5/17/2010

පිටෙන් ලේ ගලන ලෙඩේ...

අදත් දවසෙම වැස්ස...
වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ.  ඒකත් වෙලාවකට හොඳට හිටිනව.
සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්.

"වැස්ස එක අතකට සුන්දරයි ... හරිම රොමෑන්ටික්" සමහරු එහෙම කියයි. හොඳට කුස පිරෙන්න දුම දමන කෑම වේලක් ගිලදාල ...උණුසුම් පොරෝණයකට ගුළිවෙලා එහෙමත් නැත්තං උණුසුම් කබායක් දවටගෙන උණුසුම කරපු කාමරයකට වෙලා ඉන්න කෙනෙකුට එහෙම හිතෙන එක ගැන වරදක් කියන්නත් බැහැ. ඒත් මහ මග කාගෙ හරි අගුපිළක එහෙමත් නැත්තම් යන්තං ඉටිකොළයක් පොල් අත්තක් දෙකක් අහුරගත්තු නිවසක ඉන්න කෙනෙකුට අද වගේ දවසක මොනවා හිතෙනව ඇද්ද?... කුළියක් මලියක් කරල කීයක්වත් හොයාගන්න නැතුව අද දවසෙ කීදෙනෙක් බඩගින්නෙ ඇතිද?... එකම සුදු ඇඳුම වෙලගන්න බැරුව දරුවො කීදෙනෙක් අද ඉස්කෝලෙ නොගිහින් ඇතිද?....

යමරෙට විදුලි කොටනව... server ඩවුන් කරල වැඩක්  කරන්න හැටියක් ඇත්තෙත් නැහැ. ඒ පාර හිතුව මොනව හරි ලියල දාන්න. ලියන්න දෙයක් හිතට එන්නෙත් නෑ... කවියක් ... ම්හු! හරියන්නෑ... මේ හෙන ගහන වැස්සෙ මොන කවිද?!!
කතාවක්... ම්ම්ම්... බලමු...

කළින් පෝස්ට් එකක දාපු අපේ යසපාල මහත්තයට අමතක වීම නිසා වෙච්ච ඇබැද්දිය ගැන ලිව්ව කතාව මතකයිනෙ? ගොඩක් දෙනෙක් ඒක කියවල තිබුණා... කීපදෙනෙක් අදහස් දක්වලත් තිබුණා. මේ කතාවත් යසපාල මහත්තයගෙ සුප්‍රකට අමතක වීම් සමුදායෙන් එකක් ගැන.  එච්චරටම සිරා එකක් නොවුණට ඔන්න ඔහෙ ලියළ දානව ඕන එකක් කියළ...

මුළින්ම කතාව කියන්න කළින් ඒකට ගැළපෙන චිත්තරයක් ඇඳගන්න ඕන මේ සැරේවත්.  මොකද නැත්තං හැමෝම කතාව කියවල ඉවරවෙලා මාසයක් විතර ගියාම තමයි ඕං ඒකට චිත්තරේ එක්කහු කොරන්න වෙන්නේ.

ඕං ඉතින් මේකයි කතාව...

මේ සිද්ධිය වුණේ මීට අවුරුදු පහහයකට උඩදි. ඒ කියන්නෙ යසපාල මහත්තයගෙ පුත්‍ර රත්නය රට රස්සාවට යන්න කළින්.  ඔය සුළු සුළු ප්‍රශ්න ඇති කරගත්තට යසපාල මහත්තයයි එයාගෙ නෝන මහත්තයයි බොහොම සමගියෙන් විහිළුවෙන් තහළුවෙන් තමයි ජීවිතය ගෙනියන්නෙ. වෙලාවකට මිනිහ කියන ඒවට අපිට උණත් බඩ අල්ලගෙන බිම පෙරලි පෙරලි හිනාවෙන්න වෙන වෙලාවල් තියෙනව. 


දවසක් ජෝඩුව දවල්ට කාල එහෙම ඉවරවෙලා කයියක් දාගෙන සාලෙ දිහාට ඇවිදගෙන එන අතරෙ යසපාල මහත්තය කියාපු මොකද්දෝ කටකැඩිච්ච කතාවකට නෝන මහත්තයට එක පාරටම බකස් ගාල හිනාගියා. වෙලාව කියන්නෙ එයා ඒවෙලාවෙ හිටියෙ වතුර වීදුරුවත් අරන් වතුරබිබී. කරුමෙට වතුර ටික පිට උගුරෙ ගියා.... හුස්ම ගන්න බැරි වෙන තාලෙට. ඇස් දෙකෙන් කඳුලුත් පැනල. තත්වය හයානකයි කියල යසපාල මහත්තයට තේරුණා.

මිනිහ මොකද කලේ... පැනපු ගමන් අල්ල ගත්ත නෝනව තඩිබාගෙන ගියේ නැතෑ පිට මැද්දෑවට.  මෙන්න මෙහෙම



ඔහොම තුන් හතර වතාවක් තඩිබාන කොට යන්තං පිට උගුරෙ ගිය වතුර ටික කොහෙන් කොහෙන් හරි ගිහිල්ල නෝනට හුස්මක් කටක් ගන්න පුළුවන් තත්වෙට ආව... 


එතකොට තමයි වැඩේ දරුණු අතට හැරුණෙ ... නෝනගෙ පිට මැද්දේඑකම ලේ විලයි. පිටෙන් ලේ ගලනව. මල කෙලියයි. 


යසපාල මහත්තය හොඳටම බයවුණා.

කොච්චර බය උනාද කිව්වොත් මිනිහට කෑගැස්සුනා.

"මෙන්නෝ .... කවුරුත් නැද්දෝ...නෝනට මොකද්ද වෙලෝ හොඳටම අමාරුයි... පුතේ... සුමනෝ....ඉක්මණට එන්නෝ..."  කියල මිනිහ මහහඬින් විලාප තියන්න ගත්ත. 


නෝනත් හොඳටම බයවෙලා පිටෙන් ලේ ගලනව කිව්වම ඉතින් බයවෙන්නැතෑ. මේ සද්දෙ ඇහිච්ච පුත්තරයයි කුස්සියෙ වැඩ කර කර හිටපු සුමනයි විතරක් නෙවෙයි අල්ලපු ගෙදර නෙවිල් මාමයි තව කීප දෙනෙක්මයි එකතුවුණා.
 

වැඩේ හරිම බරපතලයි... හොඳටම ලේ ගලනව. ඇඳන් හිටපු ඇඳුමත් තෙත්වෙළා...ඒ මදිවට බිමත්...

යසපාල මහත්තය මහා වරදක් කරපු එකෙක් ගානට බයවෙළා ඇයි ඉතින් එයා පිටට තඩිබාල නෙව මේ විපත සිද්ද උණේ.

"අනේ පුතේ අම්මව අපි ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියමු... "

"ඉක්මනට බලා ඉන්න හොඳ නෑ කවුරුහරි දුවල ත්‍රී වීල් එකක් අරන් ආවනං හරි..." නෙවිල් මාමත් ඒකට කැමති උණා.. කොල්ල දිව්ව ත්‍රීවීල් එකක් හොයන්න. ඒ දවස වල යසපාල මහත්තයගෙ කාර් එක තිබුණෙ නෑ.

"සුමනෝ ඉක්මනට ලෑස්තිවෙයං ඉස්පිරිතාලෙ යන්න..." සුමනත් ලෑස්තියි.

විණාඩි දෙකෙන් ත්‍රීවීලරය ආව..

"හරි එහෙනං අම්මමව පරිස්සමෙන් නග්ග ගමු පුතේ සුමනො අල්ලපං..."

මෙන්න බොලේ එකපාරටම ලෙඩා මහ හයියෙන් හිනාවෙන්න පටං ගත්තා.... අර ඉස්සෙල්ල වගේ... මෙලෝ සිහියක් නැතිව හිනාවෙනව හිනාවෙනව...ඉස්පිරිතාලෙ යන්න අදසක් නැහැ වාගෙ.

යසපාල මහත්තය හිතුව දැන නං තත්වෙ හොඳටම බරපතලයි තවත් නං බලබලා ඉන්න හොඳනැහැ කියල...

" අනේ ... ඉක්මං කරල යමු ඉස්පිරිතාලෙට ඔයාට හොඳටම අමාරුයි" කියල නෝනව පටවන්න හදනව ත්‍රී වීලරේට.

"මම නෙවෙයි මනුස්සයෝ ඔහේ ගිහින් ඔය තුවාලෙට බෙහෙත් දාගෙන එනවා... අපරාදෙ මගෙ ඇඳුම...!"
මොකක් කියපි

හැමෝම උඩ බිම බැළුවා...


ඕං එතකොට තමයි යසපාල මහත්තයට මතක් උනේ ඊයෙ වත්තේ වැඩක් කරද්දි ඇඟිල්ලක් තුවාල වෙලා බෙහෙත් දමාගෙන ආපු බව.
ඒ තුවාල වෙච්ච අතින්ම නෙව නෝනගෙ පිට මද්දෑවට තඩි බාල තියෙන්නෙ...ඉතින් තුවාලෙ අයෙ පෑරිලා ලේ ගලල.

ඒක මතක් උණාට පස්සෙ තමයි මිනිහට අතේ වේදනාව දැනෙන්න ගත්තෙ.

අර ත්‍රීවීල් එකෙන්ම ගිහිල්ල ආපහු තුවාලෙට බෙහෙත් දමාගෙන එන්න තමයි අන්තිමට සිද්ද උනේ

22 comments:

  1. හ්ම්....... හිනා වෙයනට වඩා දෙයක් මෙතන තියනව වගේ... යසපාල මහත්තයගේ ආදරේ තරම බලන්න....

    ReplyDelete
  2. අයියෝ යසපාල අන්කල්

    ReplyDelete
  3. හනේ හනේ උන්දැගේ...ඊයෙනම් මට පෙනුනේ පින්තූරය විතරයි. මම මඤඤං වෙලා උන්නේ මොකද්ද මේ කියලා..හොදට හිටී ඔහොම හැහුවොත් නේද ?

    යසපාලගෙ ආදරේ කෙසේ වෙතත් අර මනුස්සය යහතින් ඉන්නවා පුදුමයි

    ReplyDelete
  4. @ wath
    ඔන්න ඔයා විතරයි මානුශීය කෝණයකින් මේ සිද්ධිය දිහා බලල තියෙන්නෙ

    ReplyDelete
  5. @ චතුරංග රූපසිංහ
    :D :D :D :D

    ReplyDelete
  6. @ දිල්
    අන්න හොරේ අහු උනා... ඒ කියන්නේ ඊයෙත් ඔයා මේ පැත්තෙ ඇවිත් ගියානේ...?
    පොඩි අවුලක් වෙලා ඊයෙ පින්තූරෙ විතරක් කළින්ම දැම්මනෙ.
    ඒක නෙවෙයි අර මඤඤංද මොකක්ද්ද එක දැන් සුවයිද?

    අර කවි මඩුවෙ කවි (වගේ ඒවා ; p) පන්සිය ගානක් ලියල තිබුණා දැක්කා. සුබ පැතුම්!

    ReplyDelete
  7. @ ``` Outsider```

    තැන්කූ මිත්‍රයා

    ReplyDelete
  8. හික් හික් හික්.... පව් අප්පා ඒ මනුස්සයා..

    ReplyDelete
  9. හප්පේ තඩිබානව කියල ඔහොමත් තඩි බානවද?

    ReplyDelete
  10. බොලේ හැබෑටම, උන්නැහේමදෑ ඔය චිත්තරේ ඇන්දෙ ඈ? හරි අපූරුයි නොවැ. කතාව වගේම. අපිටත් හදිසියකට out source කොරගන්ට පුළුවං වේවි මයෙ හිතේ

    ReplyDelete
  11. @Praසන්ன
    භාෂා තුනම පාවිච්චිකරන වගේ...
    හොඳයි හොඳයි ... තැන්කූ මේ පැත්තෙ ආවට

    ReplyDelete
  12. @ පිස්සා පලාමල්ල

    :D :D :D :D
    ඔවු බං හිත හො‍ඳ මනුස්සයා

    ReplyDelete
  13. @ ගයාන් තාරක
    ඔය අාදරේටලුනෙ ඔහොම කරන්නෙ

    ReplyDelete
  14. @freedom

    MS Paint වළට පිං සිද්ධ වෙන්න යංතං බළි කුරු‍ටු ටිකක් ඇඳ ගත්තා. ඔය පල්ලෙහා පෝස්ට් වලත් දෙකතුනක් ඇති. අගය කිරීමට ඉස්තූතියි.


    out source.....අනේ මංදා................

    ReplyDelete
  15. Adareta ohoma thamai Unnehe.

    ReplyDelete
  16. Unnehe mokada wela thiyenne den liyanna hithak attema nedda. Nethinam weda wedi welada. Unnehege guwan yanthare athhada beleem ehemath newathilada

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails