5/05/2010

ඇඩ්ඩිං හා බයිසිකලය

කරෝලිස් මුදලාලි ගජ පෝසතා. උස්සාහයෙන් දියුණු පවුණු වෙච්ච මනුස්සය. ඔය කොහු මෝල්, ලී මෝල් අර මෝල් මේ මෝල් වලට අමතරව මුරේකට ලස්සෙක හමාරක පොල් කැඩෙන වත්තකුත් තිබුණා කළුවමෝදර පැත්තේ. මිනිහගෙ වෙළඳ වියාපාර කටයුතු  කරගෙන යන්න උදවුවට  ලඟකදි ගත්ත විශ්වාසවන්ත ඉලංදාරියෙක් , නම ඇඩ්ඩිං. උදව්වුවට කිව්වට මිනිහ කරන්නතිබුණේ මුදලාලිගෙ පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන එකයි ගමන් බිමන් යනකොට ආරස්සාවට පස්සෙන් යන එකයි තමයි.


ඉඳල හිටල මුදලාලිට ඔය බුලත් විටක් ඒදන එක වගේ වැදගත් වැඩත් මිනිහගෙ අතින් සිද්ධ වෙනවා..


ඇඩ්ඩිං ගෙ සේවාකාලය එච්චර දිග එකක් නොවුණට ඒ ටික කාලෙට මුදලාලිට මිනිහව හොඳට හිතට අල්ලල ගිහින් තිබුණා.


" කලිං හිටපු වසවර්තිය වගේ නෙවෙයි මූ අහිංසකයා..." එහෙම තමයි කරෝලිස් මුදලාලිගෙ රෙකමදාරුව... මොකෝ කලිං හිටපු සවුම්යසිරිය මුදලාලිගෙ සල්ලි පොට්ටනියකුත් අරං වහංගු උණානෙ.


ඇඩ්ඩිං එක්ක තමයි කරෝලිස් මුදලාලි හැමතැනකම යන්නේ. හරිම කීකරු මනුස්සය හරියට අපේ ඔපීසියෙ පීරිස් වගේ. මුදලාලි මොනව හරි දෙයක් කිව්වොත් ආයෙ ඒවයෙ ඉස්පිල්ලක් පාපිල්ලක් අත නෑර අකුරටම පිළිපදිනවා.


ඔන්න දවසක් මුදලාලි හදිස්සියෙන්ම ඇඩ්ඩිංට කතාකරා


"ඇඩ්ඩියෝ මෙහෙවරෙං..."
"එනව මුදලාලි..." ඇඩ්ඩිං සු‍ටුස් ගාල මුදලාලි ඉස්සරහ.
" මේ දවස් වල කළුවමෝදර ඉඩමේ පොල් ටික කැඩෙනවනෙ... උඹ බයිසිකලෙත් අරං විජාන්ට ගිහින් බලාගෙන වර පොල් කැඩුං කාරයො කීදෙනෙක් ඉන්නවද පොල් ගෙඩි කීයක් කැඩිලද  කියලා... නැහ්නං ඕකුං බොරුවට ගණං මිණුං දාල මගේ කනෙනුත් රිංගයි..."


කළුවමෝදරට මුදලාලිගෙ ගෙදර ඉඳන් හැතැම්ම හත අටක් තියෙනව. සවුම්යසිරියට  ඕක බයිසිකලෙං පැයක හමාරක විතර ගමනක්. මොකෝ කඳු පල්ලං එහෙමත් තියෙන පාරක් නෙ.
"සුණංගු වෙනව එහෙම නෙවෙයි මට තව ගමං කීපයක්ම යන්නත් තියෙනව... ගියා විස්තරේ බලා ගත්තු ගමං අනිප්පැත්ත හැරිල වරෙං.." මුදලාලි එහෙම කිව්වෙ සමහරවිට අනිත් පැත්ත හැරිල කියල නොකිව්වනං මේකා රිවෙස් එකේම එන්නත් බැරි නැහැ... එහෙවු පුතෙයා..


ඔන්න ඉතිං ඇඩ්ඩිං බයිසිකලෙත් අරන් පිටත් උනා...
පැයක් හමාරක් ගියා මේක නෑ....
මුදලාලි දැන් මේකා එයි ...දැන් මේකා එයි ...කිය කියා බලාන ඉන්නව, තව ගමන් කීපයකුත් තියෙනවනෙ..


පැය දෙකක් ගියා.. තුනක් ගියා ම්හු.. ඔහෙ නෑ.


"මේකා පැනල ගියා වද්ද බයිසිකලෙත් අරං.."


"සමහර විට බයිසිකලේ උගස් තියල පිචැර් එහෙකටවත් ගියාද කියන්න බැහැ..."


නොයෙක් අදහස් එහෙං මෙහෙං එනවා..


කොහෙද ඒකාලෙ ඉනේ ගහගෙන යන ටැලිපෝන් තිබුණයැ... මොකද වුණේ කියල බලන්න...


කරන්න දෙයක් නැහැ කීයට හරි එන වෙලාවක  එන්නැතෑ කියල මුදලාලිත් ඔන්න ඔහේ හිටියා...
ගමන් බිමන් වැඩ කටයුතු ඔක්කොම අඩාලයි...


ඔන්න ඔහොම ඉන්න කොට හවස් උනා.. ඇඩ්ඩිය තාම නැහැ.


ඇඳිරි වැටීගෙන එනකොට ඈතිං පේනව මෙන්න මේක එනවා.... බයිසිකලෙත් තල්ලු කරං..


" ‍තෝ.. මෙච්චරවෙලා කොහෙ මකබෑ උණාද බොල!!!.. දැන් බලපිය වෙලාව කීයද කියලා"  ළඟට ආපු ගමන් මුදලාලි කඩං පැන්න


"මුදලාලි මම මේ තාම එන ගමන්......"


" මට පේන ව බොල ඒක!"


ඇඩ්ඩියට පාං කියාගන්න බෑ ඉහිං කනිං දාඩිය පෙරෙනවා... බලන්න දුකයි...

 


" අනේ මුදලාලි... මේ බයිසිකලේකුත් තල්ලුකරං එන්න උනේ නැත්තං මං දහ ගමනක් ඔය ගමන් ගෙහුං ඇවිත්...." ඇඩ්ඩිං අඬන්න වගේ....හති හලහල  කෙඳිරි ගානවා.


" ඇයි බොල බයිසිකලේට මක් උණාද... ඇයි ‍තෝ ඕක තල්ලු කරං ආවෙ..."


"අනේ නෑ මුදලාලි මඩවලවල් තියෙන තැන් වල දි මං තල්ලුකරං ගියේ නෑ කරටගත්තා....අපරාදෙනෙ... මඩ  ගාව ගන්නේ..."


"ඇයි හරකො ‍තෝ ඕක පැදගෙන නෙවෙයිද ගියේ...?!!!"

" අනේ මුදලාලි... ඉතිං මට ... බයිසිකල් පදින්න බෑනේ..."

....




මේක පරණ කතාවක් . මට මේක මතක් උනේ මේ වගේම වැඩක් අපේ පීරිසුත් අද කරපු වෙලේ.












....

7 comments:

  1. එල කතාව උන්නැහේ. හිටුංකො මම මේක මූණු පොතේ දාන්න

    ReplyDelete
  2. අලුත්ම ප්‍රස්ථාව පිරුළ 'ඇඩ්ඩි0 බයිසිකලෙන් ගියා වගෙ.' නියම කතාවක්නෙ.

    ReplyDelete
  3. @ තරිඳු
    හොඳයි හොඳයි දාපංකෝ ඔය මොකක් හරි පොතක....
    තැංකිව් මචං

    @Ano
    :-D

    @isimbuwa
    (hikz) අම්මප මරු ප්‍රස්තාව පිරුල...ඕක ටොපික් එකට දාන්න තිබුනා කලිං කිව්වනං.. තැන්කිව් එහෙනං

    ReplyDelete
  4. පීරිසා කොරපු හරියත් කියන්න තිබුණ නොව..

    ReplyDelete
  5. සිරුවෙන් මරුවට
    මේ ඉලංදාරියාටනම් බයිසිකල් පදින්න පුලුවන්....

    එල කතාව...මරු.......

    ReplyDelete
  6. @ Outsider - පීරිසා කරපු වැඩෙත් ඔය වගේම තමයි. හුලං බහින බව දැන දැනත් මේකා බයිසිකලෙන් ගෙහුං හිට, ආවෙ නැතෑ තල්ලු කරං දාඩිය පොලු දාගෙන, බඩුත් පටෝගෙන . මොකෝ ඌට බොස් කියල බයිසිකලෙන් යන්න කියලා...

    @ ඉලංදාරියා.
    හොඳයි... හොඳයි...! හැබැයි ඉලන්දාරියෝ එන වේගෙන්ම පෙරලෙන්නේ නැතුව බයිසිකලේ නවත්තගන්න පුළුවන් වෙන්නත් ඕනේ....!
    ;-)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails