4/06/2010

මහ ඡන්දෙත් කිට්‍ටු කිට්‍ටු... එරබදු මල් මොට්‍ටු මොට්‍ටු...

සුළැඟිල්ලෙ උළපු සායම් ටික යන්තං මැකිල ගියා විතරයි ආයෙමත් ඡන්දයක්...

අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය...

ජයවේවා... ඒ දවස එනකං මං ඉන්නෙ ඇඟිලි ගැන ගැන...

කළාතුරකින් ගමේ යන මට කාගෙවත් කිසි විරුද්ධත්වයක් ආඩම්බරයක් නොබළා  මුළු දවසක්ම ගමේ ගෙදර ගිහිං නිදහසේ ඉන්න පුලුවන් හින්ද මිසක් වෙන දේකට නෙවෙයි...

මුළු රටම ඡන්දශ්‍රීයෙන් ඇළලිලා...
මුළු පරිසරයම නේක වර්ණයෙන් බැබලෙනවා...

ඒ වුණාට මිනිස්සුන්ගෙ මූණු ඇකිළිලා... ළඟ ළඟම එන සිංහල අවුරුද්ද ගැන වත්... අඩුම ගාණෙ  ඡන්දෙ ගැනවත්  කිසිම උනන්දුවක් නැති ගානයි.
සිංහල අවුරුද්ද හින්ද ඡන්දෙ ගැන තියෙන උනන්දුව අඩුවෙලාද එහෙමත් නැත්නම් ඡන්දෙ නිසා සිංහල අවුරුද්ද ගැන කල්පනාවක් නැතිවෙලාද මන්දා...
සමහර විට ඒ දෙකම නොවෙන වෙනම කාරණාවක් හේතු කරගෙන ඔය දෙක ගැනම සංවේදී බවක් නැති වෙලාද කියලත් හිතෙනවා...

වෙනදා මේ කාළෙට එළිබහින කොහා වුණත් මේ පාර සයිලන්ස් ගහල වගෙයි ඉන්නෙ. ඉන්නවද මළාද නැහැ....සමහර විට ඡන්දෙන් පස්සෙ එලියට එයි.

ඒව වෙනම කාරණා...

බක් මාසෙ එහෙම නැතිනම් භාග්‍යමත් වූ බග් මාසෙ පවත්වන්නෙ අපේ ජාතික සැණකෙලිය. ඒක කෘෂිකාර්මික දිවි පෙවෙතත් එක්ක බිහි වුණු, ඒ හා බද්ධ වුන සිරිත් විරිත් සමුදායකින් යුක්ත සංස්කෘතික අංගයක්.  ඒකටම ජ්‍යොතිෂමය කාරණාවකුත් එකතුවෙලා තිබීමෙන් එහි අර්ථය තවත් පුළුල් වෙනවා.

අද දවසේ කෘෂිකාර්මික ජීවන රටාවකින් ගොඩක් දෙනෙක් ඉවත් වෙලා හිටියත්, අවුරුද්ද සමරන්නෙ ඇයි කියල ප්‍රශ්න කරන්නෙවත් ඒක සමරන එක අත්හරින්නෙවත් නැත්තෙ දීර්ඝ කාලීනව ඒ හා බැඳී සිටීමෙන් අපේ ජාන වලටම ඒක කාවැදිල නිසා වෙන්න පුළුවන්. එතැනදී අපි කරන්නෙ තාවකාලිකව පැය කිහිපයකට පමණක් හරි අපේ මුතුන් මිත්තන් ගේ ජීවිත වල එදිනෙදා අංග වෙලා තිබුණු දේවල් අනුකරණය කරන්න උත්සාහ කරන එක. ඒවයෙ තරමක් කෘත්‍රිම බවක් තිබුණත් සුන්දරයි.

අපේ අවුරුද්දට "සිංහල" අවුරුද්ද කියල කියන්න ගත්තෙ සමහරවිට සුද්දගෙ අවුරුද්දත් අපි සමරන්න පටන් ගත්තට පස්සෙ වෙන්න පුළුවන්.  නිකම්ම අවුරුද්ද කියළ ඊට කළින් හඳුන්වපු අපේ අවුරුද්ද සුද්දගෙ අවුරුද්දෙන් වෙන් කරගන්න "සිංහල"කියන විශේෂණය ඉස්සරහට දාන්න ඇති හරියට අපේ වෙද මහත්තුරුන්ගෙ බෙහෙත් සුදු මහත්තුරුන්ගෙ බෙහෙත් වලින් වෙන් කරගන්න සිංහල බෙහෙත් කියන්න පටන් ගත්ත වගේ.

කොහොම හරි අවුරුදු කන්න කළින් ඡන්දෙ දාල ඉන්න ඕන නෙ.  මනාප තුන දෙන්න තාම මහත්තැන්ල තුන දෙනෙක් හොයා ගන්න බැරි උණා. සමහර විට කවදාවත්ම බැරි වෙයි. ඒ උණාට කවුරු හරි උත්තමයෙකුට කීයක් හරි හොයාගන්න උදවු කරල රටේ ‍රැකියා වියුක්තිය එක ඉලක්කමකින් හරි පහළ දාන එක මහාර්ඝ පුණ්‍ය කර්මයක් නෙවෙයිද...

ඡන්දෙ ගැන කිව්වම මතක් වෙන්නෙ පන්සල.
අපි දහම් පාසල් ගිය, සල්පිල් පවත්තපු, භක්තිගීත ප්‍රසංග තියපු... සිල් ගත්තු ඊටත් වඩා හවසට ඩිංගක් ගිහිල්ල හිත නිවාගෙන ඉඳල ආපු පන්සල...

ඡන්දෙ දාට පන්සලේ අමුතු වෙසක්. පංසල තමයි ගමේ ඡන්ද මධ්‍යස්ථානය...අල්ලපු වැටේ ඉස්කෝලෙ තිබුණට ඒකෙ පහසුකම් මදිලු...

 රාලහාමිලා ඇවිල්ල එදාට පන්සල ඒගොල්ලන්ගෙ යටතට ගන්නව. ගිනිඅවි මානගෙන බෝ මළුවෙයි ධර්මශාලව ඇතුලෙයි... තඩි බූට් සපත්තුත් දාගෙන...
අපි කවදාවත් සෙරෙප්පුවක් දමාගෙන ඔය තැන් වලට යන්නෙ නෑ. 
මගෙ හිතට නම් හරි නැහැ...මෝඩකම වෙන්නැති...

මටනම් හිතෙන්නෙ පූජනීය ස්ථාන ඔයවගේ වැඩ වලට පාවිච්චිකරන්න හොඳ නැහැ...අපේ හාමුදුරුවන්ට ඔය වැඩෙන් හම්බවෙන රුපියල් හත්සිය පනහෙන් ඇති වැඩේ මොකද්ද මන්දා... ඒක ගන්නත් මාස ගානක් රස්තියාදු වෙන්න ඕනිලු.

අනේ මන්දා...

අවුරුදු කටේ හිතට එන විකාර ටිකක් ඔන්න ඔය විදිහට අපිළිවෙලට ලියල දාන්න හිතුණ... කවුරුහරි කියවන්නෙ නැතෑ කියල හිතාගෙන..


...



1 comment:

  1. කියෙවුවා කියෙවුවා. :)
    මෙදා පාර නම් ඡන්දෙ දාන්න යන්න කම්මැලියි වගේ.
    අවුරුද්දෙත් දැන් ඉස්සර තිබ්බ ගතිය දැනෙන් නැහැ. අපි වයසට පත් වෙන නිසාද එහෙමත් නැත්නම් අලුත් අවුරුද්ද වෙනස් වෙලා නිසාද කියල නම් දන්නෙ නෑ.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails