Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

5/02/2010

ඒජන්ත උන්නාන්සෙගේ සෙමර වලිගේ..




රාජකාරි ගමනක යෙදෙන අතරතුර සුදු ජාතික ඒජන්තවරයා හදිසියේ සිය ගමට පැමිණීම ගම්මුන්ට මහත් වූ කුතුහලය දනවන කාරණයක් විය.

කිසිදා නොදු‍ටු ඒජන්ත උන්නාන්සේගේ හැඩරුව කෙබඳුදැයි දැන ගැනීමේ ආශාවෙන් පොළඹවනු ලැබූ ගැමියෝ ආරංචිය සැලවූ විගස වැල නොකැඩී ගොස් මාර්ගය අසල ‍රැස් වී, නෙත සිත පුරා ඒජන්ත උන්නාංසේ දැක බලා ගත්හ.

එතැන් පටන් දින කීපයක්ම යනතෙක් ගමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ඒජන්ත වරයා ගමට පැමිණීම පිළිඹඳ ප්‍රවෘත්තියයි.

කාන්තාවන්ට ඔවැනි දේ පිළිඹඳ කතාකිරීමට ගමේ නාන තො‍ටුපොළ කදිම තැනක් විය. පිරිමි නොගැවසෙන නිසා එතැන තම රහස් කතාකිරීමට ඔවුනට බාධාවක් නොවීය.


....

"ඒජන්ත උන්නාංසෙගෙ සුද... මමනං උපන් තේකට දැකල නෑ බං එහෙම සුදක්...ආ...සා...වේ... බෑ..."  

සොබනි වටපිට බලා කීවේ හඬ පහත් කරමින් තම යෙහෙලියන්ට පමණක් ඇසෙන පරිදිය.
" අම්මපා හැබෑව සොබනියෝ... කිව්වට මොකෝ...ගමන් ලතාව දැක්කම මට නම් ඉවසිල්ලක් නැතිඋණා බන්...පද්ද පද්දා... හරී... නිස්කාන්සුවෙ ඇවිදින්නෙ... හුරතලේ... බැරුවා.."    

එතන හාමිද තම සිතැඟි පළකලාය.

"මට නං ඔයි ඔක්කෝටම වැඩිය හිත ගියෙ... උන්නාන්සේ අර වන වනා ගිය සෙමර වාගෙ වලිගෙට... අල්ලල බලන්නවත් වුණානං..., අපිට කොහෙන්ද එහෙවු පිණක්....දුකේ බෑ..." 

සපුමලී කියා සිටියේ ශෝකයෙනි.

"උන්නාන්සෙ හොඳ නිවිච්ච හැදිච්ච පාටයි... කාට උනත් ඔළුව වනලා තමයි ගියේ...මටනං හරිම ගවුරවයක් හිතුණා බං... ඒකයි මම උන්නාන්සෙට එතනම වැන්දේ"

"මොකෝ උඹ විතරක්..! මග දිගට හිටපු උදවිය ඔක්කෝම උන්නාන්සෙට වැන්දේ..."

"ඒකටත් එක්ක උන්නාන්සෙගේ පිටේ නැගලා හිටපු ගොයිය!  උන්දෑ නං මහාම ආඩම්බරකාර පාටයි......කවුදෑ... බං ඒකා..?!!." "

"නොදකිං උන්දෑ නං... මතක් කරන්න එපා... කෙවිටකුත් කරකවකව ගෑණු දිහා බල බලා ගිය හැටි විතරක්..."


...

4/30/2010

බෙදා හදා ගෙන කාපු හැටි




"අද පුතාලට මොනවද ටීචර් ඉගැන්නුවේ...?"

පළමු වසරේ ශනුක ගෙන් පාසැල ඇරී නිවසට යන අතරතුර  මව විමසුවාය.

"බෙදා හදාගෙන කන එක හොඳ පුරුද්දක් කියල ටීචර් කිව්වා..."

ශනුක තම සිත් ගත් පාඩම ගැන විස්තර මව වෙත ඉදිරිපත් කලේය..

"ඔවු පුතා... ඒක බොහොම හොඳ පුරුද්දක්.. "මව අනුමත කළාය..

"අපි ඉන්ටබල් එකේ කෑම කනකොට... හැමෝම ළඟ ඉන්න එක්කෙනාට කොටසක් දීල කන්න කියලා ටීචර් කිව්ව..."

" බොහොම හොඳයි..ඉතින් පුතාල එහෙම කළාද?"

"ඔවු අම්මා.. අපි ඔක්කෝම ටීචර් කියපු විදිහට බෙදාගෙනයි කෑවෙ...."

"ඉතින් පුතාට මොනවද හම්ම්බ උනේ...?

"සිතිජ... රස....ඉඳිආප්ප ගෙනත් තිබ්බා... එයා මට ඒවයින් දෙකක් දුන්නා..."

ඉතින් පුතත් සිතිජට ඔයගෙ කෑම වළින් ටිකක් දුන්නද...?"

"ඔවු අම්ම... මම ඒකට හරියන්න එයාට මගෙ මුං ඇට වලින් දෙකක් දුන්නා..."




...

4/20/2010

ජයවේවා...!!!

"සුමිත්‍රා මැණිකෙනං ඔය මොනවත් හොයන එකක් නෑ... බන්දු අයියෙ...මේ ඉහටත් උඩින්..."

"ඒකනෙ බං මැඩම් නොදන්නවයෑ බන්දු අයියා ඉන්න තත්වෙ...මල් මාලයක් දාල පිළිගත්තනම් ඇති මං නං කියන්නෙ..."

සුමිත්‍රා මැඩම්ව පිළිගන්න සූදානම් කරපු පුංචි උත්සවයෙ වැඩකටයුතු දිහා බලාගෙන කොට්ටම්බ ගහයට තියපු හාන්සි පු‍ටුවෙ දිගා වෙලා හිටපු තාත්තට ඇහෙන්න එහෙම කිවුවෙ වීරෙ මාමයි තිලකයියයි. ඒගොල්ල එහෙම කියන්නේ තාත්තගෙ හිත හදන්නත් එක්ක.

චන්ද ප්‍රතිඵල එන්නත් කළින්ම තමයි තාත්තට ඔනි වුනේ පිළිගැනීමෙ උත්සවයක් තියන්න. ඒක අබේපාල මහත්තය වෙනුවෙන් කෙරෙන්න තියෙන යුතුකමක් කියලයි තාත්ත කිව්වෙ. තාත්තා ඔත්පල වෙලා හිටියත් අහල පහල කිහිපදෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න අපිට එච්චර අමාරුවුනේ නැහැ.
පුංචි පහේ ගොක් කොල තොරණ, කොඩිවැල්, ඒ අතරට සිසිර අයියගෙ හත‍රැස් අකුරින් ඇඳපු බැනර් එක ඒ ඔක්කොමත් එක්ක තේ මේසයත් ආපුවාම වැඩේ බොහෝ දුරට සම්පූරණයි. කොඩිවැල් ටික නං මගේයි පියසේන මාමලගෙ උපුල් මල්ලිගෙයි මහන්සිය තමයි. මහපාරෙන් අපේ පාරට හැරෙන හන්දියටත් සැරසිලි ටික ලස්සනට පේනව... සමහර විට ‍රැ වුනොත් කියල ප්ලෑෂ් ලයිට් එකකුත් ලැහැස්ති කරගත්ත, කාටද කියන්න පුළුවන් ඔය දිවුරුං දීමේ වැඩරාජකාරී ඉවර වෙලා කට්ටිය එනකොට කීය වෙයිද කියල.
ඒ මොනව තිබුණත් තාත්තගේ හිතට මදි...මොකක් හරි අඩුපාඩුවක්මයි පේන්නෙ.

"අබේපාල මහත්තය වෙනුවෙන් මොනදේ කළත් මට හිතට මදි බං... ඒ මනුස්සය මගේ සහෝදරයෙකුටත් වඩා මට හිතවත්"

එක අතකට තාත්ත කියන කතාවෙත් ඇත්තක් තියෙනව. අබේපාල මහත්තය ජීවත් වෙලා ඉන්දැද්දී කොහේ ගියත් අපේ තාත්තව නැතුවමබැහැ...
"බන්දු... යමං අහවල් ඉස්කෝලෙ පුස්තකාලෙ විවෘතෙට..." එහෙමත් නැත්තං "අර ගල්පාත විජේකෝන් මහත්තයගෙ ගෙදර පිරිත අදනෙ බං ගිහින් එමු.." කියල අහන පරක්කුවෙන් අපේ තාත්තටත් ‍රැයක් දවාලක් නෑ...කැබ් එකේ නැගල ඇති. උන්නාන්සේ අපිට උනත් හරිම කරුණාවයි. මට කතාකලේ පොඩි රාළහාමි කියලා ආදරේට. අපේ අම්මට කුසුමලතා නංගි කියළයි කිව්වෙ. හැමදාම අපේ ගෙවල් පැත්තෙ ආවම උන්න්නැහේට බඩගින්නක් අල්ලනව. එතකොට ඉතින් කුරුම්බයක් වත් කඩලා දෙන්නෝනේ... ගොඩක්ම හදිසි නං
"නංගි මොනා හරි හදල තියන්න අපි ආපහු එනවා"
කියගෙන තාත්තවත් ඇදගෙන යනවා... ඒත් කළාතුරකින් තමයි අර හදල තියන්නකියපු දේවල් කන්න අපහු එන්නේ. එතුමට ඒ තරම්ම රාජකාරි.

මේ සැරේ ඡන්දෙන් දිනුවහම මුළින්ම කිරිබත් කෑල්ලක් කන්න අපේ ගෙදර එනව කියල තමයි අබේපාල මහත්තය තාත්තාවත් එකතු කරන් එදා ඉරණම් ගමන ගියේ... ඒ මීට මාසෙකට හමාරකට උඩදි...

රබර් මෝල ලඟ මහ වංගුවෙදි ඒ අය ගිය වාහනේ පස්සෙං ආපු නාඳුනන තුවක්ක්කු කාරයො අබේපාල මහත්තයවයි කැබ් එක එලෝපු සුමිත් අයියවයි එතනම බිළි අරන් තිබුණා. තාත්ත පූරුවෙ වාසනාවකට එළොව ගිහින් මෙළොව අව. ඒත් දකුණු උරහිස හරහා ගිය වෙඩි පාරවල් තුනක් එක්ක

නැතිවෙච්ච අබේපාල මහත්තයගෙ පුරප්පාඩුවට තමයි සුමිත්‍රා නෝනට ටිකට් එක හම්බ උනේ.

සුමිත්‍ර නෝන අබේපාල මහත්තයගෙ ලොකු දෝණි..හරිම ගුණයහපත් ළමය... තියෙන්නෙ එයාගෙ තාත්තගෙ ගතිගුණමයි....එහෙමට ලකයක් නොතිබුණාට සීදේවි පාටයි...ඔන්නං අවුරුදු විසිපහක් විතර ඇති. හරිම කට කාරි............වැඩිය තැලිල පොඩිවෙලා එහෙම නැහැ... ගෙදරම හැදිච්ච ළමයනෙ.
මළ ගෙදරට ආව ගිය මහා සෙනග කන්දරාවෙ කවුරුත් ඉල්ලුවෙ ලොකු බේබි ඡන්දෙට එන්න කියන එකම තමයි. ගමේ රටේ මිනිස්සුන්ට සුමිත්‍රා නෝන "ලොකු බේබි" එහෙම නැත්තං "සුමිත්‍රා මැණිකෙ".

අපි කවුරුත් හිතපු විදිහට දිස්ත්‍රික්කෙන් පළවෙනිය නොවුනත් සැලකිය යුතු මනාප ගානකින සුමිත්‍රා නෝන දිනල තිබුණා.

"දැං ඉතිං උඹලා මැණිකෙ මැණිකෙ කියන්න යන්නේ නැතුව මැඩම් කියහල්ලා... ඒ මනුස්සයගේ ගෞරවේ අපි තියන්න ඕනිනෙ. ඇමතිකමක් එහෙමත් හම්බවෙයි මයෙ හිතේ."
තාත්ත දන්න අඳුනන හැමෝටම කිව්වෙ "මැඩම්" ගැන ගොඩාක් භක්තියකින් කියලයි මට හිතුණෙ.

"එහෙමනං ඉතින් බන්දු අය්යට හම්බේයි ලේකම් කමක්.. අනේ අපි ගැනත් බලා ගන්නෝනි..."
ඔය ඇමති කම් කතාව ඇදිලා ආපු වෙලාවක වීරෙ මාම කිව්වෙ විහිලුවටමත් නෙමෙයි. ඒ වගේ වෙළාවට තාත්තගෙ මූණ බැරෑරුම් වෙනව..

"බඩ බැඳගෙන අවුරුදු ගානක් දේශපාලනේ කොරල... අතපයත් කඩාගෙන...එහෙම දෙයක් වත් නැතිව මොකටද නැද්ද මම අහන්නේ..." තාත්තා කාටවත් ඇහෙන්න එහෙම නොකිව්වට මට නම් හිතුණෙ එහෙම.

කට්ටිය හවස පහට විතර තමයි මෙතනට එන්නෙ. දැන් නම් වෙළාව ලඟයි. ඒත් තව චුට්ටක් පරක්කු වුණානම් තව ඔය කොඩි වැල් ටිකක් එහෙටමෙහෙට ඇදලා දාන්න තිබුණා තව ටිකක් වැඩේ සම්පූර්ණ වෙන්න.

"රාජු මල්ලියෙ... හරියට මැඩම්ගෙ වාහනේ මේතන නවත්තල බහිනකොටම රති‌ඤ්ඤා ටික පත්තු කරන්න ඕනෙ. ..පරක්කු කරන්නත් එපා කලබල වෙලා කලිං පත්තු කරන්නත් එපා... හරිද"
"මල්මාලෙ ලෑස්තිද....?...බුලත් අත.....?"

තාත්ත උපදෙස් දෙන්නෙ ගුරුපාර කෙලවරෙන් කොයි මොහොතෙ මැඩම් ගෙ වාහනේ මතු වෙයිද කියලා බල බල.
දැන්නම් කොයි මොහොතෙ හරි වාහන ටික මතුවෙයි හන්දියෙන්...

"මැඩමුත් ඇත්තෙ කොයි වෙලාවෙද මේපැත්තෙ එන්නෙ කියලා බලබලා... මොකද එයාට තාත්තගෙ සැපදුක බලන්නවත් එන්න බැරිඋණානෙ ඡන්ද වැඩ නිසා... ගොඩාක් මහන්සි උණා පහුණු දවස් ටිකේ... පවු...පළවෙණි පාරනෙ ඔයතරම් බාර දූර වැඩක් කලේ... අඩුගානෙ අපේ තාත්තවත් මැතිවරණ වියාපාරෙට හිටියනංඔය වැඩ ඔක්කොම හොයළ බලල කරළ දෙනවා..."

"කොහෙද විජේපාල මහත්තයල හිටියට අපේ තාත්තල තරම් මැඩමලට හිතවත් නැහැනෙ... ඒගොල්ල එන්නෙ වාසියට විතරයි..."

දැන් නම් චුට්ටක් ඇඳිරිත් වැටීගෙන එනවා. ප්ලෑෂ් ලයිට් එක දැම්මම අමුතුම ලස්සනක්... හරියට වෙසක් දවසට වගේ...

"මග දිගටම පිළිගනීම් ඇති මයෙ හිතේ..ඒකයි ඔය පරක්කු වෙනව ඇත්තේ... මං අහගෙනයි කවුදෝ කියනවා... බණ්ඩාරගං පැත්තේ දෙතුං පොළකම උස්සව ලැහැත්ති කොරළ තිවුණ කියළා..."

දැන් තේ මේසෙට තිබ්බ කලමණා ටිකත් හීල් වෙනව... තාත්තට අළුතෙන් තේ මේසෙ ළැහැත්ති කරන්න හිතෙන්නත් බැරි නැහැ තව ටිකකිං.

"ලොකු පුතේ... පාර පැත්තට ගිහි බලහං මොකෝ කට්ටිය තාම පරක්කු කියලා"

තාත්ත මට කිවුවෙ ඉවසල බැරිම තැන...

"මෙතෙනට මහ පාර හොඳට පේනවා... පාර ගාවට ගියා කියල අමුතුවෙන් දෙයක් පේයියෑ..." මට එහෙම හිතුණත් මේ සෙනග ඉස්සරහ ඔය වගෙ කතාවක් කොහොම කියන්නද...ගිහිං බලමු ඉතිං...

මහ පාර ගාවට ගියාම ගුරුපාරෙ ඈතින් පේන සැරසිලි ටික ලයිට් එළියට පෙනුනේ හරිම ලස්සනට. මට පුංචි ආඩම්බරයකුත් දැනුණා හිතට... එකත් එකටම මැඩම් කැමතිවෙයි අපේ උත්සවේ පිළිවෙලට.
"දැන් නං හතට විතර ඇති මයෙ හිතේ ඒනවනං දැන් එන්නා එපායැ...."

එහෙම හිතුව විතරයි පිඹගෙන ආපු වාහන කීපයක් මං හිටපු තැන පහුකොරං ගිහිල්ල නැවැත්තුවා.., අපරාදෙ කළුවරේ තැන හොයා ගන්න බැරි වෙන්න ඇති අළුත් ඩැයිවර් කෙනෙක් මයෙ හිතේ.. සුමිත් අයියනං එක පාරටම කපල ගන්නෙ එන වේගෙන්ම...දැන් ඉතින් රිවෙස් කරල ගන්න තමයි වෙන්නෙ... මම එහෙම හිතල පුළුවන් තරම් අයිනටම උණා...

වාහන පෙල මැද්දෑවෙ තිබුණ තඩි ජීප් එකේ වීදුරුව පාත්කරළ කවුද මට අත් වනනව... පාර අහන්න වෙන්න ඇති... මාව හරියට අඳුනන්න නෑ...
මම ඉගිල්ලුණා වාහනේ ළඟට.
ඉස්සරහ සීට් එකෙ විජේපාල මහත්තය...එයා මාව ඇඳින්නා...

මම මුකුත්ම කියන්න කළිං මහත්තය පිටිපස්සට හැරිල පිටිපස්ස සීට් එකේ හිටිය මැඩම්ට මාව අඳුන්නල දුන්න...

"මැඩම්... මේ... අර... බන්දුලගෙ ලොකු ළමය..."
අපේ මැඩම් මට කටපුරා හිනාවුණා

"ආ... මල්ලි... ජයවේවා...අපි මේ තාම එනගමන්නෙ මල්ලියො...මග දිගට උත්සව මහ ගොඩයි...අපේ ඡන්ද දායකයින් ගෙ සතුටනෙ... දැන් නං හරිම මහන්සියි...බන්දුලට කියන්න අපි මතක් කළා කියලා...සනීප උණාම ඒ පැත්තෙ ඇවිත් යන්න කියන්නකො...අපි යමුනේද ලේකම් තුමා...හොඳටම පරක්කු උණානෙ...එහෙනම් මල්ලියො ජයවේවා..."

"මැඩම්..."

මම කට හොළවන්නත් කළින් වාහන පෙළ පිටත් වෙළා ඉවරයි....

මට අපේ ගුරු පාර දිහා බැළුණෙ ඉබේටම...

...ගුරු පාරෙ ඈත කොනේ ප්ලෑෂ් ලයිට් එකේ කණාමැදිරි එළියට යටින් සැරසිලි ඔක්කොම බොඳවෙළා තිබුණා...

LinkWithin

Related Posts with Thumbnails