10/08/2015

හංස ගීතය


ගිනිගත්ත මල් ගහක පිපි එකම මල් ඉත්ත
අමාවක මහ රෑක ගෙන ගිහින් නෙලාගෙන
පෙති තළා බිම නොළා කොතැන හෝ පුදසුනක
පුදනු මැන පින් බිඳක්
මටත් සිත පහන් වී
අනුමෝදනා වෙන්න

………….

දරා ගෙන සිටි නමුදු කැකුළු හදවත කොණේ
පර උනා මිසක නෑ මලක් ඉන් පිබිදුනේ
වෙර දරා පුබුදු කළ කුසුම ඇයි අද දිනේ
ලොව පිපුණු තවත් එක මලක් පමණක් උනේ

………….

කල්පයක් කල් බලා ඉන්න සිදුවුණු දුකට
ගහ කොළට අමතකව යාවි මල් පුබුදන්න
හිරු සඳුට අවනතව පිපී පරවණු මිසක
කිසිවෙකුත් නෑ මෙළොව ගහට මල් පළඳන්න



4/01/2014

කුරා කුහුඹුවාගේ කවිය...





සත් මහලක් මත සඳළුතලේ සිට
කුරා කුහු‌‌‌ඹුවන් රෑණක් දුටුවෙමි
උන් ගේ කර මත නැගී පැමිණි මග
මැකී වියැකිලා යන සැටි දුටුවෙමි

පියෙන් පියට මතු මහලට ඇවිදින්
මග සිහිවී හැරී බැළූ සඳ
පියගැට පෙළ පාමුළ තනියට උන්
සඳකඩ පහණද එතැන නොදුටුවෙමි

කිරුළින් මැඩෙනා ඉහට උඩින් හිස්
අහස දිහා නෙත හරවා බැළුවෙමි
අනන්ත විශ්වය තුළ මග වැරදුන
කුහුඹුවකුම බව වටහා ගත්තෙමි


14/09/2010

9/19/2013

ආදරේ නැතුව ඇති...


නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට 
ආදරේ නැතුව ඇති





...............


2/02/2011

මගේ ලයිසොමට මොකද උනේ

දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ.  මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුප‍ටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ.  වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න.


මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. හදිසි අනතුරු , ධන හාණි විතරක් නං මදෑ නින්ද නොයෑම හිසරදය ආදී නොයෙකුත් අපල උපද්‍රව වලින් අඩුවක් නෑ. ඒ අස්සෙ අළුත්ම අලකලංචිය තමයි අළුත් කරන්න දීපු රියදුරු බලපත්‍රය තාම ලැබුණෙ නැති එක. 


අළුත් කරන්න කිව්වට ඒක අළුත් කිරීමක්ම නෙවෙයි. මොකෝ උන්නැහේට තිබුනෙ බරවාහන ලැයිසොමක්නෙ. ඒකත් උන්නෑහේගෙ ඕනකමට ගත්තු එකක් නෙවෙයි. උන්නැහේට ඔනෙ කරල තිබුණෙ හෑල්ලු වාහන ලයිසොමක්. ඔය එකදාස් නවසිය අනූ අටේ විතර මයෙ හිතේ... ඒ කියන්නෙ උන්නැහේ හොඳ කොල්ලා කාලේ. (දැන් නං එච්චර හොඳ කොල්ලෙක් නෙවෙයි.) ඔන්න ඒ කාලෙ උපෙ එහෙම කොරල ඉන්නකොට ලැයිසොං ගන්න කියල පොඩි ආසාවක් එනවනෙ කොල්ලන්ට. අන්න ඒ ආසාව ආපුවාම උන්නෑහෙත් ගියා හැමෝම හොඳයි කියන ලංගමේ රියදුරු පුහුණු පාසැලට කළුතර. ඕක තියෙන්නෙ කළුගඟ අයිනෙ හරිම ලස්සන තැනක .

ඔන්න ඉතින්  ඔය ස්තානෙට ගිහින් හිට ආපු කාරනාව එහෙම කියලා පෝරං කොල  පුරෝලා සල්ලි බඳින්න ගියාම එතන හිටපු මහත්තැන් කියපි

" ආ.. මේ උන්නැහේට උස එහෙමත් තියෙන එකේ දාන්න පුළුවන්නෙ බරවාහන... අපරාදෙනෙ මේ සැහැල්ලු වාහන ගන්නෙ"

ඕන්න එතකොට තමයි උන්නැහේට අර මොකාටද වගේ මොලේ පෑදුනේ. ඔය පුහුණු පාසලේ සැහැල්ලු වාහන පුරුදු කොරේ පරන ජීප් එකකින්. අර කොල පාට එව්ව තිබුනේ...අන්න එයින් එකක්. බර වාහන පුරුදු පුහුණු කොරන්නෙ ඉතින් තඩි බස් වලින් නෙව. ඒක නිසා උන්නැහේ ගොයියත්  කල්පනා කොරා බස් එකකිම්ම පුරුදු පුහුණු වෙන්න ඕනෙ කියලා. කවද එලවන්න ලැබෙන බස් දෑ. ගාන මට මතක විදිහට රුපියල් හාරදාස් අටසීයක් විතර.  ඒ කිව්වෙ අනුමත නිල ගාස්තු.. තව ඉතින් පුහුණු කරන මහත්තුරුන්නෙ එදිනෙදා වියහිදම එහෙමත් බලා ගන්න වුනා පුහුණුව කොරගෙන යන අතරතුර. ඒ කාලෙ හරි හරි වැඩ තමයි සිද්ද උනේ වෙලාවක් ආවෙඔත් එව්ව ටිකක් ලියන්න බලන්නෝනෙ.

කොහොමෙන් කොහොම හරි උන්නෑහේ වැඩි අමාරුවක් නැතිව බර වාහන ලැයිසොම ලැබුනා කියමුකො. අනේ එදා ඉඳලා අද වෙනකං එකම එක බරවාහනයක්වත් එලවන්න ලැබුණෙ උන්නෑහේට නෙවෙයි. ඒ වුනාට මොකෝ තුන් හතර වතාවක්ම ඕක අලුත් කරන්න නං සිද්ධ උනා. ඒක මලම වදයක්. නිවාඩු  දාගෙන නුගේගොඩ ගිහින් මැඩිකල් ගන්නයි, පොටෝ ගන්නයි, වැඩ කෝටියයි. ඉතින් මීට කාලෙකට කලින් ඉඳන් උන්නැහේට ඔනෙ වෙලා තිබුනා ඔය බරවාහන ලැයිසොම සැහැල්ලු වාහන එකක් බවට පත්කොරගන්න. අන්න එහෙම කොරගන්න කියල හිතල වේරහැර ගෙහුන් බාරදීප ලැයිසොම තමයි තාමත් නැත්තෙ.


අපරාදෙ කියන බැහැ වේරහැර ආයත්නෙ වැඩ ටික නං පංකාදුයි පිළිවෙලයි. උදේ නවයට විතර ගියමට තාවකාලික බලපත්‍රය ලැබුණා දොලහ විතර වෙනකොට. ඒ වෙලාවෙත් සෑහෙන පෝලිම. ඔක්කොම හොඳයි අර මොන්කද්ද එක නරකයි කිව්ව වගේ, ඔක්කඔම වෙලාවට කලාවට සිද්ධ උනාට තාම ලයිසොං කාඩ් එක තැපෑලෙන් ආවෙ නම් නෑ.


බරපතලම ප්‍රශ්නය තමයි අර එදා මාසෙක කාලයකට දීපු තාවකාලික ලයිසොම තව දෙදොහකින් අවලංගු වෙන එක.  හෙට දිහාට ආපහු ගිහිල්ල බලන්නත් හිතයි වේරහැර පැත්තෙ.


මෙහෙම දේවල් වෙච්ච ඇත්තො ඉන්නවනං කියමු බ්ලන්න සාමන්‍යෙන් කොච්චර කාලෙකින් විත ලයිසොම ගෙදෙට්ට එනවද කියල.... උන්නෙහැගෙ හිත හැදෙන්නත් එක්ක.

12/02/2010

උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!!

උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය කාර්යය බහුල වෙලා ඉන්නවැයි කීවෙ. ඒ විතරක්යෑ, අර ප්‍රොජෙක්ටර් ව්‍යාපෘතිය... ඒක ඉවරකොරන්නත් තියෙනව. ඒ වුනාට ඒ දිහා බලන්නවත් වෙලාවක් හම්බවුණේ නෑ මේටිකේ. කොහොම හරි ඒ වැඩෙන් අළුත් කියවන්නන් පිරිසක් "පිලේ පැදුර"ට එකතු වුණා. ඒ අතරෙ පරණ යාලුවො ටික මේ පැත්තෙ එන එක අත ඇරලද මන්දා.

ඉතිං මං කියන්න හිටියෙ ... අර අලුත් ප්‍රොජෙක්ට් එකේ මූලික වටයේ සාකච්ඡා එහෙම මේදවස් වල බරටම පැවැත්වෙනවා. සේවා දායකයින් එක්ක, තව... සැපයුම් කරුවො එක්ක ඒ වගේම සැලසුම් ශිල්පීන් එක්ක එහෙම. මේ ගොඩක් දෙනෙක් විදේශිකයින්. ඒ අය ආවම අඩුම තරමේ දවස් දෙකක් නම් මෙහෙ ඉන්නවමයි. එතකොට ඒ දවස් දෙකේම, උදේ ඉඳන් රෑ වෙනකං මීටින් මීටින්.

 ඔන්න ඔය විදිහට ජපානෙන් ආපු සැපයුම් කරුවො පිරිසක් එක්ක ඊයෙ පෙරේද තිබුණා මීටිමක්. ඒක තිබුණෙ ආයතනයෙම වෙන දෙපාර්තමේන්තුවක. ඉතින් උන්නැහේත් මේ ව්‍යාපෘතියෙ කොටස් කාරයෙක් හින්දා මීටිමට සහභාගී වෙන්න කියලා කැඳවීමක් ලැබුණා. ජපන් මහත්තුරු දෙන්නයි අර දෙපාර්තමේන්තුවෙ ලොකු මහත්තයයි එක්ක අපි ඔක්කොම හතරයි. උදෙන්ම පටන්ගත්තු මීටිම බොහොම සාර්තකව සාමකාමීව දහයාමාර විතර වෙනකං පැවැත්තුනා. මෙන්න මෙහෙම.



අපි ප්‍රශ්න අහනව ඒගොල්ල උත්තර දෙනවා...ඒ ගොල්ල අහනවා ඒතකොට අපි උත්තර දෙනවා...ඒ කියන ඒවා කොලවල ලියා ගන්නවා. සමහර උපකරණ වගේ ඒව ඒ ගොල්ල දෙන්න බෑ කියනවා... එතකොට අපි ඒවා ඕනෙමයි කියනවා. ඒ ගොල්ල ඊටපස්සෙ කල්පනා කොරනවා... ජපං බාසාවෙන් මොනවදෝ කතා වෙලා ... හා එහෙනං දෙන්නං කියනවා. ඔන්න ඔහොම වැඩේ නැගලම ගියා.

දහයාමාර විතර උනා... කම්මැලිත් වගේ... එතකොට තමයි දෙය්යනේ ඔන්න ඔය විපැත්තිය සිද්ධ වුනේ.


හොඳට මීටිමට අවධානය යොමු කරගෙන හිටපු උන්නැහේ හදිස්සියෙම අමුත්තක් තේරිලා වටපිට බලන කොට තමයි දැක්කෙ වාඩිවෙලා හිටපු පු‍ටුව කෑලි දෙකයි...පු‍ටුවෙ හිටපු එකා බිම.






කවුද දෙය්යනේ පු‍ටුවක වාඩිවෙනකොට ඒක කඩං වටෙයි කියලා හිතාගෙන වාඩිවෙලා ඉන්නෙ. හොඳට බරදාලා පහසුවෙන් වාඩිවෙනව මිසක්. ඉතින් එහෙම වාඩිවෙලා ඉන්න වෙලාවක ඒ ඉරියවුවෙන්ම බිම පතබෑවුනාම ... හිතාගත්තෑකි නේද?
දැන් ඉතින් මොනා කොරන්නද, වැ‍ටුනනං නැගිටිනවා මිසක්. මගෙ කරුමෙට ඒ පු‍ටුව කලින් කැඩිලා රෙපයාර් කල එකක් වෙච්චි! සෝක් රෙපයාර් කෙරිල්ල හැබෑට. ඉතින් උන්නැහේත් මොකුත් නොවිච්ච ගානට නැගිටලා හිටං අලුත් පු‍ටුවක වාඩිවෙලා මීටිම දිගටම කොරගෙන ගියා.


හැමෝටම හරි සතු‍ටුයි ...මොකෝ ...බැරිවෙලාවත් අර ජපන් මහත්තයෙක් වැ‍ටුනානං හේම ගිනි විජ්ජුම්බරයයි නෙව. එහෙම උනානං ඉතින් කට්ටිය ලංකාව ආපහු අර අනතුරු දායක කලාපයක් කියල නම් කොරල හිටං මේ පැත්තෙ පස් පාගන්නෙ නැතුව ඉඳීවි. උන්නැහේට මොනව උනත් මොකෝ ඌ ගෙදර එකානෙ.

උන්නැහේටත් සතු‍ටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ...

ඒ වෙලාවෙ එච්චර අමාරුවක් නොවුණාට මොකෝ දැන් නම් කොන්ද හොල්ලන්නවත් බෑ රිදෙනවා....

උන්නැහේ කාටවත් වැ‍රැද්දක් කියන්නෙ නෑ. පු‍ටුව රෙපයාර් කල එකත් හරි ... නැතිබැරි කමටනෙ දෙය්යනේ එහෙම කලේ. වාඩිවෙන එකාගේ වගකීම තමයි තමුන් කොහෙද වාඩිවෙන්නෙ කියල හොයල බලල වාඩිවෙන එක. නැද්ද මං අහන්නේ...?? දැන් ඉතින් විඳවපං.. සාදු හොඳ වැඩේ.!! හූ හූ...!!!

පවු අප්පා !

LinkWithin

Related Posts with Thumbnails