2/26/2010

අපි දෙන්නම නිවාඩු

ඊයෙ මම නිවාඩු. නිවාඩුයි කිව්වෙ රස්සාවට ගියෙ නෑ. නිවාඩුවක් ගැනීම කියන එක බ්ලොග් ලිපියකට ප්‍රස්තුථ කරගැනීමට තරම් වටින දෙයක් වෙන්නෙ දැන් කාලෙක පටන් හටගෙන තියෙන රාජකාරි වල තරම බැලුවම.

ඉස්කෝලෙ යන කාලෙ, උපකාරක පන්ති යන කාලෙ ඊටත් පස්සෙ කැම්පස් ගිය කාලෙදි නම් නිවාඩුවක් කියන්නෙ ඉතින් එලාම් එක නවත්තල ඇන්දේ අනෙක් පැත්තට හැරෙන පරක්කුවෙන් ස්වාධීන තීරණයකට යටත් සංසිද්ධියක්. ඒත් දැන්... කර දඬු උස් මහත් වෙලා, අර පුන්චි කාලෙ හැමෝම වෙන්ඩ කියපු අපිත් ආසාවෙන් බලා හිටපු ලොකු මිනිහෙක් වෙලා. ඒ කාලෙ මට මතකයි අපෙ අම්මා කියනවා ඔහොම කම්මැලි කමට කුදහගෙන ඉන්දල අන්තිමේදි දුක් වින්දින්න වෙයි කියල. හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් එහෙම කොරල සැපට ඉන්න පුලුවන් කියල තමයි අපිත් හිතන් හිටියෙ. ඒ උනාට එතැන තව බෝ දුරයි.

ඒව කොයි හැටි වෙතත් මම් නිවඩු දැම්මෙ නම් ලොකු වැඩ ගොඩක් කරගන්න. ප්‍රධානම එක වුනේ අපෙ ආයතනයෙන් ඉල්ල්ලල තියෙන පොලිස් වාර්තාව ගන්න එක. හරියටම කියනවනම් පොලිස් නිශ්කාශන වාර්තාවක්. මම වැඩකරන ආයතනය (ඔව් වැඩ තමයි...) තියෙන්නෙ අධිආරක්ශිත කලාපයක නිසා ආරක්ෂක හේතු මත හැමදෙනාම අවුරුදු දෙකකට වරක් අදාල වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. පහුගිය කාලෙ තිබුණු තත්ත්වයත් එක්ක මේක අනිවාර්ය කරල තිබුනෙ. ඒත් දැන් නම් ටිකක් විතර ඒක අමතක කරල වගෙයි පෙනෙන්න තියෙන්නෙ. ඒත් කියන්න බැහැනෙ අදාළ බලධාරීන්ට එක පාරටම ඕක මතක් වුනොත් අනිවා ගෙදර තමයි. ඇරත් රටේ ආරක්ෂාව භාරව ඉන්න අයට අපේ පූර්ණ සහයෝගය දෙන්නත් තියෙනවනෙ. මගෙ කළින් පොලිස් රිපෝර්ට් එක ඉවර උනේ ගිය අවුරුද්දෙ. ගොඩක් කල් ගියා තාම අලුත් එක ගන්න බැරි උනා.

ඔය හේතු සහ මූලිකවම ටික වෙලාවක් හරි ගෙදර (අපේ ගෙදර) ගිහින් ඉන්න පුලුවන් නිසාත් පොලිස් වාර්තාව ගන්න එකට කිසිම අවුලක් නැතිව නිවාඩු අනුමත වෙන නිසාත් පස්මහ බැලුම් දෙක තුනකට පස්සෙ, අවුරුද්දෙ හා හා පුරා කියල (හා හා පුරා කියල කියන එකේ තේරුම මම වෙන පෝස්ට් එකක ලියන්නම්) උන්නැහෙත් නිවාඩු ගියා.

දිග වැඩිද මන්දා...?

පොලිස් නිශ්කාශන වාර්තාවක් ගන්න එක ලොකු පියවරයන් ගොඩකින් සමන්විත් වැඩක්. එක අතකින් කියනවනං අම්බානකට රස්තියාදු වෙන මාර කට්ටක් කන්න ඔනි වැඩක්. ග්‍රාම නිලධාරී සහතිකය, ඊටපස්සෙ අනු අත්සන, ඇඟිලි සලකුණු, ඔය ඔක්කොම අතරෙ අදාළ නිලධාරී මහතුන්ගෙ ආඩම්බර ආදිය බලාගෙන අයදුම් කලාට පස්සෙ මාස දෙකක් විතර ඉඳල වාර්තාව ලැබෙන්නෙ.

මේ වාර්තාව ගන්නත් අදාල පොලිස් ස්ථානයට යන්න ඕනෙ. සමහර වෙලාවට එහෙම ගියාම මහත්තුරු පොත් එහෙම පෙරලල බලල ෆයිල් අවුස්සලා, සහතිකේ තැපෑලෙදි නැතිවෙලා කියල බොහොම කරුණාවෙන් පැහැදිලි කරපු අවස්ථාත් නැත්තෙම නෑ. එතකොට ඉතින් ආපහු මුල ඉඳල පටන් ගන්නයි වෙන්නෙ.

ඉතුරු ටික පස්සෙ ලියන්නම්

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails