අපේ කිරිඅම්මා ඔය කතාව කවදා කොහේදි කියපු එකක්ද කියල මට හරියට නිච්චියක් නැත්තෙ ඒකට දැන් හුඟක් කල් ගතවෙලා හින්ද.
උන්දෑ පුළුවන් කාලෙ හැම පාළොස්වක පෝයකටම සිල් සමාදන් වෙච්ච, පුළු පුළුවන් හැම වෙලාවකම පිණක් දහමක්ම කරගත්තු ශ්‍රද්ධාවන්ත උපාසිකා මාතාවක්. ඒ උණාට උන්දෑට කවදාවත්ම ජම්බුද්දීපෙ වන්දනාමාන කරගන්න නම් ලැබුණෙ නැහැ. හිතේ ආසාව නම් ඕන හැටියෙ තියෙන්න ඇති, "බුදුන් උපන් ඉස්ථානෙ" වන්දනා මාන කරගෙන, පහන් සංවේගය උපදවාගෙන, සංසාරෙ කෙටි කරගන්න. එහෙම නැත්තං "දිවිය ලෝකෙ" යන්න.
ඒ කාලෙ ඉතින් වන්දනා නඩ එකතුකරන එක අද තරම් සංවිධානාත්මකව තිබුන යුගයක් නෙවෙයි. කීප දෙනෙක් එකතු වෙලා තමන්ගෙ ආරස්සාව තමන්ම සලසගෙන, හිතේ හැටියට වන්දනාමාන කරගෙන යහතින් එන එකයි සිද්ධ වුණේ. වැඩි දෙනෙක් නැවෙන් ඉන්දියාවට ගොඩ බැහැලා කෝච්චියෙන් ගිහින් සිද්ධස්ථාන වැඳපුදාගෙන ආපහු නැවෙන්ම තමයි ගමරට ඇවිත් තිබුණෙ.
ඒ වගේද දැන්. ඉස්තරම් ගුවන් සේවා වලින් යාම් ඒම්, සුපිරි හෝටල වල නවාතැන්, සුඛෝපභෝගී බස් රථ වල ගමන් මෙකී නොකී නොයෙකුත් දේ අඩංගු සුපිරි වන්දනා පැකේජයක් ලබා ගැනීම මුදල් ඇත්නම් එ තරම් අමාරු දෙයක් නෙවෙයි.
ඒත් මේ වගෙ සමහර තැන් වල කල් ක්‍රියාවනම් කොච්චර සුපිරිද කියන එක වගේම මේ ගමන් වලට වැඩිපුරම සම්බන්ධ වන වැඩිහිටි පිරිසට අවශ්‍ය ආරක්ෂාව, ආත්ම ගරුත්වය, ගැලපෙන ආහාරපාන සහ සනීපාරක්ෂාව ඇතුළු අවශ්‍යතා කෙතරම් දුරකට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්.
චෙන්නායි ගුවන්තොටුපළේ අපිරිසිදු, කළු ගැහුණු ආසනයක, ගන්ධබ්බයෙක් වගේ කල් මරමින් ඉන්න කොට දැකපු දෙයක් නිසා තමයි මගෙ හිතට ඔය ප්‍රශ්නය ඇති උනේ. තිහක හතලිහක විතර උපාසක උපාසිකාවො පිරිසක් දඹදිව වන්දනා කරගෙන තම තමන්ගෙ ගෙවල් දොරවල් බලා යන්න ඇවිත් තිබුණ. වැඩි දෙනෙක් මැදි වියත් පහු කරල ජීවිතේ සැඳෑ සමය ගතකරන වැඩිහිටි උදවිය. තරුණ අයත් කීපදෙනෙක් හිටිය.
ගුවන් යානයට තව සෑහෙන වෙලාවක් තිබුණ නිසා ඔවුන් අතරෙන් කීපදෙනෙක් මා අවටින් අසුන් ගත්තා. ඔවුන් ලංකාවේ විවිධ පලාත්වල අය. එකිනෙකා මුන ගැසී තිබුණේ මේ වන්දනා ගමනේ ප්‍රතිඵලයක් හැටියටයි. චාරිකාව අතරතුර කාලයේදී ඔවුන් අතර එතරම් සුහදතාවක් වර්ධනය වී තිබූ බවක් පෙනෙන්නට තිබිණේ නැහැ. ඒ වෙනුවට සිදුවී තිබුණේ ඔවුන් කුඩා කණ්ඩායම් වලට බෙදී යාමයි. ඊට ඔවුන්ගේ සමාජ හා ආර්ථික මට්ටම් වල වෙනස් කම් බලපෑවා වන්නට පුළුවන්.
කෙසේ වෙතත් ඒ චාරිකාව සංවිධානය කර තිබුණේ අගනුවරට නුදුරු ප්‍රසිද්ධ ආයතනයක් මගින් බව මා දැන ගත්තේ ඔවුන්ගෙන්මයි. පිරිස අතර ඒ ආයතනයෙන් පැමිණි මගපෙන්වන්නන් එහෙමත් නැතිනම් සංවිධායකයින් ලෙස දෙදෙනෙකු හඳුනා ගත හැකි වුනා. ඔවුන් තමන්ගේ වගකීම ඉටු කල ආකාරය දුටු මට සිහි වුනේ ලංකාවේදී අපි දකින පුද්ගලික බස් කොන්දොස්තර වරුන් ගේ හැසිරීම.
ගුවන් යානයට නැගීමට පෙර සිදු කල යුතු ආරක්ෂක පිරික්සුම්, කවුන්ටරයට ඉදිරිපත් කළයුතු පෝරම පිරවීම් ආදී දේට ඔවුන්ට ලැබුනේ ප්‍රමාණවත් නොවන උපදෙස්. ඒ නිසා සමහර දෙනාට ඒ කාර්යය නිවරදිව කර ගත නොහැකිවුණා. පසුව කවුන්ටරයේදී ඒවනි දෑ ගැන ප්‍රශ්න ඇති වූ විට එම සංවිධායකයින් පිළිකුල් සහගත ලෙස උපහාසයට ලක් කිරීමටත් දොස් පැවරීමටත් වුනා. එහිදී කිසිසේත්ම එම වැඩිහිටියන්ගේ ආත්මගරුත්වය පිළිඹඳ කිසිදු සැලකිල්ලක් තිබුණේ නැහැ. තම රටේදී වැදගත් මිනිසුන් ලෙස ජීවත් වූ ඔවුන් තමන්ගේම පිරිසක් ඉදිරියේදී ඉමහත් ලැජ්ජාවකට පත්වී සිටිනු දැකගත හැකි වුණා.
වඩාත්ම සංවේදී සිදුවීම දුටුවේ ගුවන් යානයට නැගීමට තිබූ අවසන් ආරක්ෂක පරීක්ෂාවේ දීයි. එම ස්ථානයට පැමිණීමට ගමන් මලු පිරික්සන ස්ථානයේ සිට සෑහෙන තරම් දුරක් ඇවිද යා යුතුයි. එතැනට පැමිණෙන සියලු දෙනාම තමන්ගේ ගමන් මලුවල අදාළ ගුවන් සමාගමේ නම සඳහන් කුඩා ලේබලයක් අමුණාගත යුතුයි. තමන් විසින්ම එල්ල ගතයුතු එම ලේබලයේ ප්‍රයෝජනය කුමක්දැයි පැහැදිලි නැතත්, ඒ නොමැති අයට ගුවන් යානයට ගොඩ වන්නට ලැබෙන්නේ නෑ. සමහර වියපත් මවුවරුන් තමන්ගෙ අත් බෑගයේ එවැනි ලේබල එල්ලා ගෙන තිබුනේ නැහැ. අවසන් මොහොත වනතුරුම කිසිවෙක මේ ගැන සොයා බලා තිබුනේත් නැහැ. අවසන් පරීක්ෂක ස්ථානයෙන් පිට වීමට ඔවුන්ට නොහැකි ව පෝලිමෙන් ඉවත් කෙරුණා. ඒ අවස්ථාවේ කුපිත වූ සංවිධායකයා පැවසූවේ, ඉතාම ඉක්මනින් ගොස් ලේබලයක් අමුනාගෙන එන ලෙසත් නැතහොත් ගුවන් යානය පිටත් වන බැවින් ඔවුන් ඒහිදමා ඉතිරි අය රැගෙන යාමට සිදුවන බවත්ය. වැඩි අවබෝධයක් නොතිබූ අපහසුතාවට පත් කාන්තා පිරිස අපහසුවෙන් ගමන් මලුද ඔසවාගෙන, පය ඉක්මන් කරමින් ආපසු දිව ගිය ආකාර කනගාටුදායක දසුනක් වුනා. අඩුම තරමින් අදාල තැනට ඔවුන් රැගෙන යන්නන්ට තරම් සංවිධායකයින් කාරුණික වූයේ නැහැ.
ජීවිතයෙ පළමු වරට පිට රටකට ගොස් කිසිදා නාඳුනන පිරිසක් සමග ගනුදෙනු කිරීමට සිදුවන මේ අය එතරම් අත්දැකීම් නැති ශාරීරිකව දුබල පිරිසක් බව වත් අඩුම තරමේ සැලකිය යුතුවූවා නොවේද?
මෙහි සටහන් කලේ පැය හයක පමන කාලයක් එම පිරිස සමග ගත කිරීමේදී දුටු සිදුවීම් දෙක තුනක් පමණයි. උදරාබාධ වලට ලක්වී සිටි නිතර වැසිකිලි සොයා දුවන වයෝවෘද්ධ මවු පිය වරුනට සැලකූ ආකාරය ඇතුළු තවත් බොහෝ දේ මෙහි ලියැවී නැහැ.
සමහර විටක මෙවැනි සිදුවීම් පිළිඹඳව එවැනි චාරිකා වලට සම්බන්ධවූ වැඩිහිටියන් නොපවසනවා වෙන්නට පුළුවන් නැතිනම් තමන් රටකින් රටකට ගෙන ගොස් මෙතරම් මාහැඟි පුණ්‍ය කර්මයකට සහභාගී වීමට උරදුන් චාරිකා සංවිධායකයින් වීරයන් සේ සිතා ඔවුන් කෙරේ ඇතිකරගත් ගෞරවය හේතුකොටගෙන ඔවුනට පින් දෙමින් ඉවසා සිටිනවා වීමටත් පුළුවන්.
කෙසේ නමුත් සෑම චාරිකා සංවිධායකයෙකුම මේ අකාරයෙ නොවිය හැකියි. නමුත් මේවැනි පිරිසක් මුණගැසීමට ඇති හැකියාවත් ඉතා විශාලයි. අප ආදරය කරන අපේ සමීප වැඩිහිටියා නන්නාදුනන රටක මේ වැනි අපහසුතාවයන්ට පත්වීමට හැකියාවක් නැතැයි කියා සිතිය හැකිද?
මා එසේ සිතුවත් ඔවුන් බොහෝ දෙනෙක් වෙතින් මා දුටුවේ තමන් දිව්‍ය ලොකයේ අසලටම ගොස් පැමිණීමෙන් ලද අපමණ උද්දාමය පමණයි.
ඕවට අමතරව තව කොච්චර දේවල් වෙනවද?. බොහොමක් සංවිධායකවරු ඔහොම වන්දනාවෙ යන උපාසක අම්මලගෙ Passport එකට ලංකාවෙ Duty Free එකෙන් පිටත්වෙන්න ඉස්සර Red Label, Black Label අරගෙන ඉන්දියාවට ගියහම ඒව විකුණල සල්ලි ගන්නව. ආපහු එනකොටත් ඔහොම තමයි කතාව. හැබැයි යන්නෙ වන්දනාවෙ!
ReplyDeleteඅපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
ReplyDeletehttp://taboosubjects.wordpress.com/2010/03/17/121-2/
http://blog.inetlanka.com/
මේ අය ඇවිත් ඕවා කියන්නෙ නැහැ ගමනේ පුරාජේරුව කියවනවා මිසක්
ReplyDeleteමගේ අත්දැකීමට අනුව නම් ගොඩක් දඹදිව වන්දනා සංවිධායකවරු හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආකාරයේ කාලකණ්නි පොරවල්. බෝධිසත්ව ගුණෝපේත සංවිධායකවරුද නැතුවාම නොවේ.
ReplyDeleteචෙන්නයි ගුවන් තොටු පල නම් කියලා වැඩක් නෑ චා මැක්ස්...
ReplyDeleteහැමදේම මුදලට විකිණෙද්දි උපාසක අම්මලාගේ බුද්ධාලම්භන ප්‍රීතියත් මේ යක්කු සල්ලි වලට ගන්නව. ඒත් කූට වෙළෙන්දන්ගෙ මානසිකත්වයෙන් විතරයි ගොඩක් අය කටයුතු කරන්නෙ.
ReplyDeleteඅපාය
ReplyDeleteමුන් ට අපායේ අලුතින් ලැට් වලක් හරාගෙන යනවා
මචන්, හරිම කනගාටු දායකයි. උඹ කිව්ව වගේ ඒ වැඩිහිටියෝ තරහින් තමන්ගේ සිත් වලට අකුසල් පුරෝ නොගත්තා කියලා සිතමු.
ReplyDeleteඒත් උඹට හිත්න්නේ නැද්ද වෙන වැඩිහිටියෙක් මේ කරදරේට මූන නොදෙන්න ඒ ආයතනයේ නම ප්‍රසිද්ධ කරලා ඒ අදාල පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කරන්න සැලසීම යුතු කමක් කියලා.
මම නම් හිතන්නේ ඒක හොඳ වැඩක්. කාට හරි පුලුවන් නේද එතකොට
"අපි මෙහෙම දෙයක් බ්ලොග් එකක දැක්කා මේ ඇත්තද ???"
"මේ වගේ සිදුවීම් ආපහු වෙන්න ඉඩ තියන්න එපා "
කියලා කියන්න
ම , මධුර, kkrox, outsider, Ano, දුකා
ReplyDeleteස්තූතියි අදහස් වලට. කිසිම දෙයක් ලියන්න හිත දුන්නේ නෑ මේ ටිකේම. ඒකයි පරක්කුව.
@දුකා.
උඹේ කතාව හරි.
නමුත් උන්ගෙ නම පළ නොකල කියල සිද්ධියෙ විශ්වසනීයත්වයට හානියක් නැහැ මයෙ හිතේ.
මගේ මතකයේ තියෙන නම සහ ස්ථානයේ විස්තර පළ කිරීමට තරම් නිවැරදිද කියන සැකය මත තමයි "අගනුවරට නුදුරු ප්‍රසිද්ධ ආයතනයක් " කියල විතරක් දැම්මේ. "ප්‍රසිද්ධ ආයතනයක් " කියල හොඳටම විශ්වාසයි.
අඩුපාඩුව ගැන කණගාටුයි.