3/31/2010

බ්ලොග්ද..? මංද..??



මාර ප්‍රශ්නයකි!

බ්ලොග් කෙලියට යෑමෙන් රස්සාවට කෙලවීමට පටන්ගෙන ඇත...යුතුකම් මගහැරී ඇත. කළ යුතු වැඩ අතපසු වී ඇත.

කේස් ගොඩකි...

නින්දක් නැත...

උන් ලියති මම කියවමි.

දැන් කුම් කරම් දැයි සිතාගත නොහී බලා සිටිමි... 

කුම්බලාවා මෙනි.

ඔය කියවලා විතරය...තව ලියන්නටත් ගියා නම් කෙසේ වේද...?

ලිවීමට තරම් විවේක බුද්ධියක් මේ දිනවල නැති වීමම වාසනාවකි...

මම පවුය...








3/27/2010

පවු...පුංචි එකා....

පුංචි කොරවක් පැටිය එයාගෙ අම්මගෙ පස්සෙන් දුවගෙන ආවෙ බයෙන් බයෙන් වගේ. කී දෙනෙකුගෙන් කියලා බේරෙන්නද... පාරෙ අයිතිකාර බලු නඩේ හරි ගඟ අද්දර ‍රැකළ ඉන්න මුගටි හෝතඹු ‍රැළ හරි දැක්කොත් පැටියට තියා අම්මටවත් බේරුමක් නැහැ...
ඇයි උඩින් එන කුරුලු ගොයි වගෙ අය... කොයි වෙලේ එයිද කියලා කියන්න කාටද පුලුවන්.

පුංචි එකාට ඕව ගැන ඒ හැටි තේරුමක් තාම නැහැනෙ. අම්ම දුවන කොට එයත් දුවනවා.  පුංචි උන් කවුරුත් එක වගෙයි එක අතකින් බලනකොට.

ළඟින් ළඟින්කම්බි ගහල තියෙන වැටෙන් පැනල දෙන්නත් එක්ක පාරට ආව.
පාරෙන් එහා පැත්තෙ තමයි ඒ ගොල්ලන්ගෙ රජ දහන. ඒ කියන්නේ කැලණි ගඟ. පාර පනින එක ඒ තරම්ම ලේසි නැහැ කියල අම්ම දන්නෙ කවුරුවත් කියල දීල එහෙම නෙවෙයි. පුරුද්දෙන් වගේ. ඒකයි එයා පාර හරහා යනකොට එක පාරටම හයී...යෙන් දුවගෙන යන්නේ.

වෙනදත් අපි මෙතනින්ම එහා පැත්තට යනවනෙ නේද අම්මේ. පොඩී එකා එහෙම අහන්න ඇති. අම්ම ඉන්නකොට මොන බයක්ද. පැටියට එහෙම හිතෙන්නත් ඇති.

පුරුදු විදිහට අම්ම ඉස්සෙල්ල පිටිපස්සෙන් පොඩි එකා...

චරස්...

අම්මට ඇහුනෙ එච්චරයි.

බය වෙච්ච පාරට නැවතෙන්නෙවත් හැරිල බලන්නෙවත් නැතුව එයා දුවන්න ගත්තා. නැවතුනා කියල මොනවා කරන්නද. ඒ වෙනකොටත් පුංචි එකාගෙ සිරුර පාරට සමතලා වෙලා... පුංචි පුංචි පිහා‍ටු කෑලි ඒ චරස් සද්දෙ ඇතිකරපු එකාගෙ පස්සෙන් සුළගෙ ගහගෙන යනව...

.............

තමන්ගෙ පස්සෙන් දුවගෙන ආපු පුංචි එකා නැති බව දැකපුවාම කොරවක් අම්මට මොකද හිතුනෙ කියළ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. කවදාවත්ම කොරවක්කෙක් වෙලා හිටපු නැති කෙනෙකුට ඒක හරියටම තේරෙන එකකුත් නෑ...

ඒත්... ඒ පැටියා හුරතල් මනුස්ස පැටියෙක් උනානම්... හිතන්න... මේ කතාව ලියන්න වෙන්නෙ මෙහෙම නෙවෙයි!

ඔය සිද්ධියට සම්බන්ධ රියදුරා, මගේ කාර්යාලයීය සගයාටත් ඔය දේ එහෙමම හිතිල තිබුණා. අන්තිම තප්පරේට වෙලාව ලකුණු කරගන්න පුළුවන් තරම් වේගෙන් තමන්ගේ තමන්ගේ වාහනය පදවගෙන අඹතලේ, සේදවත්ත පාරෙ කොළඹට ඉගිල්ලෙන මිනිහට මේ සිද්ධිය හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරල තිබුණ.

මට හිතෙන්නේ මමත් ඇතුළුව කාට උනත් හිතන්න දෙයක් එතන තියෙන බව.

උදේ පාන්දර සුදෝ සුදු ඇඳුමෙන් සැරසිලා අත් වැල් අල්ලගෙන මෙළෝ සිහියක් නැතුව පාර පනින පුංචි එකාල එකීල මම ඕන තරම් දැකල තියෙනවා. අඟලෙන් දෙකෙන් උන් වාහනවල හැප්පෙන් නැතිව බේරෙන හැටිත් මම දැකල තියෙනව.  එහෙම වෙලාවට සමහර විට ඒ වාහන කාරයින්ට අපි බනින්නෙ මෙහෙම නේද ...

" මුං පිස්සො වගේ පාරෙ යන්නෙ.. තව ඩිංගෙන් අර පොඩි එවුන් ටික යට කරනවනෙ"

හැමෝම නිතරම හිතන්නෙ තමන්ගෙ අතින් මේ වගේ දෙයක් වෙන එකක් නැහැ කියල. ඒත් කාටද කියන්න පුළුවන් කොයි මොහොතෙ මොකක් සිද්ධ වෙයිද කියළ...

මගේ සගය නම් කියන්නේ මීට පස්සෙ අධික වේගයෙන් වාහනය එලවන්නේ නැහැ කියලයි. ඒත් ඒක කී දවසක් මතක තියෙයිද කියල තමයි සැක.

3/17/2010

දඹදිව චාරිකා හා අපේ වැඩිහිටියෝ...

"ජම්බුද්දීපෙ දිවිය ලෝකෙට ළඟයි කියනවනෙ  පුතේ..."

අපේ කිරිඅම්මා ඔය කතාව කවදා කොහේදි කියපු එකක්ද කියල මට හරියට නිච්චියක් නැත්තෙ ඒකට දැන් හුඟක් කල් ගතවෙලා හින්ද.
 උන්දෑ පුළුවන් කාලෙ හැම පාළොස්වක පෝයකටම සිල් සමාදන් වෙච්ච,  පුළු පුළුවන් හැම වෙලාවකම පිණක් දහමක්ම කරගත්තු ශ්‍රද්ධාවන්ත උපාසිකා මාතාවක්. ඒ උණාට උන්දෑට කවදාවත්ම ජම්බුද්දීපෙ වන්දනාමාන කරගන්න නම් ලැබුණෙ නැහැ. හිතේ ආසාව නම් ඕන හැටියෙ තියෙන්න ඇති, "බුදුන් උපන් ඉස්ථානෙ" වන්දනා මාන කරගෙන, පහන් සංවේගය උපදවාගෙන, සංසාරෙ කෙටි කරගන්න. එහෙම නැත්තං "දිවිය ලෝකෙ" යන්න.

ඒ කාලෙ ඉතින්  වන්දනා නඩ එකතුකරන එක අද තරම් සංවිධානාත්මකව තිබුන යුගයක් නෙවෙයි. කීප දෙනෙක් එකතු වෙලා තමන්ගෙ ආරස්සාව තමන්ම සලසගෙන, හිතේ හැටියට වන්දනාමාන කරගෙන යහතින් එන එකයි සිද්ධ වුණේ. වැඩි දෙනෙක් නැවෙන් ඉන්දියාවට ගොඩ බැහැලා කෝච්චියෙන් ගිහින් සිද්ධස්ථාන වැඳපුදාගෙන ආපහු නැවෙන්ම තමයි ගමරට ඇවිත් තිබුණෙ.

ඒ වගේද දැන්. ඉස්තරම් ගුවන් සේවා වලින් යාම් ඒම්, සුපිරි හෝටල වල නවාතැන්, සුඛෝපභෝගී බස් රථ වල ගමන්  මෙකී නොකී නොයෙකුත් දේ අඩංගු සුපිරි වන්දනා පැකේජයක් ලබා ගැනීම මුදල් ඇත්නම් එ තරම් අමාරු දෙයක් නෙවෙයි.

ඒත් මේ වගෙ සමහර තැන් වල කල් ක්‍රියාවනම් කොච්චර සුපිරිද කියන එක  වගේම මේ ගමන් වලට වැඩිපුරම සම්බන්ධ වන වැඩිහිටි පිරිසට අවශ්‍ය ආරක්ෂාව, ආත්ම ගරුත්වය, ගැලපෙන ආහාරපාන සහ සනීපාරක්ෂාව ඇතුළු අවශ්‍යතා කෙතරම් දුරකට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්.

චෙන්නායි ගුවන්තො‍ටුපළේ අපිරිසිදු, කළු ගැහුණු ආසනයක, ගන්ධබ්බයෙක් වගේ කල් මරමින් ඉන්න කොට දැකපු දෙයක් නිසා තමයි මගෙ හිතට ඔය ප්‍රශ්නය ඇති උනේ. තිහක හතලිහක විතර උපාසක උපාසිකාවො පිරිසක් දඹදිව වන්දනා කරගෙන තම තමන්ගෙ ගෙවල් දොරවල් බලා යන්න ඇවිත් තිබුණ. වැඩි දෙනෙක් මැදි වියත් පහු කරල ජීවිතේ සැඳෑ සමය ගතකරන වැඩිහිටි උදවිය. තරුණ අයත් කීපදෙනෙක් හිටිය.

ගුවන් යානයට තව සෑහෙන වෙලාවක් තිබුණ නිසා ඔවුන් අතරෙන් කීපදෙනෙක් මා අවටින් අසුන් ගත්තා. ඔවුන් ලංකාවේ විවිධ පලාත්වල අය. එකිනෙකා මුන ගැසී තිබුණේ මේ වන්දනා ගමනේ ප්‍රතිඵලයක් හැටියටයි. චාරිකාව අතරතුර කාලයේදී ඔවුන් අතර එතරම් සුහදතාවක් වර්ධනය වී තිබූ බවක් පෙනෙන්නට තිබිණේ නැහැ. ඒ වෙනුවට සිදුවී තිබුණේ ඔවුන් කුඩා කණ්ඩායම් වලට බෙදී යාමයි. ඊට ඔවුන්ගේ සමාජ හා ආර්ථික මට්ටම් වල වෙනස් කම් බලපෑවා වන්නට පුළුවන්.

කෙසේ වෙතත් ඒ චාරිකාව සංවිධානය කර තිබුණේ අගනුවරට නුදුරු ප්‍රසිද්ධ ආයතනයක් මගින් බව මා දැන ගත්තේ ඔවුන්ගෙන්මයි. පිරිස අතර ඒ ආයතනයෙන් පැමිණි මගපෙන්වන්නන් එහෙමත් නැතිනම් සංවිධායකයින් ලෙස දෙදෙනෙකු හඳුනා ගත හැකි වුනා. ඔවුන් තමන්ගේ වගකීම ඉ‍ටු කල ආකාරය දු‍ටු මට සිහි වුනේ ලංකාවේදී අපි දකින පුද්ගලික බස් කොන්දොස්තර වරුන් ගේ හැසිරීම.

ගුවන් යානයට නැගීමට පෙර සිදු කල යුතු ආරක්ෂක පිරික්සුම්, කවුන්ටරයට ඉදිරිපත් කළයුතු පෝරම පිරවීම් ආදී දේට ඔවුන්ට ලැබුනේ ප්‍රමාණවත් නොවන උපදෙස්.  ඒ නිසා සමහර දෙනාට ඒ කාර්යය නිවරදිව කර ගත නොහැකිවුණා. පසුව කවුන්ටරයේදී ඒවනි දෑ ගැන ප්‍රශ්න ඇති වූ විට එම සංවිධායකයින් පිළිකුල් සහගත ලෙස උපහාසයට ලක් කිරීමටත් දොස් පැවරීමටත් වුනා. එහිදී කිසිසේත්ම එම වැඩිහිටියන්ගේ ආත්මගරුත්වය පිළිඹඳ කිසිදු සැලකිල්ලක් තිබුණේ නැහැ. තම රටේදී වැදගත් මිනිසුන් ලෙස ජීවත් වූ ඔවුන් තමන්ගේම පිරිසක් ඉදිරියේදී ඉමහත් ලැජ්ජාවකට පත්වී සිටිනු දැකගත හැකි වුණා.

වඩාත්ම සංවේදී සිදුවීම දු‍ටුවේ ගුවන් යානයට නැගීමට තිබූ අවසන් ආරක්ෂක පරීක්ෂාවේ දීයි. එම ස්ථානයට පැමිණීමට ගමන් මලු පිරික්සන ස්ථානයේ සිට සෑහෙන තරම් දුරක් ඇවිද යා යුතුයි. එතැනට පැමිණෙන සියලු දෙනාම තමන්ගේ ගමන් මලුවල අදාළ ගුවන් සමාගමේ නම සඳහන් කුඩා ලේබලයක් අමුණාගත යුතුයි. තමන් විසින්ම එල්ල ගතයුතු එම ලේබලයේ ප්‍රයෝජනය කුමක්දැයි පැහැදිලි නැතත්, ඒ නොමැති අයට ගුවන් යානයට ගොඩ වන්නට ලැබෙන්නේ නෑ. සමහර වියපත් මවුවරුන් තමන්ගෙ අත් බෑගයේ එවැනි ලේබල එල්ලා ගෙන තිබුනේ නැහැ. අවසන් මොහොත වනතුරුම කිසිවෙක මේ ගැන සොයා බලා තිබුනේත් නැහැ. අවසන් පරීක්ෂක ස්ථානයෙන් පිට වීමට ඔවුන්ට නොහැකි ව පෝලිමෙන් ඉවත් කෙරුණා. ඒ අවස්ථාවේ කුපිත වූ සංවිධායකයා පැවසූවේ, ඉතාම ඉක්මනින් ගොස් ලේබලයක් අමුනාගෙන එන ලෙසත් නැතහොත් ගුවන් යානය පිටත් වන බැවින් ඔවුන් ඒහිදමා ඉතිරි අය ‍රැගෙන යාමට සිදුවන බවත්ය. වැඩි අවබෝධයක් නොතිබූ අපහසුතාවට පත් කාන්තා පිරිස අපහසුවෙන් ගමන් මලුද ඔසවාගෙන, පය ඉක්මන් කරමින් ආපසු දිව ගිය ආකාර කනගා‍ටුදායක දසුනක් වුනා. අඩුම තරමින් අදාල තැනට ඔවුන් ‍රැගෙන යන්නන්ට තරම් සංවිධායකයින් කාරුණික වූයේ නැහැ.

ජීවිතයෙ පළමු වරට පිට රටකට ගොස් කිසිදා නාඳුනන පිරිසක් සමග ගනුදෙනු කිරීමට සිදුවන මේ අය එතරම් අත්දැකීම් නැති ශාරීරිකව දුබල පිරිසක් බව වත් අඩුම තරමේ සැලකිය යුතුවූවා නොවේද?

මෙහි සටහන් කලේ පැය හයක පමන කාලයක් එම පිරිස සමග ගත කිරීමේදී දු‍ටු සිදුවීම් දෙක තුනක් පමණයි. උදරාබාධ වලට ලක්වී සිටි නිතර වැසිකිලි සොයා දුවන වයෝවෘද්ධ මවු පිය වරුනට සැලකූ ආකාරය ඇතුළු තවත් බොහෝ දේ මෙහි ලියැවී නැහැ.

සමහර විටක මෙවැනි සිදුවීම් පිළිඹඳව එවැනි චාරිකා වලට සම්බන්ධවූ වැඩිහිටියන් නොපවසනවා වෙන්නට පුළුවන් නැතිනම් තමන් රටකින් රටකට ගෙන ගොස් මෙතරම් මාහැඟි පුණ්‍ය කර්මයකට සහභාගී වීමට උරදුන් චාරිකා සංවිධායකයින් වීරයන් සේ සිතා ඔවුන් කෙරේ ඇතිකරගත් ගෞරවය හේතුකොටගෙන ඔවුනට පින් දෙමින් ඉවසා සිටිනවා වීමටත් පුළුවන්.

කෙසේ නමුත් සෑම චාරිකා සංවිධායකයෙකුම මේ අකාරයෙ නොවිය හැකියි. නමුත් මේවැනි පිරිසක් මුණගැසීමට ඇති හැකියාවත් ඉතා විශාලයි. අප ආදරය කරන අපේ සමීප වැඩිහිටියා නන්නාදුනන රටක මේ වැනි අපහසුතාවයන්ට පත්වීමට හැකියාවක් නැතැයි කියා සිතිය හැකිද?

මා එසේ සිතුවත් ඔවුන් බොහෝ දෙනෙක් වෙතින් මා දු‍ටුවේ තමන් දිව්‍ය ලොකයේ අසලටම ගොස් පැමිණීමෙන් ලද  අපමණ උද්දාමය පමණයි.

3/13/2010

පුංචි පහහේ මං...

සිංහල ලේඛණ වල, වචන අතර ඉලක්කම් භාවිතා වන තැන් වලදී දැන හෝ නොදැන සිදුකරන විප්‍රකාරයක්  ගැන කෙටි සටහනක් ලියා තබන්නට සිත් විය.

එදිනෙදා අප දකින සිංහල වැකි අතර බහුලව දැකිය හැකි මෙය හොඳින් විමසා බැලූ විට කෙතරම් හාස්‍ය ජනකද යන්න ඔබටම වැටහේවි.

"පුංචි 5හේ මං"

මෙය බහුතරයක් දෙනා කියවූයේ "පුන්චි පහේ මං" කියා වුවත් නිවැරදිව එය කිව යුත්තේ "පුංචි පහහේ මං කියා නොවේද"?...

"5" ලෙස ලියන රූපය ශබ්ධයට නැගෙන්නේ "පහ" යනුවෙනි. එහි අගට හේ යන්න යෙදූ පමණින් එය "පහේ" ලෙස කියවිය හැකිද?. නැත ඒවිට එය කිව යුත්තේ "පහහේ" ලෙසමය. එසේ නැතහොත් "5" යන්න කියවීමෙදී නැගෙන ශබ්ධය "ප" යන්නෙන් නැගෙන ශබ්ධයට සම විය යුතුය.

මා සිතන ලෙසට නම් ඉහත වැකිය නිවැරදි වන්නේ සම්පූර්ණ වැකියම අකුරෙන් ලිවීමෙන් පමණි.

එලෙසම, එකේ, දෙකේ තුනේ ආදී වචන සඳහා "1කේ", "2කේ", "3නේ" ලෙස ලියනු කොතෙකුත් දැකිය හැක. මේවාද සම්පූර්ණ අකුරෙන් ලිවියයුතු වදන්ය.

නමුත් එකක් දෙකක් තුනක් යනාදී වශයෙන් ලිවීමට "1ක්", "2ක්" , "3ක්" ලෙස යෙදීම කළ හැකි බව පෙනේ.

බ්ලොග් අවකාශයේද මෙවැනි යෙදුම්  සමහර අවස්ථා වල හමුවේ.

මෙය කිසිවෙකුගේ හිත් රිදවීමට කළ විවේච්නයක් නොවේ හුදෙක් මට සිතෙන දෙයයි

ඔබගේ අදහස් ද දක්වන්න.

3/10/2010

සුභ උපන් දිනයක් තාත්තේ...

කොල්ලුපිටිය හන්දියට එනකොට උදේ හතට විතර ඇති. ඉස්සර තරමටම නැති වුනත් තාමත් එතන පුංචි වාහන තදබදයක්. එහෙම වෙන්න පාරෙ වම් පැත්තෙ තියෙන බස් හෝල්ට් එක නිසා. නොයෙක් නොයෙක් ඉංග්‍රීසි අකුරු පැළඳගත්තු ජේත්තුකාර වාහන ඒවයෙ ඉන්න ආඩම්බරකාර නෝන මහත්තැන්ව වෙලාවට කන්තෝරු ගෙනියගන්න බැරිවෙයි කියල බයේ මහ හඬින් බස් කාරයන්ට හෝන් එකෙන් ගෝරනාඩුව.

ඒ මදිවට පාර පනින ඈයො...

මට යන්තමට වගේ මතකයි මම පොඩි එකා සන්දියෙ තාත්තගෙ අතේ එල්ලිලා පාරෙන් එහා පැත්තෙ තියෙන බැංකුවට ගිය හැටි. ඒ බැංකුවෙ තමයි තාත්ත රස්සාව කරල තිබුනෙ.  එදත් මෙතනිම්ම අපි පාර පනින්න ඇති.  ඒත් මට ඒ ගැන එච්චර මතකයක් නැහැ. ඒ මීට අවුරුදු විසිපහකට විතර කලින්... අද වෙනකොට කොච්චර දේවල් වෙනස් වෙලාද...? එදා තාත්තගෙ අතේ එල්ලිලා ගිය කොලුපැංචා අද ලොකු මිනිහෙක්  වෙලා උගේ වාහනය පදවගෙන ඒ පාරවල් වලම හක්කලන් කරනව,  තාත්තට නම් සතු‍ටු ඇති... එත්... මට සතු‍ටු වෙන්න පුළුවන්ද...?

මට මතක ඇති කාලෙක ඉඳල අපේ තාත්ත හිටියෙ ගෙදර. වෙන පොඩි එවුන්ට වගේ හවසට කෝච්චියෙ සද්දෙ ඇහෙනකොට පාරට දුවන්න මට ඕන උනේ නෑ. කතන්දරයක් අහ ගන්න බත් කටක් අනල කවා ගන්න තාත්ත වැඩ ඇරිල ගෙදර එනකම් බලා ඉන්න සිද්ද වුනෙත් නැහැ. මොකක් දෝ දේශපාලනයක් හින්ද තාත්තට බැංකුවෙ දොර වැහිල තිබුන. කලින් කියපු ඒ බැංකු ගමන ඊට පස්සෙ සිද්ධ වෙච්ච එකක්.  සමහර විට අපි යන්න ඇත්තෙ කවුරු හෝ ඉහල නිලධාරියෙක් හම්බ වෙන්න වෙන්නැති. ඒ ගමනට මාත් එක්ක ගියේ ඇයිද යන්න තවමත් මට හරියට නොවැටහුන මුත් මා සිතා සිටි හේතු කීපයක් තිබුණා.

ඒ හින්දම මේ ලෝකෙ මෙතෙක් බිහිවුන වාසනාවන්තම තාත්තයි පුතයි අපි දෙන්න බවයි මම විශ්වාස කරන්නෙ. තමන්ගෙ දරුවට පූර්ණ කාලීනව ආදරය කරන්න, තමන් සතුව තිබූ මහා දැනුම් සම්භාරය හිතේ හැටියට බි‍ඳෙන් බිඳ පොවන්න, ගහට කොලට ඇලට දොලට සතා සීපාවාට ආදරය කරන්න  තමන්ගෙ දරුවට පුරුදු කරන්න වාසනාව ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුටයි. එදා පහල වෙලේ කඩා වැ‍ටුණු පොල්කොටේ උඩ තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවී මා ඇසූ දහසක් ප්‍රශ්න, ගිරා කොබෙයියන් ගැන, අහසෙ පාවෙන වළාකුලු, ඉර හඳ තරු ග්‍රහලෝක ගැන කියූ  දේ අද මා සිටින තැනට පාර කැපූ මුල් පස් පිඩැලි වූවා.

ප්‍රාථමික පාසලට යන කාලයේ රන්කොත් වෙහෙර ලඟ තිබූ පුන්චි පන්තියට මා ඇරලවා, ඉස්සරහ තිබුන ගුණසිරි අය්යගෙ කඩේට හෝ අසල වූ පුස්තකාලයට වී පාසැල ඇරෙනතුරු උදය වරුවම ගතකලේ ආපසු ගෙදර විත් යන්න අනවශ්‍ය වියදමක් දැරීමට තිබූ අකමැත්තට වඩා මා තනිකර දමා යාමට තිබූ අකමැත්ත නිසාම බව අද වන විට නම් මට තේරුම් ගොස් අවසානයි. පාසලේ සිට ආපසු එන අතරේ ටොපී වෙළෙන්දගෙන් සත විසිපහකට දොඩම් ටොපියක් අරන් දුන් හැටි, හන්දියෙ කඩෙන් යෝගට් එකක් අරන් දී සෙම හැදෙයි කියා සීතල යවා කැවූ හැටි පුංචි දේවල් වුනත් කඳුලක් නොනගා මතකයට නැගීමට අපහසු දේවල්. මේ සේරම දේවල් කළේ ඒ වනවිට  වෙනත් ‍රැකියාවකට යන මඟ පවා අහුරමින්, වැළඳී තිබූ, සුවකිරීමට අපහසු හෘද රෝගයකිනුත් පීඩා විඳිමින් වීම ඒ දෙවල් වල අගය තවත් වැඩි කලා.

කාලය ගත වෙලා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ තරණය කරමින් විශ්ව විද්යාලය දක්වා ගිය ගමනේ දී මා ලැබූ ජයග්‍රහණ වලදී ලැබූ සතුට මෙන්ම මෙන්ම පරාජයන්ගේදි අත් විඳි වේදනාව එලිපිට ප්‍රකාශ කරන්න තාත්තා කිසිවිටකත් පැකිලුනේ නැහැ. ඒ නිසාම පළමුවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වීමට නොහැකි වූ මා එමගින් තාත්තාට ඇතිවූ වේදනාව සමනය කිරීමට ඊළඟ වසරේ විභාගය පැවැත්වෙනතුරු ගත කළේ මහත් වූ පසුතැවිල්ලකින්.

ජීවිතයටම බද්ධ වුණු රෝගයත් සමග ජීවත් වෙමින්, එයට ගන්නා ඖෂධ නිසාම ටිකෙන් ටික වෙනත් අතුරු ආබාධ වලට ලක්වෙන එහෙත් නොසැළෙමින් තම ලේඛණවල කටයුතු වලත් අපගේ කුදුමහත් උවමනා එපාවන් සෙවීමටත් තවම අනවරතව නිරතව සිටින තාත්තාට ඔහු අපට දුන් ආදරය සහ උණුසුම එලෙසම තබා කෙලෙසකවත් පෙරලා ලබා දීම මේ වනවිට කෙමෙන් සිහිනයක්ම පමණක් වෙමින් පවතිනවා. අපේ ජීවිත වල කාර්ය බහුලත්වය මැද සතියකට වරක් මහගෙදර යාම මට නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැනට කල හැකි එකම දෙය මෙවැනි සටහනක් තැබීම පමණයි. ඒත් විශ්වාසයෙන් කිවහැකියි  මේ සටහන තාත්තා කවදාත් නොදකින බව. එසේ නමුත් අප අතර ඇති විශ්වීය බැඳීමෙන් මා සිතන දේ තාත්තා දැන ගන්නවා නොඅනුමානයි.

ඔබට සුභ උපන් දිනයක් තාත්තේ.. තෙරුවන් බෙලෙන් දීර්ඝායු වේවා. මම දන්නව මගේ ආයුෂත් අරන් කිව්වට ඒකට තාත්තා කොහෙත්ම කැමති නැති බව.

මම තාත්තව බලන්න එනව අද හවසට......................පුලුවන් වුනොත්.
.

3/08/2010

පීරිස්ගෙ කතා...

පීරිස් තමයි අපි ජීවත් වෙන ඔපීසියෙ කාකාස තුමා.

අපි ජීවත් වෙන ඔපීසිය කිව්වෙ අපිට කීයක් හරි හම්බ කරගන්න තියෙන තැන හින්දම විතරක් නෙවෙයි. උදේ හතට විතර ඇතුළට ආපුවහම ඉතින් රෑ බෝ වෙලා ගෙදර පිටත් වෙනකම්ම, දම්මැදීම, මූණ සේදීම,  කෑම, නෑම රෙදි සේදීම් ඇතුලු මෙකී නොකී සියලු දේම කෙරෙන්නෙ ඕක ඇතුළේ. දවසකට මයෙ හිතේ පැය දොළහකටත් වැඩියි ඕක ඇතුළෙ ගතකරන කාළය. ඉතින් අවමය පැය දෙකක් පාරට ඇරල ගත්තහම  ඉතින් ජීවත් වෙලා තියෙන්නෙ ඔපීසියෙ තමයි. සමහර දවස් වලට ඕක ඇතුලෙම නිදාත් ගන්නව නෙව. මේසෙ යටට A0 කොළයක් එහෙම දාගත්තම සැප තමයි. මේක ලොකූ මහත්තුරුන්ගෙ ඉඳල ඊයෙ පෙරෙදා ආපු අපි සෙට් එකටත් පොදුයි.

දැන් අහන්න එපා කොහෙද මේ ආයතනය තියෙන්නෙ කියළා.  ඔය කොළඹම තමයි. අධි ආරක්ශිත කළාපයක කියල කළිංම කියල ඇති.

ඕං වල් පල් කියෝ කියෝ ඉඳල තව පොඩ්ඩෙන් පීරිස්ව අමතක වෙනව...

මිනිහ ජීවිතේ හතරවැනි දශකයෙ මැද හරියෙ විතර ඒ කියන්නෙ අවුරුදු ...ම්ම්ම්... තිස් පහක විතර වෙච්ච තරුණ හාදයෙක්.

මිනිහ ටිකක් මෝඩයි කියල කියයි කියල නේද දැන් බලා ඉන්නෙ. අපොයි නැහැ ටිකාක් විතර මීටරේ. එහෙම නැතුවත් බැහැනෙ මෙතන සුමේ කරන්න. කඩිය වගේ වැඩ. ඇස් වහ කට වහ නෑ (ඌට මොකක් හරි උනොත් අපිටමනෙ කරදරේ සහ පාඩුව.)

චූට්ටං අවුලකට තියෙන්නෙ මිනිහගෙ භක්තිය වැඩිකම සහ අත්‍යන්ත කීකරු භාවය. දෙන commands වලින් පිට ආයෙ අඩියක් වත් තියන්නෙ නැහැ පහළොවක් විස්සක් මළත්. ඒක මිනිහගෙ බුද්ධිමත් භාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. දීපු අණට පිටින් නොගිහින් උපරිම සේවයක් කරළ, අපිව සතු‍ටු කරළ මිනිහත් සතු‍ටු වෙන්න තමයි පීරිස්ගෙ පරම චේතනාව.

ඉතින් ඔය අතරෙ, අපිට සමහර දවස් වලට කලින් ඒ කියන්නෙ හවස 5ට විතර පැන ගන්න ඕන වෙනව. හැමදාමත් ඉතින් ඕක අස්සෙ රිංගගෙන ඉඳළා හරියනවැයි.

ඒක මාරම ඔපරේෂන් එකක්. වැඩ වැඩි දවස් වළට කළින් යනවට බොස්ල එච්චර මනාප නැහැ. මට කියන්න බැරි උනා සාමාන්‍යයෙන් රාජකාරි ඉවර වෙන්නෙ හවස 5ට. ඒ වුනාට 5ට ම යන එකට තමයි කියන්නෙ කලින් යනව කියළා. මාර වැඩේ කියන්නෙ හරියට 5 වෙනකොට ලොකු බොස් දොර ගාවට වෙලා මොනා හරි කර කර ඉන්නව. ඇති වැඩකුත් නැහැ. ඔහේ ඉන්නව.

බොස්ලටත් කලින් යන්න ඕනෙ වුනු දවසට නම් කියලා වැඩක් නෑ. ඒ ගොල්ල 5ට ගියානම් අපේ සෙට් එකේ කළින් යන්න ඕන එවුන් ටික 5.10 වෙනකොට මිසිං.

ඔන්න එක දවසක් අපි කීපදෙනෙකුටම කළින් යන්න ඕනි උනා. පොඩ්ඩක් සෝදිසි කරල බැලුව බොසුත් පේන්න නැහැ. කියුබිකල් එකෙ ලයි‍ටුත් නිවලා. තව ටිකක් ඇහැ දාලා බැළුවා කොම්පියුටරෙත් ෂට්. රායීට් වැඩේ ගොඩ. තව ටිකකින් බොස් මිසිං ඊට පස්සෙ අපි.

දැං අපි එරංගයගෙ ටේබල් එක ළඟට එකතුවෙලා කතාව.

"ෂුවර් එකටම බොස් යන්න ඇති ..." එකෙක් කිව්වා.

"ඔව් බං මෑන් මේ දවස් වල ෆ්ලයිං මෝඩ් නෙ" මාත් කිව්වෙ සාමාන්‍යයෙන් ෆ්ලයිං මෝඩ් වැ‍ටුනහම වැඩිය රෑ වෙනකං ඉන්නෙ නැති බව දන්න නිසයි.

ඒත් තාම වැඩේ අන් ෂුවර්. බලබල ඉන්නත් බෑ පරක්කු උනොත් ඔක්කොම අල. පාරෙ ට්‍රැ‍ෆිකුත් වැඩි වෙනවනෙ.

කරන්න තියෙන්නෙ එක දෙයයි... කතා කළා පීරිස්ට...

"පීරිස් බලන්න චුට්ටක් මිස්ටර් හෙට්ටිමුල්ල ඉන්නවද කියළ."  හෙට්ටිමුල්ල  තමයි බොස්ගෙ නම.

කියන්නත් කලින් පීරිස්  ඉගිල්ලුනා...

මිනිහ දැන් ඔත්තුව බළාගෙන එන්නෙ නැතැයි කියල අපිත් කතාව

විනාඩි දෙකක් යන්න ඇති.

මෙන්න මිස්ටර් හෙට්ටිමුල්ල දුවගෙන එනව හතිදාගෙන...

අපි ටික වටවෙලා එරංගයගෙ මේසෙ වටේ...

"මොකක් ද ප්‍රශ්නේ... " බොස් හොඳටම කලබලවෙලා, අපි අන්දුන් කුන්දුන් වෙලා බලා ගෙන ඉන්නව.

"මොකුත් ප්‍රශ්නයක් නෑ මිස්ටර් හෙට්ටිමුල්ල " අපි කිව්ව. ඇත්තටම මොකුත් ප්‍රශ්නයක් තිබුණෙ නැහැනෙ. එකම ප්‍රශ්නෙ බොස් කෝ කියන එකනෙ.

"එහෙනං මේ පීරිස් දුවගෙන ඇවිල්ල කිව්වෙ ඔහෙලා  මාව හොයනව කියලා..."

 මළ සේක...  එතකොට තමයි තේරුණේ මේකා බොස්ව හොයාගෙන ගිහිල්ල කියල තියෙන්නෙ අපි බොස් ව හොයනව කියළ.

ඇයි අපි මිනිහට කිව්වෙ බොස් ඉන්නවද කියල බලන්න කියලනෙ. මිනිහ ගිහිල්ල බොස්ව එක්කරගෙනම ඇවිල්ල. වැඩි හොඳට...

අපරාදෙ කියන්න බැහැ මිස්ටර් හෙට්ටිමුල්ලත් නිහතමානී මනුස්සයා... නැගල හිටපු කාර් එකෙනුත් බැහැල තමයි ඇවිල්ල තියෙන්නෙ.

ඔන්න ඔහොමයි පීරිස් ගෙ වැඩ.


....

3/07/2010

ඕං අපිත් මෙහේ ඉන්නවා...

පිල්කඩේ පැදුරකුත් එළාගෙන පාලුගෙයි වළං බිඳ බිඳ හිටපු උන්නැහෙත් කල්පනා කළා සින්ඩියට එකතුවෙන්න. කරපු ඉල්ලීමට ප්‍රතිචාර පැය කීපයකින්ම ඔය ලැබිල තියෙන්නෙ.
හැමෝටම ස්තුතියි. (බටර් නෙවෙයි හොඳේ.)

තාමත් ළදරු අවසථාවෙ තියෙන පැදුරට ගොඩවෙලා බලන්න කියල පුන්චි ආරාධනයක් උන්නැහේගෙන්. ඉදිරියට  උන්නැහේගෙ උපරිම හැකියාවෙන් හොඳ යමක් ලියන්න ලැබේවා...
බාගෙට ලියාගත්තුව ටිකක් තියෙනවා ඒ ටික මැදල කරල දාන්නම්කො කල් යල් බලල.

හා හා පුරා එහෙමකියලා


....

3/05/2010

හමුවීම...


මගෙම කවියක සේ සිතා මම්
මුමුණමින් හුන් මගේ පදවැල

පාලු අඳුරේ
හිස් අහස යට
ගිලී කිමිදී
හුදකලාවේ...

මගෙම නොවනා බව තවත් ඒ
පසක් කරදුන් හඹා විත් මා

අපේ ගීයක්
සුපුල් මල් මත
සියොත් තුඩගින්
ලියන්නට දෝ...


...



3/04/2010

හා හා පුරා...

මොකක් හරි වැදගත් වැඩක් පටන් ගන්නකොට ලෙඩ දාන කෙනෙක් තමයි බහිරවය කියන්නෙ. එතුමා බලාගෙන හිටියොත් කරන කියන සුභ කටයුතු කිසිදෙයක් හරියන්නෙ නැහැලුනෙ. ඔන්න ඕකෙන් බේරෙන්න පොඩි උප්පරවැට්ටියක් හොයාගෙන තියෙනවා. මේක එක්තරා විදිහක බහිරවයව ‍රැවටීමට ලක් කිරීමක්.

බහිරවයගේ භාර්යාව ඉන්නවනෙ. එයාට මෙයා ආදරෙට කියන්නෙ "පුරා" කියල. ඉතින් මේ පුරා ටිකක් විතර බහිරවයට කොන්ට්‍රෝල් නැති ගානයි. ඒ නිසා එයා නිතරම වගේ සැකෙන් තමයි කාලය ගත කරන්නෙ. ඕක කොහොම හරි මනුස්ස ලෝකෙ කට්ටිය දැනගෙන තියෙනව.

ඔන්න සුභ කටයුත්තක් පටන් ගන්න වෙලාවට මෙයත් එතනට සෙට් වෙලා බලා ඉන්නවා හරියටම නැකැත් වෙලාවට බැල්ම දාල වැඩේ අල කරන්න. 

අපේ කට්ටියත් ඉතින් ලේසි නැහැනෙ, හරීයටම නැකැත් වෙලාවට කට්ටියම කතාවෙලා හය්යෙන් "හා හා පුරා...!" කියල කෑගහනව. එතකොට අර නිතරම සැකෙන් ඉන්න බහිරවය,
"මලා මම මේක දිහා බලා ඉන්න වෙලාවෙ ගෑණි පැන්නවද්ද??" 
කියල පුරා ඉන්න පැත්ත බලනවලු. එතකොට ඉතින් එයාගෙ බැල්ම වටෙන්නෙ නැහැනෙ, අපෙ අය නියමාකාරයෙන් තමන්ගෙ සුභ කටයුත්ට සාර්ථකව කරගන්නවා.
ඔන්න ඕක තමයි වැඩක් පටන් ගන්න කොට "හා හා පුරා...!" කියල පටන් ගන්න කියල කියන්නෙ.


කොහොමද මොලේ.


හැබැයි මේ වැඩේ හරියන්න ටිකක් කලබලෙන් වගේ "හා හා පුරා...!" කියල කියන්න ඔනි කියලත් මතක තියාගන්න.

3/02/2010

තාපස්ථිතික කපාටය - Thermostatic Valve


පැදුරෙ තාක්ෂණ ලිපි තාපස්ථිතික කපාටයෙන්ම (thermostatic valve) පටන්ගන්න හිතුනෙ, මෙයා පහුගිය දවස් ටිකේම මට හැබෑම වදයක් උන නිසාමයි. මේ අහවල් උපාංගය භාවිතා කරන්නෙ සාමාන්‍යයෙන් යම්කිසි තරල ප්‍රවාහයක් (fluid flow) එහි උෂ්ණත්වය අනුව පාලනය කරගන්නයි(බර වචන...). උදාහරණයකට, හිතමු ටැන්කියක් ඇතුලෙ වතුර පුරවල ඒකට තාපකයක් සම්භන්ධ කරල තියෙන අවස්ථාවක ඒ ටැන්කියෙ වතුර ඉවතට ගන්න ඕනෙ යම්කිසි උෂ්ණත්වයකට රත් උනාට පස්සෙ නම් අපිට පුලුවන් ටැන්කියෙන් ඉවතට වතුර එන නලයට මේ උපාංගයක් සම්භන්ධ කරන්න. එතකොට මේ තාපස්ථිති කපාටය අදාල උෂ්ණත්වයෙදි විවර වෙලා ජලය ඉවතට එන්න සලස්වනවා.

දැන් මේ මම කියන්න යන තාප ක්‍රියාකාරී කපාටය තියෙන්නෙ වාහනයේ සිසිලන පද්ධතියෙ (Cooling system). හැමෝම දන්න විදිහට එන්ජිමේ උෂ්ණත්වය පාලනය කරන සිසිලන පද්ධතිය ක්‍රියා කරන්නෙ එන්ජිමට සම්භන්ධ කුඩා පොම්පයක් මගින් සිසිල කාරකය (ගොඩක් අය මේකට පාවිච්චි කරන්නෙ නිකම්ම වතුර) එන්ජිම තුලින් ගමන් කරවල එන්ජිමේ තාපය සිසිල කාරකයට උරාගන්න සලස්වලා අවසානයෙදි විකිරකය එහෙමත් නැත්තං රෙඩියේටරය තුලින් යවල එම තාපය පරිසරයට මුදාහරින ආකාරයටයි. මෙක තව කාර්යක්ෂම කරන්න පංකාවක් මගින් රේඩියෙටරය තුලින් සුළං යවනව.

ඒත් එක්කම තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සිසිල් වෙන අතරෙදිම එන්ජිමේ ක්‍රියාකාරී උෂ්ණත්වය පවත්වා ගැනීම. අන්න එතනදි තමයි අර කියපු අහවල් උපාංගය ඕනැ වෙන්නෙ.

ඒක සිද්ධ වෙන්නෙ මෙහෙමයි.
එන්ජිමෙන් එන රත්වුනු සිසිලකාරක දියරය, දිගින් දිගටම රේඩියේටරය හරහා ගමන් කලොත් තමයි එන්ජිමේ තාපය වැඩි වැඩියෙන් ඉවත් වෙලා එන්ජිමේ උෂ්ණත්වය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්නෙ. එහෙම වෙන එක එන්ජිමේ කාර්යක්ෂමතාව අඩුවීමට සහ දීර්ඝ කාලීනව එන්ජිමේ කොටස් වැඩියෙන් ගෙවී යාමට බලපානව.) මේ අවස්ථාවෙදි තාපස්ථිති කපාටයෙන් කරන්නෙ එන්ජිම අවශ්‍ය උෂ්ණත්වය එනකම් සිසිල් කාරකයට රෙඩියේටරයට අතුල් වෙන එක වලක්වන එක. අදාල උෂ්ණත්වයට ලඟා වූ විගස කපාටය විවර වෙලා රේඩියෙටරය හරහා සිසිල කාරකය ගමන් කරවලා තාපය පිටකරලා උෂ්ණත්වය අඩුකරනවා. ඊටපස්සෙ නැවත කපාටය වැසී යනව. මේ විදිහට තමයි එන්ජිමේ උෂ්ණත්වය බොහෝ දුරට නියතව තබාගන්නෙ.

ඉතින් හැම දේටම වගේ මේ උපාංගයටත් අවසානයක් තියෙනවනෙ. ඒ කියන්නෙ මේකත් කැඩෙනව. ඒක දෙවිදිහකට වෙන්න පුලුවන්.
ඒ තමයි කපාටය ඇරිලා තියෙන විදිහට හිරවීම හෝ වැහිල තියෙන විදිහට හිරවීම.(stuck opened or stuck closed)

කපාටය ඇරිලා තියෙන විදිහට හිරවීම ඒ තරම්ම නරක නැහැ. එතකොට වෙන්නෙ, එන්ජිම නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට එන්නෙ නැතුව යන එකයි. හදිසියෙ වාහනයෙ උෂ්ණත්ව දර්ශකය (ඩෑෂ් බෝඩ් එකෙ තියෙන) අඩු උෂ්ණත්වයක් පෙන්නන්න ගත්තොත් ඔන්න ඕක වෙන්න පුලුවන් හේතුව බොහෝ විට.

බැරි වෙලාවත් වෑල් එක වැහිල තියෙන විදිහට හිර උනොත් එහෙම සිද්ධ වෙන්නෙ හරිම භයානක දෙයක්. එතකොට සිසිල කාරකයට කොහොමටවත්ම රේඩියේටරය හරහා යන්න බැරි වෙන නිසා එන්ජිමේ උෂ්ණත්වය ඔරොත්තු නොදෙන ගාණට වැඩි වෙලා එන්ජිමට හානි වෙන්න තියෙන ඉඩකඩ ඉතා විශාලයි. එහෙම උනොත් ඒ වගෙ වෙලාවට ඉක්මනට අයිනට කරල නවත්තගන්න එක තමයි කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ එන්ජිම නිවුනට පස්සෙ තර්මොස්ටැටික් වෑල් එක ගලවල අයින් කරල ආපහු දුවන්න පුලුවන්. හැබැයි හැකි ඉක්මනින් නැවත අලුත් එකක් දා ගන්න අමතක කරන්න එපා.

වාසනාවකට වගේ මේ නිෂ්පාදක මහත්තුරු ඕව හදල තියෙනවා කියන්නෙ, කපාටය ඇරිල තියෙන ආකාරයට හිර වෙන්නලු. ඒ කියන්නෙ කැඩුනොත් කැඩෙන්නෙ එන්ජිමට හානියක් නොවෙන ආකාරයට (Fail Safe). ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අනෙක් විදිහට ඒ කියන්නෙ වැහිල තියෙන විදිහට හිර වෙන්නෙ නැහැ කියලා.

ඒ කොහොම වෙතත් අවුරුදු දෙකකට විතර සැරයක් මේ කපාටය මාරු කරළා අලුතෙන් යොදන්න පුලුවන් නම් තමයි හොඳ. එච්චර ලොකු ගාණකුත් නැහැ. රුපියල් දෙදාහකට අඩුයි. ඒ උනාට මෙය ලෙඩ උනොත් දෙන වදේ නම් ඉතින් කියල වැඩක් නැහැ වෙලාම බලන්න ඕනෙ. නිතරම වාහන ඒජන්ත වරයගෙන් නියම (Genuine) අමතර කොටසම යොදන්න. ඒක බොහෝ විට ආදේශක වලට වඩා කීයක් හරි අඩුයි. (බොහෝ විට නමුත් හැමවිටම නෙවෙයි)

වැදගත්ම දේ තමයි වාහනයක සිසිලන පද්ධතියෙ මොනා හරි වැඩක් කරනකොට නිතරම එන්ජිම හොඳට නිවෙනකං ඉන්න. විශේෂයෙන් රේඩියේටරයෙ පීඩන වැස්ම (Pressure cap) අරින එක ප්‍රවේශමෙන් කරන්න. පද්ධතිය ඕවර් හීට් වෙලානම්, කිසිවිටක පියන අරින්න එපා!

පොඩි එකාට හරි සතු‍ටුයි

ඇති යන්තම් ඔන්න ගූගල් මහත්තුරුන්ටත් අපිව පෙනිල එහෙනම්. ලොග් එක පටන් ගත්තු දවසෙ ඉඳලම කලේ සැරෙන් සැරේ ගූගල් වලට ගිහින් මාව පේනවද කියල බලපු එක තමයි. ම්හූ පේන පාටක් නැහැනෙ. මගේ ගිණුමට පාවිච්චි කරල තියෙන්නෙ යාහූ තැපෑලක් නිසාවද්ද අවුල කියලත් හිතුන. පස්සෙ ගූගල් ගිණුමක් අළුතෙන් හදල වර්ඩ්ප්‍රෙස් ලොග් එකෙකුත් හැදුව. ඊටපස්සෙ ඒකවත් ගූගල්ට පේනවද බැලුව. ආ... ඔය ඉන්නෙ දෙවනි පේලියෙම. මාර සතු‍ටුයි. උන්නැහෙත් ඉතින් වෙලාවකට පොඩි එකානෙ. යටින් තියෙන ලින්ක් එකට කෙ‍ටුවම තමයි වැඩේ තේරුනෙ. හානේ මේ පෙනිල තියෙන්නෙ මගෙ බ්ලොග්ගර් ලොග් එකනෙ. තිබිච්ච හදිස්සියට ලින්කෙක බ්ලොග්ස්පොට් කියලවත් මීටර් උනේනෑ. මෙච්චර දවසක් කොහෙද මෙයා හිටියෙ. සමහරවිට ටික දවසක් යනව ඇති ගූගල් ට මාට්‍ටු වෙන්න. කොහොමහරි අත අරින්න හිටපු ලොග් එක ආයෙම ලියන්න ගත්තා ඕන්!

LinkWithin

Related Posts with Thumbnails