4/07/2016

52. පුංචි පුළුං වලස් රාල...







පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ

පුංචි උනත් ඔහේට දැන් තියෙනව ලොකු වැඩක්...
මං දන්නව ඔහේ ඒක කරාවි හරි අපූරුවට...!

දඟ කරන්නෙ එහෙම නැතුව...  
බොරු කියන්නෙ එහෙම නැතුව
බයි ටික ඔක්කොම කාලා
කුක්කු ඩිංගකුත් බීලා

මූදු හතෙන් එතෙර වෙලා  
කඳු අතරින් පියාඹලා..
කවදා හරි එනකං මම
උණුහුමටම තුරුල් වෙලා  
සැපට නිදන්  ඉන්න ඕන...

කවදා හරි ආපු දාක
සිද්ද වෙච්ච හැම දෙයක්ම
අහන තුරා ඉන්නෙ නැතුව
මගේ ඔඩොක්කුවට වෙලා
ගිරවෙක් වගේ කියන්නෝන

පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ

කවදාවත් ආයෙ එන්න
බැරි වී ගියොතින් හෙම මට
කලිං කියපු රාජකාරි
අකුරට ටු කරන්නෝන

දඟ කරන්නෙ එහෙම නැතුව...
බොරු කියන්නෙ එහෙම නැතුව
කඳුළක් වත් වැටෙන්නොදී
බලා ගෙනම ඉන්න ඕනෙ...

මං දන්නව ඔහේ ඒක කරාවි හරි අපූරුවට..!

පුංචි පුළුං වලහෝ
පුංචි පුළුං වලහෝ







10/08/2015

හංස ගීතය


ගිනිගත්ත මල් ගහක පිපි එකම මල් ඉත්ත
අමාවක මහ රෑක ගෙන ගිහින් නෙලාගෙන
පෙති තළා බිම නොළා කොතැන හෝ පුදසුනක
පුදනු මැන පින් බිඳක්
මටත් සිත පහන් වී
අනුමෝදනා වෙන්න

………….

දරා ගෙන සිටි නමුදු කැකුළු හදවත කොණේ
පර උනා මිසක නෑ මලක් ඉන් පිබිදුනේ
වෙර දරා පුබුදු කළ කුසුම ඇයි අද දිනේ
ලොව පිපුණු තවත් එක මලක් පමණක් උනේ

………….

කල්පයක් කල් බලා ඉන්න සිදුවුණු දුකට
ගහ කොළට අමතකව යාවි මල් පුබුදන්න
හිරු සඳුට අවනතව පිපී පරවණු මිසක
කිසිවෙකුත් නෑ මෙළොව ගහට මල් පළඳන්න



4/01/2014

කුරා කුහුඹුවාගේ කවිය...





සත් මහලක් මත සඳළුතලේ සිට
කුරා කුහු‌‌‌ඹුවන් රෑණක් දුටුවෙමි
උන් ගේ කර මත නැගී පැමිණි මග
මැකී වියැකිලා යන සැටි දුටුවෙමි

පියෙන් පියට මතු මහලට ඇවිදින්
මග සිහිවී හැරී බැළූ සඳ
පියගැට පෙළ පාමුළ තනියට උන්
සඳකඩ පහණද එතැන නොදුටුවෙමි

කිරුළින් මැඩෙනා ඉහට උඩින් හිස්
අහස දිහා නෙත හරවා බැළුවෙමි
අනන්ත විශ්වය තුළ මග වැරදුන
කුහුඹුවකුම බව වටහා ගත්තෙමි


14/09/2010

9/19/2013

ආදරේ නැතුව ඇති...


නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා 
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම 
ආදරේ නැතුව ඇති

නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක 
නම් සැබෑ ආදරේ
ඇත්තටම මම නුඹට 
ආදරේ නැතුව ඇති





...............


LinkWithin

Related Posts with Thumbnails