර ඇලි (grooves) කපල තියෙනව තල උත්තල කාචයක (plano-convex lens) හැසිරීම ලැබෙන විදිහට. වැඩිපුර යමක් විකිපීඩියාවෙන් දැන ගන්න පුළුවන්.

මෙන්න මෙහෙමයි ෆ්‍රෙස්නල් කාච යොදා වැඩිදියුණු කරගත්තු ප්‍රොජෙක්ටරය. මේක තමයි අපි හදාගන්න ඕන එක.

 

මේ රූපසටහනේ ෆ්‍රෙස්නෙල් කාච දෙකක් යොදලා තියෙනවා. ඉන් එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්බය සාදා ගැනීමටත් දෙවැන්න LCD එක හරහා ගිය ආලෝකය නැවත එකතුකර ප්‍රක්ෂේපණ කාචයට යොමුකිරීමටත් භාවිත වෙනවා. ඒ බව රූප සටහනෙන් පැහැදිළි වෙයි.

ඔන්න දැන් කාටත් තේරෙන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ටික මෙන්න මේවයි.

1. ප්‍රමාණවත් දීප්තියකින් යුතු සුදුසු ආලෝක ප්‍රභවයක් (Light source)
2. ෆ්‍රෙස්නෙල් කාච දෙකක් (Fresnel lense) 
3. LCD පැනලයක් (LCD panel)
4. ප්‍රක්ෂේපණ කාචයක් (Projection Lense)
5. තිරයක් (Screen)
6. සුදුසු ආවරණයක් (Housing)


ඉවසීම පුරුදු නොකර මේ වගේ වැඩක් කරන්න අමාරු නිසා ඉතිරිය ඉදිරියට.... එතෙක් ඉවසන්න.

11/05/2010

උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය 2... ප්‍රොජෙක්ටරය

ගෘහස්ත සිනමා පද්ධතියක් යන්න බොහෝ දෙනෙකුගෙ සිහිනයක්. මූලිකව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන  උපකරණ කට්ටලයකින් සමන්විත වන මෙවැනි පද්ධතියක මිල සාමාන්‍යයෙන් ඉහල මට්ටමකයි පවතින්නෙ. එම මිළ මට්ටම පද්ධතියේ ප්‍රතිදානයේ (output) ගුණාත්මක භාවය, නිෂ්පාදන නාමය වැනි කාරනා මත රඳා පවතින අතර සමහර විටෙක එය මිලියන කිහිපයක් වුවද විය හැකියි. අධික මුදලක් වැයකොට උසස් තත්ත්වයේ පද්ධතියක් මිලදී ගත්තද එයින් නියම ප්‍රතිඵල ලැබීමට නම් ඒවා ස්ථාපනය කිරීමට සිනමා ශාලාවකට ඔබින අයුරින් විද්‍යානුකූලව සකස් කළ කාමරයක් හෝ ශාලාවක් අවශ්‍ය වෙනවා. මේ සඳහාද තරමක් ඉහල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. මේ ආකාරයේ අංග සම්පූර්ණ සිනමා නැරඹුම් පහසු කමක් තමන්ගේ නිවසට එකතු කර ගන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට සිහිනයක්ම වන්නට ඒ සඳහා දැරීමට සිදුවෙන අධික පිරිවැය මෙන්ම පාවිච්චියේදී හා නඩත්තුව සඳහා වැයවන අධික මුදලත් හේතුවක්.

නමුත් තාක්ෂණික දැනුමක් ඇත්තෙකුට තමන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි වෙළඳපොලේ ඇති පද්ධතියකට නොදෙවෙනි නැතහොත් ඊටත් වඩා  උසස් තත්ත්වයේ සිනමා පද්ධතියක් අඩු මුදලක් වැය වන ලෙස, තමා විසින්ම සකස් කර ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. ඒ සඳහා සම්පූර්ණයෙන්ම නොවුනත් යම් පමනකට අත්වැලක් සැපයීමට මා බලාපොරොත්තුවන අතර කාල වේලා ඇති ආකාරයට ලියැවෙන මීලඟ ලිපි කිහිපය ඒ වෙනුවෙන් වෙන් වනු ඇති.

මා මුලින් පැවසූ පරිදි, ගෘහස්ථ සිනමාවකට ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් හා දෘෂ්‍ය ප්‍රති නිෂ්පාදන පද්ධතියක් අවශ්‍ය වනවා. මේ පද්ධති දෙකම එකිනෙකට නොදෙවෙනි කාර්ය භාරයක් ඉ‍ටුකරනවා වුවද දෘෂ්‍ය පද්ධතිය මින් මූලික වන බවට විවාදයක් නැහැ.

තැටි හෝ පටි වාදන යන්ත්‍රයක් සමඟ ඈඳා ගත් දෘෂ්‍ය ප්‍රතිදානයක් ලබා ගත හැකි උපකරණයක් එනම් විශාල ප්‍රමාණයේ රූපවාහිනියක් හෝ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (projector) දෘෂ්‍ය පද්ධතියට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙයිනුත් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තමන්ගේ සිනමා ශාලාවට එක්කරගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. විශාල ප්‍රමාණයේ රූප රාමු සමඟ නියම සිනමා ශාලාවක අත්දැකීමකට සමීප වීමට එමගින් හැකියි.

මා විසින් සකස් කිරීමට නිම කිරීමට අදහස් කල පද්ධතිය සඳහාද යොදා ගැනීමට මා අදහස් කලේ ප්‍රක්ශේපන යන්ත්‍රයක් එසේත් නැතහොත් ප්‍රොජෙක්ටරයක්. වෙනසකට ඇත්තේ එම ප්‍රොජෙක්ටරය මාවිසින් නිවසේදීම සාදාගත්තක් වීමයි.

එය බහුමාධ්‍ය (multi media) ප්‍රොජෙක්ටර සඳහා භාවිත කෙරෙන ජනප්‍රිය LCD තාක්ෂණය මත පදනම් වූවක්. තවමත් විවිධ වෙනස්කම් සිදු කරමින් අත්හදා බැලීමේ මට්ටමේ පැවතුනද මේ වනවිටත් එයින් සතු‍ටුවිය හැකි මට්ටමේ සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා.

වෙළඳපොලේ ඇති ප්‍රොජෙක්ටරයන්ගේ මිළ අධික වීමත් ඒවා හදිසියකදී අළුත්වැඩියා කර ගැනීමට ඇති දුෂ්කරතාවත් නිසා පමනක් නොව මෙවන්නක් තමා විසින්ම එකලස් කර ගැනීමෙන් ලැබෙන තෘප්තියද හේතුවක් කරගෙන අතගැසූ මේ ව්‍යාපෘතියේ අද්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගන්නේ අවශ්‍යතාව ඇත්තෙකුට තමාටද එවැන්නකට අතගැසීමට පෙලඹවීමක් ඇති කරමිනුයි.

මීළඟ ලිපියෙන් අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ, ඒවා සොයා ගත් ආකාරය වැයවන මුදල පිළිඹඳව මෙන්ම මෙහි මූලධර්මය පිළිඹඳවද කතාකිරීමට බලාපොරොත්තු වෙනවා.

LinkWithin

Related Posts with Thumbnails