3/10/2010

සුභ උපන් දිනයක් තාත්තේ...

කොල්ලුපිටිය හන්දියට එනකොට උදේ හතට විතර ඇති. ඉස්සර තරමටම නැති වුනත් තාමත් එතන පුංචි වාහන තදබදයක්. එහෙම වෙන්න පාරෙ වම් පැත්තෙ තියෙන බස් හෝල්ට් එක නිසා. නොයෙක් නොයෙක් ඉංග්‍රීසි අකුරු පැළඳගත්තු ජේත්තුකාර වාහන ඒවයෙ ඉන්න ආඩම්බරකාර නෝන මහත්තැන්ව වෙලාවට කන්තෝරු ගෙනියගන්න බැරිවෙයි කියල බයේ මහ හඬින් බස් කාරයන්ට හෝන් එකෙන් ගෝරනාඩුව.

ඒ මදිවට පාර පනින ඈයො...

මට යන්තමට වගේ මතකයි මම පොඩි එකා සන්දියෙ තාත්තගෙ අතේ එල්ලිලා පාරෙන් එහා පැත්තෙ තියෙන බැංකුවට ගිය හැටි. ඒ බැංකුවෙ තමයි තාත්ත රස්සාව කරල තිබුනෙ.  එදත් මෙතනිම්ම අපි පාර පනින්න ඇති.  ඒත් මට ඒ ගැන එච්චර මතකයක් නැහැ. ඒ මීට අවුරුදු විසිපහකට විතර කලින්... අද වෙනකොට කොච්චර දේවල් වෙනස් වෙලාද...? එදා තාත්තගෙ අතේ එල්ලිලා ගිය කොලුපැංචා අද ලොකු මිනිහෙක්  වෙලා උගේ වාහනය පදවගෙන ඒ පාරවල් වලම හක්කලන් කරනව,  තාත්තට නම් සතු‍ටු ඇති... එත්... මට සතු‍ටු වෙන්න පුළුවන්ද...?

මට මතක ඇති කාලෙක ඉඳල අපේ තාත්ත හිටියෙ ගෙදර. වෙන පොඩි එවුන්ට වගේ හවසට කෝච්චියෙ සද්දෙ ඇහෙනකොට පාරට දුවන්න මට ඕන උනේ නෑ. කතන්දරයක් අහ ගන්න බත් කටක් අනල කවා ගන්න තාත්ත වැඩ ඇරිල ගෙදර එනකම් බලා ඉන්න සිද්ද වුනෙත් නැහැ. මොකක් දෝ දේශපාලනයක් හින්ද තාත්තට බැංකුවෙ දොර වැහිල තිබුන. කලින් කියපු ඒ බැංකු ගමන ඊට පස්සෙ සිද්ධ වෙච්ච එකක්.  සමහර විට අපි යන්න ඇත්තෙ කවුරු හෝ ඉහල නිලධාරියෙක් හම්බ වෙන්න වෙන්නැති. ඒ ගමනට මාත් එක්ක ගියේ ඇයිද යන්න තවමත් මට හරියට නොවැටහුන මුත් මා සිතා සිටි හේතු කීපයක් තිබුණා.

ඒ හින්දම මේ ලෝකෙ මෙතෙක් බිහිවුන වාසනාවන්තම තාත්තයි පුතයි අපි දෙන්න බවයි මම විශ්වාස කරන්නෙ. තමන්ගෙ දරුවට පූර්ණ කාලීනව ආදරය කරන්න, තමන් සතුව තිබූ මහා දැනුම් සම්භාරය හිතේ හැටියට බි‍ඳෙන් බිඳ පොවන්න, ගහට කොලට ඇලට දොලට සතා සීපාවාට ආදරය කරන්න  තමන්ගෙ දරුවට පුරුදු කරන්න වාසනාව ලැබෙන්නෙ එහෙමත් කෙනෙකුටයි. එදා පහල වෙලේ කඩා වැ‍ටුණු පොල්කොටේ උඩ තාත්තගෙ ඔඩොක්කුවෙ වාඩිවී මා ඇසූ දහසක් ප්‍රශ්න, ගිරා කොබෙයියන් ගැන, අහසෙ පාවෙන වළාකුලු, ඉර හඳ තරු ග්‍රහලෝක ගැන කියූ  දේ අද මා සිටින තැනට පාර කැපූ මුල් පස් පිඩැලි වූවා.

ප්‍රාථමික පාසලට යන කාලයේ රන්කොත් වෙහෙර ලඟ තිබූ පුන්චි පන්තියට මා ඇරලවා, ඉස්සරහ තිබුන ගුණසිරි අය්යගෙ කඩේට හෝ අසල වූ පුස්තකාලයට වී පාසැල ඇරෙනතුරු උදය වරුවම ගතකලේ ආපසු ගෙදර විත් යන්න අනවශ්‍ය වියදමක් දැරීමට තිබූ අකමැත්තට වඩා මා තනිකර දමා යාමට තිබූ අකමැත්ත නිසාම බව අද වන විට නම් මට තේරුම් ගොස් අවසානයි. පාසලේ සිට ආපසු එන අතරේ ටොපී වෙළෙන්දගෙන් සත විසිපහකට දොඩම් ටොපියක් අරන් දුන් හැටි, හන්දියෙ කඩෙන් යෝගට් එකක් අරන් දී සෙම හැදෙයි කියා සීතල යවා කැවූ හැටි පුංචි දේවල් වුනත් කඳුලක් නොනගා මතකයට නැගීමට අපහසු දේවල්. මේ සේරම දේවල් කළේ ඒ වනවිට  වෙනත් ‍රැකියාවකට යන මඟ පවා අහුරමින්, වැළඳී තිබූ, සුවකිරීමට අපහසු හෘද රෝගයකිනුත් පීඩා විඳිමින් වීම ඒ දෙවල් වල අගය තවත් වැඩි කලා.

කාලය ගත වෙලා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ තරණය කරමින් විශ්ව විද්යාලය දක්වා ගිය ගමනේ දී මා ලැබූ ජයග්‍රහණ වලදී ලැබූ සතුට මෙන්ම මෙන්ම පරාජයන්ගේදි අත් විඳි වේදනාව එලිපිට ප්‍රකාශ කරන්න තාත්තා කිසිවිටකත් පැකිලුනේ නැහැ. ඒ නිසාම පළමුවර උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වීමට නොහැකි වූ මා එමගින් තාත්තාට ඇතිවූ වේදනාව සමනය කිරීමට ඊළඟ වසරේ විභාගය පැවැත්වෙනතුරු ගත කළේ මහත් වූ පසුතැවිල්ලකින්.

ජීවිතයටම බද්ධ වුණු රෝගයත් සමග ජීවත් වෙමින්, එයට ගන්නා ඖෂධ නිසාම ටිකෙන් ටික වෙනත් අතුරු ආබාධ වලට ලක්වෙන එහෙත් නොසැළෙමින් තම ලේඛණවල කටයුතු වලත් අපගේ කුදුමහත් උවමනා එපාවන් සෙවීමටත් තවම අනවරතව නිරතව සිටින තාත්තාට ඔහු අපට දුන් ආදරය සහ උණුසුම එලෙසම තබා කෙලෙසකවත් පෙරලා ලබා දීම මේ වනවිට කෙමෙන් සිහිනයක්ම පමණක් වෙමින් පවතිනවා. අපේ ජීවිත වල කාර්ය බහුලත්වය මැද සතියකට වරක් මහගෙදර යාම මට නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. දැනට කල හැකි එකම දෙය මෙවැනි සටහනක් තැබීම පමණයි. ඒත් විශ්වාසයෙන් කිවහැකියි  මේ සටහන තාත්තා කවදාත් නොදකින බව. එසේ නමුත් අප අතර ඇති විශ්වීය බැඳීමෙන් මා සිතන දේ තාත්තා දැන ගන්නවා නොඅනුමානයි.

ඔබට සුභ උපන් දිනයක් තාත්තේ.. තෙරුවන් බෙලෙන් දීර්ඝායු වේවා. මම දන්නව මගේ ආයුෂත් අරන් කිව්වට ඒකට තාත්තා කොහෙත්ම කැමති නැති බව.

මම තාත්තව බලන්න එනව අද හවසට......................පුලුවන් වුනොත්.
.

19 comments:

  1. හැකි ඉක්මනින් ඒක කරන එක තමයි හොද, තාත්තට කොච්චර සතුටු හිතේවිද එතකොට, මඔ මට මගේ අතීත කාලය මතක් කෙරෙව්වා

    ReplyDelete
  2. තාත්ත කෙනෙක් ගෙ ආදරය කිසිම දෙයකට සම කරන්න බැහ... උබෙ පොස්ට් එකෙන් මට ඉස්සර පොඩි කාලෙ අපෙ තාත්ත මාව ස්cඔලෙ අරන් ගිය හැටි මතක් උනා...

    මට හැමතිස්සෙම හිතෙනව මෙ හීතල රටකට වෙලා තනිවෙල මොකක්ද මෙ ගත කරන ජීවිතය කියල.. අම්මල තත්තල එහෙ තනිවෙලා...

    පුලුවන් තරම් මොන වැඩ තිබ්බත් තාත්ත ගැන හොයල බලපන් මචන්...

    ( උබ.. මචන් කිවෙ... කව්ද කියල දැනගෙන නම් නෙමෙ... එත් ඊක අව්ලක් නෙහෙ කියල හිතනව. )

    ReplyDelete
  3. ahata kadulak inuwa sahodaraya aththamay, digatama liyanna me loke apita wadiyenma aadare ammay thathay

    ReplyDelete
  4. මම මේ පෝස්ට් එක බොහොම අමාරුවෙන් ලිව්වෙ අඬන්නැතුව. කියෙව්වට බොහොම ස්තුතියි.

    @ BEAUTIFUL SRI LANKA
    මම අද කීයට හරි "ගෙදර" යනවමයි

    @ Cool Cartoon
    මචං උඹ මට "උඹ... මචං" කිව්වට කිසිම අහිතක් නැහැ මම කැමතිත් එහෙම.
    අපි කවුරුත් මචං කටින් නොකිව්වට හිතින් හැමදාම අම්ම තාත්ත ළඟ තමයි නේද?

    @ kkrox
    සහෝ.. ආයෙ මාවත් අඬවනවා..

    ReplyDelete
  5. මට ‍ඔබේ සටහන කියවද්දී තාත්තා ගැන පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ ගීතයක් මතක් වුණා. සමහර විට මේ ගීය ඔබ අසා ඇති "දරු දුක උහුළා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා....."
    (http://www.youtube.com/watch?v=jA3XfXdZx8I)

    ඔබේ පියාට දිගාසිරි!!!!!

    ReplyDelete
  6. බොක්කෙන්ම ලියා තිබේ. ඇසට කඳුලක් නැගුණි.
    -කතන්දරකාරයා

    ReplyDelete
  7. පොදු සටහන;
    පිලේ පැදුරට ගොඩවීමට තරම් නිහතමානී වූත් ඒ අතරින් වචනයකින් හෝ දිරි දීමට කම්මැළි නොවූත් සැමට තුති.

    @ මධුර විජයකොන්
    ස්තූතියි ලින්ක් එකට සහ පැතුමට. මේ ගීය මමත් ඉතාම ප්‍රිය කරන සංවේදී එකක්.

    @ කතන්දර කාරයා
    ස්තූතියි ප්‍රතිපෝෂණයට.

    ReplyDelete
  8. ඔබේ පියාට නීරෝගී සුවයත්, දීර්ඝායුෂත් පතමි....!

    ReplyDelete
  9. අහිමි වූ මගේ පියා සිහිවුනි.
    ඔබේ පියාට දීර්ඝායු පතමි!

    ReplyDelete
  10. මටත් මේ දවස් වල අසනීපෙන් ඉන්න මගෙ තාත්තා ගාවට දුවලා යන්න හිතුනා.ඒ තරම්ම සංවේදියි.තාත්තගෙ අතේ සුලැගිල්ලෙ එල්ලිලා පොඩි ගවුම් කොටයක් ඇදගෙන ආයෙත් ඉස්කොලෙ යන්න ආයෙ කවදා පුලුවන් වෙයිද!.......
    තාත්තල දූලට තියෙන වැඩි ආදරෙ තවත් වැඩියෙන් ගන්න පොර කාපු එක දුවෙක් ඔයාගෙ තාත්තට නිරෝගී සුවත් දීර්ඝායුශත් පතනවා!
    (මමත් හෙට මගෙ තාත්තා බලන්න යනවා)

    ReplyDelete
  11. මිස්සක , nadeesthoughts , Gayani Balasooriya, බිඟුවා...!

    ස්තූතියි සටහනක් තබා ගියාට සහ හදවතින්ම මගෙ තාත්තාට සුබ පැතුවාට

    ReplyDelete
  12. හරිම සන්වේදි මගේ ඇස් දෙකටත් කදුලු පිරුන.උන්නැහේගෙ තාත්තට දීර්ගායුශ පතනව.

    ReplyDelete
  13. මං ඒත් බැලුව කොයි මේ "ඉසිඹුව" කියල.
    ස්තූතියි පැතුමට.

    "ඉසිඹුව" ගෙ comments repeat වෙන ගතියක් තියනෝ. කලිනුත් ඔහොම වුනා. ඕං මම
    repeat වෙච්ච එව්ව දැම්මෙ නැහැ හොඳේ.
    මොකද දන්නෙ නැහැ එහෙම වෙන්නෙ.

    ReplyDelete
  14. මටත් තාත්ත ගැන ලියන්න හිතුන මචන් මෙක දැකල.. හරිම සන්වෙදිය්... හිතට එන දෙ කෙලින්ම ලියලා...

    ReplyDelete
  15. රන්කොත් විහාරේ කිව්වේ මේ පානදුරේ රන්කොත් විහාරේද?

    කොහේ උනත් තාත්තට සුභ උපන් දිනයක් වේවා..! ඒ වගේම නිරෝගී සුවය හා දීර්ඝායුෂ!

    ReplyDelete
  16. ඔව් ඔව් පානදුරේ තමයි...
    ස්තූතියි සුබ පැතුවට...!

    ReplyDelete
  17. මගේ ඇස් දෙකටත් කදුලු පිරුන සහොදරය, දෙමව්පියන් දරුවන්ට කොයි තරම් ආදරේද කියල හොදටම තේරුම් යන්නෙ තමන්ටත් දරුවන් ලබුන දවසටයි. එක කියන්න අමාරුයි.
    You have to feel it...!

    ReplyDelete
  18. ගෙදර යන්ට හිතුනා මේක කියවද්දි... අඬන් නැතුව ලිව්වේ කොහොමද කියලා හිතා ගන්ටත් බෑ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails